Home දේශීය පුවත් ආණ්ඩුවේ සමඟිය රැක ගැනීම ප්‍රධාන පක්ෂයේ වගකීමයි

ආණ්ඩුවේ සමඟිය රැක ගැනීම ප්‍රධාන පක්ෂයේ වගකීමයි

by Hela news
  • සහෝදර පක්ෂ ආධාරක, කිහිලිකරු හෝ අතකොළු නොවේ
  • බලය ලැබුණු පසු දේශපාලනයෙන් ඈත් වීම අපට අවාසියක් වුණා
  • එදා චිත්‍ර ඇඳපු තරුණයන් අර පාස්පෝට් පෝලිමේ ඉන්නවද කියලා බලන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර උලෙළේදී අගමැති කියයි

දුෂ්කර අවස්ථාවල එකට සිට එක අරමුණක් කරා ගමන් ගත් සියලු පක්ෂ ඉදිරි අරමුණු වෙනුවෙන් එක රෑනේ එකට සිටිය යුතු බව ද එම සමඟිය ආරක්ෂා කිරීම ප්‍රධාන පක්ෂයේ වගකීම බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර උළෙලට එක් වෙමින් ඊයේ (02) ප්‍රකාශ කළේය.

සහෝදර පක්ෂ කිහිලිකරු, ආධාරක හෝ අතකොළු නොවන බවත් දේශපාලනයේදී වැදගත් වන්නේ පක්ෂවල ලොකු කුඩා බව හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක්ද යන්න නොව අරමුණු පමණක් බවත් අගමැතිවරයා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැති එම සම්මේලනයේදී කීවේය.

“අභිමානයෙන් සෞභාග්‍ය කරා”තේමාවෙන් මෙම සම්මේලනය පැවැත්විණි.

ආණ්ඩු බලය ලබාගන්නා තුරු ඉවසීමෙන් කැපවීමෙන් දේශපාලනය කොට ආණ්ඩු බලය ලැබුණු පසු දේශපාලන කටයුතුවලින් ඉවත්වීම දේශපාලන පක්ෂයකට ඉතා අවාසි සහගත බවද හෙතෙම මෙහිදී කීවේය.

තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාදැයි සොයා බලා එසේ ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අපට ඡන්දය දුන් ජනතාව අද ඉතාම අපහසු තත්තවයක සිටින බව තේරුම් ගත යුතුයි. මෙවැනි දුෂ්කර කාලවලට මුහුණදීලා මට හොඳට පුරුදුයි. මේ වගේ කාලවල නොකළ වැරැදිවලටත් ජනතාව ආණ්ඩුවට බනිනවා. ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. ජනතාවගේ ප්‍රශ්නවලට අවේගවලට මුහුණ දෙන දේශපාලනයක් අද අපට අවශ්‍ය කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. නව දේශපාලන පක්ෂයකට කළ හැකි ඓතිහාසික පෙරළියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදු කර ඇති බවත් හිරේ විලංගුවේ හෝ මහපාරට වැටෙන්නට වුව සුදානමින් ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ගෞරව කරන බවත් හෙතෙම කීවේය.

ආණ්ඩු බලයෙන් අමාත්‍යංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් ඇති බවත් කී රාජපක්ෂ මහතා, පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇඳි ගියෙත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතළ ලෙස ඇදී යන්නෙත් දේශපාලන කටයුතුවලින් අප ඈත් වු නිසා බවත් පැවසීය. ඉදිරියේදීත් නොයෙක් ආකාරයේ වෙස්වලාගත් සටන් නාමයන් අප ඉදිරියට පැමිණිය හැකි බවද ඒවායේ ඇති දේශපාලනය ජනතාවට තේරුම් කර දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගත යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment