Home කාලීන පුවත් අවිනිශ්චිත වි​රෝධයේ ඉරණම

අවිනිශ්චිත වි​රෝධයේ ඉරණම

by Hela news

මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකත්වයෙන් යුත් පාලක සන්ධානයේ සිටින කුඩා පක්ෂ අතර ඇතිවී තිබෙන බව පෙනෙන ආරවුල සැබෑම ආරවුලක්ද? නැත්නම් යම් රඟපෑමක්ද? මෙය මේ දිනවල සමාජ මාධ්‍යවල ලියන බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නයකි.

ඇතැමුන් සිතන්නේ එකට හිඳිමින් බරපතළ චෝදනා එල්ල කර ගත්ත ද මෙය දැනට ජනතාව මුහුණ පා සිටින බරපතළ ආර්ථික ප්‍රශ්න වෙතින් ඔවුන්ගේ අවධානය වෙනතක හැරවීම සඳහා ආණ්ඩුවේ නායකයන්ම සැලසුම් කොට රඟ දක්වන නාටකයක් ලෙසය.

තවත් සමහර පිරිස් සිතන්නේ ආණ්ඩුවෙන් ඉවත් වන්නට යන බවක් පෙන්වමින් ආණ්ඩුවේ නායකයන්ගෙන් තව තවත් වරප්‍රසාද දිනා ගැනීම  සඳහා මෙම කුඩා පක්ෂවල නායකයන් මෙසේ ආණ්ඩුවට එරෙහි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවය. මේ අතර තවත් ඇතැමුන්  සිතන්නේ මෙම ආරවුල රාජපක්ෂ පවුල තුළ ඇති බෙදීම් මෙම සුළු පක්ෂ නායකයන්ගේ හැසිරීමට හේතු වී ඇති බවය. ඒ අනුව එම පවුලේම ඇතැමුන්  පවුලේ යම් යම් අයට  එරෙහිව මෙම සුළු පක්ෂ නායකයන් යොදා ගෙන පහර දෙන බව කියැවේ.

 මෙම ආරවුලේ දී මෙම සුළු පක්ෂ නායකයන් ආණ්ඩුවට පොදුවේත් ආණ්ඩුවේ ඇතැම් නායකයන්හට විශේෂයෙන්මත් එල්ල කරන චෝදනා බොහෝ දෙනා එතරම් බැරෑරුම් ඒවා ලෙස නොසලකති. එහෙත් එසේ බරපතළ තත්ත්වයක් ඇති වී පාලක සන්ධානය වෙතින් මෙම නායකයන් කැඩී වෙන්වුවහොත් එය සෑහෙන කාලයකට ඇදගෙන යා හැකි හොඳ ප්‍රවෘත්තියක් වන හෙයින් ඇතැම් ජනමාධ්‍යවේදීන් එම ස්ථාවරයේ සිට මෙම ප්‍රශ්නය දෙස බලන බව ද පෙනේ.

මීට පෙරද මෙවැනි ආරවුල් ඇති වී තිබේ. පසුගිය ජනවාරි මස අග දී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කොටස් ඉන්දියාවේ අදානි සමාගම් සමූහයට විකිණීම පිළිබඳව විරෝධතාවක් මතුවිය. වරාය වෘත්තීය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ මෙම ගනුදෙනුවට එරෙහිව විශාල උද්ඝෝෂණයක් ආරම්භ කළේය. පසුව ආණ්ඩුවේ මෙම සුළු පක්ෂ ද එම උද්ඝෝෂණයට එක් විය. ඒ වෙනම කණ්ඩායමක් වශයෙනි.

වත්මන් ආරවුල ඇති වී තිබෙන්නේ කෙරවලපිටියේ යුගදනවි විදුලිබලාගාරයේ කොටස්වලින් සියයට 40ක් හා රටේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමේ ගිවිසුමකට ආණ්ඩුව අත්සන් කිරීම නිසාය. නැගෙනහිර බහාලුම් පර්යන්තය පිළිබඳ ප්‍රශ්නයේ දී මෙන්ම මෙම යුගදනවි ප්‍රශ්නයේදීද ආණ්ඩුවේ සුළු පක්ෂ ඊට විරෝධය පාන්නට ආවේ විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති ඒවාට එරෙහිව අරගල ආරම්භ කිරීමෙන් පසුවය.

එසේ වුව ද විරුද්ධ පක්ෂයේ විරෝධතාවලට වඩා ආණ්ඩුවේ සුළු පක්ෂවල විරෝධතා විශේෂත්වයක් ගන්නා හෙයින් මෙම සුළු පක්ෂවල විරෝධතාවලට ලැබෙන ජනමාධ්‍ය අවධානය වැඩිය. ඒ අනුව ඒවා පිළිබඳ ප්‍රවෘත්තිවලට ජනතාවගේ අවධානය ද වැඩියෙන් යොමුවේ.

කෙරවලපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් හා රටේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීමේ අයිතිය ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳ ආන්දෝලනයක් මතු වූයේ පසුගිය ජූලි මාසයේදීය. ඒ පිළිබඳව ආණ්ඩුව සහ එම ඇමෙරිකානු සමාගම අතර මූලික එකඟතාවක් ඇති වීමත් සමගය. එම එකඟතාවට එරෙහිවූ විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ජනමාධ්‍ය ඔස්සේ ඊට විරෝධය පෑ අතර එම ගනුදෙනුව ආපසු හැරවීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය. එහෙත් ඇමෙරිකානු සමාගම සමඟ අවසාන ගිවිසුම අත්සන් කරන තෙක් එනම් පසුගිය මාසයේ 21 වැනිදා තෙක් වෘත්තීය සමිති කිසිවක් කළේ නැත.

ඔක්තෝබර් 21 වැනිදා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ වෙබ් අඩවියේ මේ පිළිබඳව ජනමාධ්‍ය නිවේදනයක් පළවිය. එම නිවේදනයේ සිරස්තලයම ඕනෑම කෙනකුගේ අවධානය දිනා ගන්නා සුළු එකක් විය. ‘‘ද්‍රව ස්වභාවික ගෑස් අංගනය මෙගාවොට් 310 යුගදනවි විදුලි බලාගාරයේ  ආයෝජනය සහ ශ්‍රී ලංකාවේ විදුලිබලාගාරවලට ගෑස් සැපයීම සඳහා නිව්  ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය ගිවිසුමක් අැතිකර ගනීයි’’ යන්න එම සිරස් තලයයි. කොළඹ පිහිටි මෙගාවොට් 310 යුගදනවි බලාගාරයේ හිමිකරු වන වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ්හි ආයෝජනය කිරීමේත් කොළඹ වෙරළා සන්නයේ නව ද්‍රව ස්වභාවික ගෑස් අංගනයක් ඉදි කිරීමේත් අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට පැවරෙන අවසාන ගිවිසුමකට නිව් ෆෝට්‍රස් සමාගම හා ශ්‍රී ලංකා ආණ්ඩුව එදින අවතීර්ණ වූ බව එම නිවේදනයේ පළමු වාක්‍යයෙන්ම කියවේ.

මෙම ගිවිසුම අනුව දැනටමත්  ක්‍රියාත්මක යුගදනවි විදුලි බලාගාරයට හා දැනට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 700ක ධාරිතාවෙන් යුත් බලාගාරය ඇතුළත් කෙරවලපිටිය විදුලි සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට පැවරේ. මෙම මෙගාවොට් 700න් මෙගාවොට් 350ක ධාරිතාවක් 2023 සිට ක්‍රියාත්මක වන බව ද එහි සඳහන්ය.

වෙස්ට් කෝස්ට් සමාගමේ අයිතියෙන් සියයට 40ක් නිව් ෆෝට්‍රස් සමාගමට මෙමගින් පැවරේ. කොළඹ අසල ගෑස් ලබාගැනීමේ ගබඩා කිරීමේ හා යළි ගෑස් ලබාදීමේ අංගනයක්  ඉදිකිරීමට නිව් ෆෝට්‍රස් සමාගම සැලසුම් කොට ඇතැයි තවදුරටත්  එහි දැක්වේ.

එය අත්සන් කළ බව දැනගත් විගසම ජනතා විමුක්ති පෙරමුණත් සමඟි ජන බලවේගයත් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිතිත් ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්නට වූහ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ නැතිව මධ්‍යම රාත්‍රියේ මෙම ගිවිසුම අත්සන් කොට ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.

ආණ්ඩුවේ සුළු පක්ෂ ද ඉන් පසු මෙම විරෝධතාවට එක් විය. ඔවුහු මේ පිළිබඳව සාකච්ඡා කිරීම  සඳහා අවස්ථාවක් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම ඉල්ලීම  ඉටු නොවීය. මෙම ප්‍රශ්නය කැබිනට්  මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ හැකිය යන්න ඔවුනට ලැබුණු පිළිතුර විය. ඒ අනුව  ඔක්තෝබර් 28 වැනිදා පක්ෂ  නායක රැස්වීමේ දී එය සාකච්ඡාවට භාජන විය.

මෙම ගිවිසුම පිළිබඳ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඊට පෙර පැවැති කැබිනට් මණ්ඩලයේදී සඳහන් කිරීමක් පමණක් සිදුවුව ද එයට අනුමැතිය නොලැබුණු බවද එහෙත් එය අනුමත වූ බව ඇමැති මණ්ඩල රැස්වීම් වාර්තාවේ ඇති බව ද ජාතික  නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කළ බව පසුව වාර්තා විය. බලාගාරය සම්බන්ධයෙන් ඇති කරගෙන ඇති එකඟතාව අවසාන එකඟතාව නොවන බව එහිදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත් සුළු පක්ෂවල නායකයන් සෑහීමකට පත්වන අයුරින් එහිදී කරුණු ඉදිරිපත් නොවූයේ අවසන් තීරණයකින් තොරව රැස්වීම අවසාන වී තිබේ.

ඒ අනුව මේ පිළිබඳව ජනතාවට කරුණු කීම සඳහා ජනතාව අතරට යන බව සුළු පක්ෂ නායකයෝ පැවසූහ. ඒ අනුව ඔක්තෝබර් 29 වැනිදා කොළඹදී ‘‘මහජන මන්ත්‍රණ සභාව’’ යන නමින් වූ ඔවුන්ගේ පළමු රැස්වීම පැවැත්විණි. ආණ්ඩුවේ  ඇතැමුන් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමෙන්  අයුතු ප්‍රයෝජන ගන්නා බවට එහි දී චෝදනා කළ වීරවංශ මහතා 69 ලක්ෂයක ජන වරමට එරෙහිව කටයුතු කරනවුත් පළවා හැරිය යුතු යැයි පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කළේය.

විදුලි බලාගාරවලට ගෑස් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබිය දී ඒ සඳහා ඉල්ලුම් නොකළ ඇමෙරිකානු සමාගමකට ගෑස් සැපයීමේ ඒකාධිකාරය හිමිවන අයුරින් කටයුතු කිරීම දූෂණයක් බවත් තමන් අතිශයින් දූෂණ යැයි හැඳින්වූ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ යනාදීන්ගේ කාලයේ දී සිදු වූ දූෂණවලට වඩා මෙය විශාල දූෂණයක් බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඇතැම් ජනමාධ්‍යවල සඳහන් වූයේ ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ  බවය.  

ඔවුන් පවසන්නේ මෙම ගිවිසුම ජාතික යහපතට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ද ඔවුන් පැවසුවේ එය ජාතික සම්පත් විකිණීමක් බවත් ජාතික යහපතට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්ය. ඉතිහාසයේ සරදම නම් තමන්ම මෙතෙක් පහළ වූ දේශප්‍රේමිම නායකයන් යැයි මෙම සුළු පක්ෂවල නායකයන් විසින් හඳුන්වනු ලැබුවන්ගේ පාලන කාලයේදීම එම සුළු පක්ෂ නායකයන්ටම මෙසේ ජාතික යහපත හා ජාතික ආරක්ෂාව පිළිබඳව මැසිවිලි නඟන්නට සිදුවීමයි.

මෙම රැස්වීම්වලදී ඔවුන්ගේ වක්‍ර ඉලක්කය වූයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව පෙනේ. මීට පෙරද ඔවුන් හා බැසිල් රාජපක්ෂ මහතා අතර මතභේද පැවතීමත් මෙම යුගදනවි ගිවිසුම අතසන් කිරීමට මූලික වී ඇත්තේද බැසිල් රාජපක්ෂ මහතා වීමත් නිසා එසේ ඔවුන් ඔහු ඉලක්ක කර පහර දෙන බව පෙනේ.

එසේම  ඔවුන් මෙහිදී මෙම ප්‍රශ්නයට ජනාධිපතිවරයා වගකිව යුතු නැතැයි යන හැඟීමක් ඇතිවන ආකාරයට අදහස් පළ කරන්නට ද උත්සාහ කොට තිබේ. ඇතැමුන් ජනාධිපතිවරයාට ලැබුණු ජන වරමින් අයුතු ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන බව කීමෙන් එය පෙනේ. එහෙත් මෙම ගිවිසුමට ජනාධිපතිවරයා විරුද්ධ බවක් නොපෙනේ. මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා වෙනම සාකච්ඡාවක් කැඳවීමට එකඟවූයේ නැත. එසේම පසුගිය 3 වැනිදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ‘‘යුගදනවි ව්‍යාපෘතියේ සැබෑ තත්ත්වය’’ යන තේමාව යටතේ මෙහෙය වූ ජනාමාධ්‍ය සාකච්ඡාවේදී විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කියා සිටියේ දැනට ක්‍රියාත්මක කරන්නට යන යුගදනවි ව්‍යාපෘතිය රටට හිමි වූ විශාල ආයෝජන අවස්ථාවක් බවය.

මෙයින් පෙනෙන්නේ  ජනාධිපතිවරයා ඇමෙරිකානු සමාගම සමඟ කෙරුණු ගනුදෙනුවට එරෙහිව නොවන බවය. ඒ අනුව මෙම සුළු පක්ෂවලට මෙයට එරෙහි වෙමින් ආණ්ඩුව තුළ සිටිය හැකිද යන  ප්‍රශ්න මතුවේ.

හම්බන්තොට ආයෝජන කලාපය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය සංවර්ධනය කිරීම, වරායේ විවිධ බහාලුම් පර්යන්ත සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයන්ගේ විග්‍රහ අපූරුය. ඊට පක්ෂ  වන්නන් ඒවා හඳුන්වන්නේ විදේශ ආයෝජන ලෙසය. එරෙහි වන්නන්ට ඒවා ජාතික සම්පත් විකිණීම්ය. ඒ අනුව තම තමන්ගේ ස්ථාවරයෙන් සාධාරණීකරණය කරන්නට යොදා  ගන්නා අපූරු ආයුධයක් වන්නේ දේශප්‍රේමයයි. ජාතික සම්පත් විකිණීම දේශප්‍රේමයට පටහැනි වන හෙයිනි.

එහෙත් ඇතැම් ව්‍යාපෘතිවලට දේශප්‍රේමි පදනමින් එකඟ පිරිස් වෙනත් ඒ හා සමාන ව්‍යාපෘතිවලට එරෙහි වෙති. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමට පසුගිය ආණ්ඩුව 2019 දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ විට එවකට සිටි විපක්ෂය හෝ විශාල උද්ඝෝෂණයක් කළේ නැත. එහෙත් එම කටයුතු ඉදිරියට යද්දී මේ වසර මුල දී ඊට එරෙහිව විශාල උද්ඝෝෂණ ඇතිවිය. ආණ්ඩුවේ නායකයන්  එම ව්‍යාපෘතියට එකඟ වූ අතර ආණ්ඩුවේ  සුළු පක්ෂ ඊට එරෙහි වූහ. ඒ අනුව එම ගිවිසුම අවලංගු කෙරිණි.

ඊට හිලව් වශයෙන් කොළඹ වරායේම බටහිර පර්යන්තය අදාළ ඉන්දීය සමාගමටම පැවරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව  ඒ සඳහා වූ ගිවිසුම පසුගිය සැප්තැම්බර් 20 වැනිදා අත්සන් කෙරිණි. නැගෙනහිර ජැටියේ වටිනාකමෙන් සියයට 49ක් ඉන්දීය සමාගමට පැවරීමට එරෙහිව උද්ඝෝෂණය කළ කිසිවෙක් බටහිර ජැටියේ වටිනාකමින් සියයට 51ක් එම සමාගමටම පැවරූ විට ඊට එරෙහිව නිවේදනයක් හෝ නිකුත් කළේ නැත. ජනවාරි මාසයේ උතුරා ගිය දේශප්‍රේමය සැප්තැම්බර් මාසයේ දී සිඳී ගියේ කෙසේ ද?

කෙසේ වෙතත් ආණ්ඩුවේ සුළු පක්ෂ ආණ්ඩුවට එරෙහිව තීරණාත්මක අරගලයක් කරනු ඇතැයි සිතිය නොහැකිය. මන්දයත් එම පක්ෂවලට තනිව දේශපාලන ගමනක් යා හැකි ද යන්න සැක සහිතය. මැතිවරණවල දී ප්‍රධාන පක්ෂයත් සමඟ එක්ව තරග කරන ඔවුන්ගේ පක්ෂවලට අවස්ථා ගණනාවක් හා සමහර විට විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලැබිය හැකිය. එහෙත් එමගින් ඔවුන්ගේ ශක්තිය මැණිය නොහැකිය. 2004 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගතව තරග කළ ජවිපෙට ආසන 41ක් ලැබිණි. එම පක්ෂයේ නායකයෝ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සන්ධාන මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටියහ. එහෙත් 2010 මහ මැතිවරණයේ දී ජවිපෙට ලැබුණේ ඉන් හතරෙන් පංගුවකට අඩු ආසන සංඛ්‍යාවකි.

පොදුජන පෙරමුණෙන් ඉවත් වී ආණ්ඩුවේ සුළු පක්ෂවලට සන්ධාන ගතවීමට ප්‍රධාන පක්ෂයක් තිබේදැයි සැක සහිතය. ඔවුන් එජාපයට හෝ සමඟි ජන බලවේගයට එක් වීම සිතා ගැනීමටවත් නොහැකි දෙයකි. එසේ එක් වීමට හැකියාවක් තිබුණේ වුව ද 2010 න් පසු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අත් වූ ඉරණම දන්නා කිසිවෙක් එවැනි අනතුරුදායක කටයුත්තකට අතගසාවිදැයි සිතිය නොහැකිය. ඒ අනුව සිතිය හැක්කේ කුමක් සිදුවුව ද ටික දිනකින් සියල්ල යටපත් වී ඔවුන් ආණ්ඩුවේම සිටිනු ඇති බවය. ආණ්ඩුව ද තමන්ට අවශ්‍ය දෑ කරගෙන යනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment