Home දේශීය පුවත් ආදායම් බදු අයකිරීම් අඩු කරන්නැයි පාදෙණිය ඉල්ලයි

ආදායම් බදු අයකිරීම් අඩු කරන්නැයි පාදෙණිය ඉල්ලයි

by Hela news

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අගමැතිවරයා හමුවේ ඉල්ලීමක් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම ඉල්ලීම සිදුකර තිබුණේ අද (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී යහපාලන කාලයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි එහිදී ඉල්ලා ඇත.

සියයට 12ක්ව පැවති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් සියයට 24ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් ලෙස සලකා ඒ මට්ටමෙන් මෙම බදු අය කිරීම සිදුවන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දී තිබේ.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයේ දී ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව ජාතික වැටුප් ප්‍රතිපත්තිය මත පිහිටා වැටුප් කොමිසමේ නිර්දේශ අනුව වැටුප් සම්බන්ධ ගැටලු විසඳන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු මෙහි දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වනවිට සම්පූර්ණ කිරීම හා අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වනවිට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අගමැතිවරයා වෙත යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොවීම තහවුරු කළ යුතු බවය.

මේ වනවිටත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නියමිත පරිදි විභාග පැවැත්වීම සහ ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුවන බව මෙම හමුවේ දී වැඩිදුරටත් අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තරංගා හේරත්,කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු මෙම හමුවට එක්වූහ.

0 comment
0

Related Posts

Leave a Comment