අලුත් වැඩක් කියන්නේම මට නම් අලුත් පාඩමක්

0
271

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ භූමිකාව විටෙන් විට වෙනස් ය. සජීවි චරිත මවන රංගන ශිල්පියෙක් වන ඔහු විටෙක තිර පිටපත් රචකයෙකි, තවත් විටෙක වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ වෙනසක් කරන්නට උත්සාහ දරන අධ්‍යක්ෂවරයෙකි. පුළුල් වින්දන පරාසයක් තුළ සැහැල්ලුවෙන් නමුත් බරසාර අඩි තබමින් කලාවේ දිගු ගමනක් පැමිණි ඇති ඔහු මේ දිනවල පුංචි තිරයේ නිර්මාණ කිහිපයකින්ම රංගන ශිල්පියෙක් ලෙසද අධ්‍යක්ෂණ භූමිකාවෙන්ද අපට නැවත හමු වෙයි. මෙවර අපේ කතාබහ කලාවේ නොමැකෙන මතක එකතු කරන සුජීව ප්‍රියාල් සමඟයි.

සුජීවගේ අලුත් පෙනුමට දැන් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා නේද ?

අඩු නැතුව දැන් තරාතිරමකින් තොරව මේ පෙනුමට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්. කොහොම වුණත් මේ පෙනුමත් ටික කාලෙකින් සාමාන්‍ය දෙයක් වෙයි.

මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම දකින නිසා බොහොම කාර්යබහුල ඇති ?

මේ දවස්වල ‘දිවිතුරා‘,‘snape‘,‘ඉන්ටර්නැසනල් දෙක‘කියන ටෙලිනාට්‍ය එක්ක ටිකක් අවිවේකීයි. ඒ වගේම ඉතාමත් පරෙස්සමෙන් තමයි ඒ හැම වැඩ කටයුත්තක්ම කරගෙන යන්නේ.

 

මෑතක සිට වෙනස්ම ආරේ චරිත නිරූපණය කිරීමට ඔබ උත්සාහ කරනවා නේද ?

එය හිතාමතා කරන දෙයක් නෙමෙයි. බෝහෝ වේලාවට මම උත්සාහ කරන්නේ වෙනස් දෙයක් කරන්න. වෙනසක් නැතිනම් මේ ක්ෂේත්‍රයේ රැඳීම අපහසුයි. එකම සීමාවකට කොටු වුණොත් ප්‍රේක්ෂකයන්ට වගේම අපිටත් කලාව එපා වෙනවා. ඒ නිසාම මම උත්සාහ කරන්නේ වෙනස් ම අත්දැකීම් ලබා ගෙන අලුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට ළඟා කරන්න.

මෑතකදී විකාශනය ඇරැඹුණු ‘දිවිතුරා‘ නාට්‍යයෙත් මම නිරූපණය කරන්නේ රීයැලිටි වැඩසටහනක අධ්‍යක්ෂවරයකුගේ චරිතයක්. ඒ නාට්‍ය ප්‍රේම කතාවක් වටා ගෙතුණට මම ජීවය දෙන්නේ රියැලිටි වැඩසටහන පිටුපස සිදුවන වෙනස්ම විදියේ නිරූපණයකට.

 

අධ්‍යක්ෂණ භූමිකාවේ දැන් සක්‍රීයව ඉන්න ඔබ රංගන ශිල්පියෙක් ලෙස නවක අධ්‍යක්ෂවරු සමඟ වැඩ කිරීමෙන් ලබන අත්දැකීම මොකද්ද?

මම කැමති විවිධ අධ්‍යක්ෂවරු සමඟ විවිධාකාර අලුත් වැඩ කරන්න. මගේ නාට්‍යවලදී මම අධ්‍යක්ෂවරයෙක් වුණාට අනෙක් නිර්මාණවලදී ඕනෑම අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කිරීම අලුත් අත්දැකීම් ලබන්න මට එය ඉවහල් වෙනවා. මේ දිනවල මම රංගනයේ යෙදෙන එක් නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්නේ පසිදු පෙරේරා කියන තරුණ නවක නිර්මාණකරුවෙක්. ඔහු ගේ නිර්මාණකරණයෙන් වගේම මම දායකවන දෙවැනි නිර්මාණය අධ්‍යක්ෂණය කරන චාමර ජයවීර වැනි ප්‍රවිණ අධ්‍යක්ෂවරයාගෙන් පවා මට ගන්න පුළුවන් අත්දැකීම් නොසෑහෙන්න තියෙනවා. අලුත් වැඩක් කියන්නේම මට නම් අලුත් පාඩමක් වගේම මගේ දැනුමත් හුවමාරු කරගන්න පුළුවන් අවස්ථාවක්.

 

ඔබ අධ්‍යක්ෂණය කළ ‘ඉන්ටර්නැසනල්‘ටෙලිනාට්‍යට ලැබුණු ප්‍රසාදය නිසා ද දෙවැනි දිගහැරුමක් නිර්මාණය කළේ ?

‘ඉන්ටර්නැසනල්‘පළමු නිර්මාණය අසීමිතව ජනප්‍රිය වුණා. දෙවැනි නිර්මාණයකට යන්න මුලික ම හේතුව වුණේ ඒ ලැබුණු ජනප්‍රියත්වය. මම කැමැති නෑ ටෙලිනාට්‍යයක කොටස් අසීමිතව දික් කර නිර්මාණයේ රසය ප්‍රේක්ෂකයන් ගෙන් ඈත් කරන්න. ටෙලියක් ඕනෑවට වඩා දිගුවෙනවා කියන්නේම ප්‍රේක්ෂකයන්ට වගේම අපිටත් නිර්මාණය එපා වීමයි. ඉතින් මේ නිර්මාණය සීමා කළේ කොටස් සියයකට. එයින් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වගේම රසයක් ලබා දෙන්නයි මම වෑයම් කළේ. ‘ඉන්ටර්නැසනල්‘දෙවැනි දිගහැරීමත් අලුත්ම චරිත එක්ක අලුත්ම නාට්‍යයක් විදිහටයි නිර්මාණය වෙන්නේ.

 

ඒ කියන්නේ ඔබ ‘මෙගා‘නාට්‍ය රැල්ල එක්ක වැඩ කරන්න ඇකමැති ද ?

මම එවැනි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමති නෑ. හොඳ ඇරැඹුමකින් ඇතිව පටන් අරන් අවසානයේ අරමුණක්, කිසිම නාට්‍ය රසයක්, අත්දැකීමක් නැතිව ඔහේ ගලාගෙන යන නිර්මාණ අද ඕනෑ තරම්. ඒ නිර්මාණවලින් අපිට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන්ටත් ලැබෙන කිසිම දෙයක් නෑ. මේ කාරණා නිසාම පෞද්ගලිකව එවැනි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න මම අකමැතියි. දැනට රංගනයේ යෙදෙන නාට්‍ය වුණත් අසීමාන්විත විදිහට දිගට ඇදෙනවාට මම කැමැති නැහැ. නමුත් නිර්මාණකරුවන්ට ටෙලි නාට්‍යයක් අතීශය දිර්ඝ කරන්නත් ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයකුත් බලපානවා. විවිධාකාර ගැටලු රැසක් නිසයි අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ නිර්මාණ ‘මෙගා‘ කරන්න වෙන්නේ.

 

ඔබ අධ්‍යක්ෂණය කරන නිර්මාණවල ඔබම රංගන දායකත්වය ලබා දෙනවා නේද

ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. රචකයාගේ හිතේ ඇඳුණු චරිතයට මම පණ දෙන්න පුළුවන් යැයි ඔහුට හැගුණු සමහර අවස්ථාවල එහෙම කරන්න සිද්ධ වුණත් අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදීම හරිම අපහසු කර්තව්‍යයක්. ඒ නිසාම අධ්‍යක්ෂණය කරමින් චරිත නිරූපණය කරන්න මගේ වැඩි ප්‍රියතාවක් නෑ .

 

දූලීකා මාරපන වැනි රංගන ශිල්පිනියක් සමඟ විවාහ වීම ඔබේ රංගන ජීවිතයට ආභරණයක් නොවේද ?

දුලීකා නිසා මට බැබළෙන්න අවශ්‍යතාවක් හෝ අරමුණකුත් නෑ. මම කලාවේ මගේ ගමන යන්නේ වෙනස්ම රටාවකට. දුලීකා කලාවේ නියැළෙන්නේ ඇයටම අනන්‍යවූ රටාවකින්. හැබැයි අපේ විවාහ ජීවිතේ දී ඉතා ආදරයෙන්, සතුටින්, විනෝදයෙන් වගේම සහයෝගයෙන් කටයුතු කරනවා. මගේ ජීවිතේ දී දුලීකා මට මිල කළ නොහැකි ආභරණයක් .

 

ඔබේ සෑම නිර්මාණයකම ඇයටත් ඉඩක් තිබෙනවා ?

මගේ බෝහෝ නිර්මාණවල ඇයට හොඳින් ජීවය දෙන්න පුළුවන් චරිත තියෙනවා. ඒ නිසයි මම ඇයව සම්බන්ධ කරගන්නේ. නැතිව මගේ හැම නිර්මාණයකටම ඇයව සම්බන්ධ කරගන්නවා කියලා දෙයක් නෑ. අධ්‍යක්ෂවරයෙක්ට වුවමනා කරන්නේ තමන්ගේ නාට්‍ය දාරකයට පණ දෙන්න පුළුවන් අයව සම්බන්ධ කරගන්න. දුලීකා කියන්නේ එවැනි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇයව සම්බන්ධ කරගැනීම මට ඉතාමත් පහසුයි.

 

වේදිකාව ඔස්සේ දුර ගමනක් ආ සුජීවගේ ඉදිරි ගමන ගැනත් කතා කරමු?

වේදිකාව තමයි මම වැඩියෙන් ආදරය කරන තැන. මම ලොකුවට අනාගත බලාපොරොත්තු තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. වේදිකාව, ටෙලි නාට්‍ය කලාව, සිනමාව කියන ත්‍රිත්වයේම අත්දැකීම් මට ගන්න පුළුවන් වුණා. ඉදිරියේදීත් මේ ක්ෂේත්‍රයේ වගේම වේදිකාවෙත් වෙනස්ම නිර්මාණ කරන්න නම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here