Home කාලීන පුවත් අලුත් මඟකින් විප්ලවීය වෙනසක්

අලුත් මඟකින් විප්ලවීය වෙනසක්

by Hela news

රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික යථාර්ථයක් කිරීමේ තවත් දැවැන්ත පියවරක ප්‍රතිඵල පසුගිය සෙනසුරාදා දිස් විය. ඒ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් රටත්, ජනතාවත් හමුවේ පොරොන්දු වූ පරිදි මාර්ග කි.මී. 100,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම යටතේ වැඩ නිම කළ මාර්ග 1500 ක් එකම දිනයක දී ජනතා අයිතියට පත් කිරීම ය. අනපේක්ෂිත ගෝලීය වසංගතයට මුහුණ දෙමින් රටත්, ජන ජීවිතත් රැක ගැනීම සඳහා වෙර දරන අතර, සංවර්ධනය ද පෙරට ගෙන යෑමේ අභියෝගය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රජය සාර්ථක ව ජය ගනිමින් ඇති බවට මෙය එක් නිදසුනකි. මාර්ගයක් ඉදිකිරීම, සංවර්ධනය කිරීම යනු නිසැක වශයෙන් ම ජන ජීවිත ඉහළට ඔසොවා තැබීමකි. මෙලෙස සංවර්ධනය වන බොහෝ මාර්ග ග්‍රාමීය මාර්ග බව සලකන විට මෙම තත්ත්වය වඩාත් සුවිශේෂී ය. වසංගතයට සියල්ල පවරා නිහඬ වීම හෝ කිසිවක් නොකර සිටීම රජයකට පහසු විය හැකි වූව ද, එසේ නොකර අපහසු දේ කිරීමේ අභියෝගය රජය බාර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

වූහාන් නගරයෙන් ඇරැඹි වසංගතය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වී දෙමසක් ගත වීමටත් පෙර චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් වසංගතය මතු විය. එහි සිටි ශ්‍රී ලාංකේය සිසුන් ගෙන්වා ගැනීමට රජය ක්‍රියා කළ අයුරු ඇතුළු එම මෑත අතීතය ජනාධිපතිවරයා සිය කතාවේ දී සිහිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාවට ද 2020 මාර්තු මාසයේ පටන් ඊට එරෙහි ව සටන් කිරීමට සිදු විය. එතෙක් මෙතෙක් ගෙවී ගොස් ඇති වසර එකහමාරකට වැඩි කාලසීමාව මුළුල්ලේ ප්‍රමුඛ වශයෙන් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද, ලොව සෑම රටකට ම පාහේ මෙවැනි සමයක මුහුණ දීමට සිදු වන දුෂ්කරතා දරා ගනිමින් විවිධ මට්ටමින් ජනතාවට හැකි සහන සැලැස්වීමට ද ක්‍රියාමාර්ග ගෙන තිබේ. එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ව ඉදිරියට ගෙන යමින් සාර්ථකත්වයක් ළඟා කර ගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටී. අපේක්ෂිත කාලයටත් පෙර එම ඉලක්ක සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. එවැනි සාර්ථකත්වයක් රට අත්කර ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සහ රජය පමණක් නොව රට අසමත් වනු දැකීම ප්‍රාර්ථනා කළ, ඒ වෙනුවෙන් වෙහෙස වූ විපක්ෂයක් ඒ සඳහා කළ හැකි සියල්ල කරමින් සිටියදී ය. මෙවැනි සමයක අභියෝග ජය ගැනීම සඳහා පක්ෂ විපක්ෂ හෝ වෙනත් ඕනෑම බෙදීමක් පසෙක තබමින් ක්‍රියා කිරීම වෙනුවට විපක්ෂය කළේ කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ ව කිසිදු තැකීමක් නොකරමින් වීඳි විරෝධතා සංවිධාන කිරීම ය. මහාමාර්ග අමාත්‍යවරයා ද සඳහන් කළ පරිදි එවැනි විපක්ෂයක් ලොව කවර රටකවත් නොතිබෙන්නට ඇත. ගෝලීය වසංගතයක් මෙන්ම ජාතික ව්‍යසනයන් හමුවේ එක්ව සිටින්නට බැරි මේ විපක්ෂය තවමත් පෙන්නුම් කරමින් සිටින්නේ ඔවුන් උරුම කොට ගත් පසුගාමී දේශපාලන සංස්කෘතියේ පිළිබිඹුව ය.

පො‍රොන්දු ඉටු කිරීමේ මඟ

වසංගතයට සියල්ල පවරා සිටියේ නම් මිස ජනාධිපතිවරයා හෝ රජය අසමත් වීම සිදු නොවන බව ඔවුහු දැන සිටියහ. ඒ ඔස්සේ විපක්ෂය ක්‍රියා කරමින් සිටිය දී, ජනාධිපතිවරයා සහ රජය එය විවේචනය කිරීම පසෙක තබා සිය පො‍රොන්දු ඉටු කිරීමේ මඟ තෝරා ගත් අයුරු පෙනෙන්නට තිබේ.

ඇවිදින මංතීරු ඉදිකරන විට ඒදඬු පාලම්, අබලන් වූ මංමාවත්, පෙන්වමින් ඊට පහර ගැසූ අය එකම දිනයක මාර්ග 1500 ක් ජනතා අයිතියට පත් කෙරෙන විට නිහඬ ය. ඇත්ත නම් හතර අතට මඩ ගසමින් අවලාද නඟමින්, විරෝධතා සහ කොරෝධතා මාර්ගයේ ඔවුන් යන විට මෙම මංමාවත් ඉදිවෙමින් තිබූ බව ය. ඉදිරියටත් ඉදිවන බව ය. එලෙස, මාර්ග දහස් ගණනක සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබේ. ඉදිරි කාලය තුළ ඒවා ද මෙලෙසම ජනතාවට උරුම වනු ඇත.

රජය කරමින් ඇති අගය කළ යුතු වැඩපිළිවෙළ යටපත් කිරීම සඳහා විපක්ෂය දරන වෑයම පෙනෙන්නට තිබේ. විවේචන කළ යුතු තැන සාධනීය විවේචන කිරීම, වැරැදි ඇතොත් පෙන්වා දීම, මෙන්ම විකල්ප තිබේ නම් ඉදිරිපත් කිරීම වගකිව යුතු විපක්ෂයක කාර්යභාරයයි. ඔවුන් එය ඉටු කළ යුතු වේ. එසේ වූවද, මේ සිදුවන්නේ එය ද යන්න සිහි බුද්ධියක් ඇති ඕනෑම අයකුට වටහා ගැනීම අසීරු නැත.

මාර්ග 1500 ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා එවකට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යුද්ධයක ද යෙදෙන අතර සංවර්ධනය පෙරට ගෙන ගිය අයුරු සිහිපත් කළේ ය. මෙරට මාර්ග පද්ධතිය ග්‍රාමීය මාර්ගවල පටන් එතෙක් ඉතිහාසයේ නොවූ අයුරින් සංවර්ධනය කිරීම සිදුවූයේ එම අවදියේ ය. එතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක්ව තිබූ අධිවේගී මාර්ග රටට උරුම වූයේ ද එසමයෙහි ය. එදා අධිවේගී මාර්ග ඉදිකරන විට ඊට අවලාද නැඟූ, බොරු බේගල් ඇද බෑ අය අද ඒ මාර්ග භාවිත කරන විට තමන් කළ කී දේ සිහියට එනවා දැයි නොදනිමු. මාර්ගයක් ඉදිකිරීම යනු පක්ෂ හෝ විපක්ෂ වීම සලකා සිදු කරන දෙයක් නොවන බවත් වටහා ගැනීමට හැකි විය යුතුය. කවර කලෙක කවර ආණ්ඩුවක් යටතේ එය සිදු වූව ද පක්ෂ විපක්ෂ සියල්ලන් එහි ප්‍රතිලාභ ලබන අතර එය රටට උරුම වේ. මේ වනවිට ද මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු වන අතර නුදුරු අනාගතයේ ජනතා අයිතියට පත් කෙරෙනු ඇත. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් වූ නව කැලණි පාලම ද මේ වසර තුළ රටට, ජනතාවට උරුම වනු ඇත. වසංගත සමයක වූව ද මේ කිසිවක කටයුතු අඩාළ නොවී ඉදිරියට ගෙන යෑමට හැකි වීම ජයග්‍රහණයකි.

තීරණාත්මක පියවර රැසක්

මාර්ග 1500 ක් ජනතා අයිතියට පවරා දෙමින් ජනාධිපතිවරයා ‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය’ පිළිබඳ සිහිපත් කළේ කවර අභියෝග මධ්‍යයේ වුව ද ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන බව යළි සපථ කරමිනි. තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ තමන්ගේ මුහුණට නොව එම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට බව එතුමා සඳහන් කළේ ඉතා නිවැරැදිව ය. මේ රට තමන්ගෙන් ඉල්ලා සිටියේ ‘විප්ලවීය වෙනසක්’ බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. එකී ‘විප්ලවීය වෙනස’ සිදුකිරීම සඳහා දෙවසරක කාලයක් තුළ දරුණු වසංගතයකට ද මුහුණ දෙමින් තීරණාත්මක පියවර ගණනාවක් ම තැබීමට හැකි වී තිබේ. මේ අන්දමින් මාර්ග සංවර්ධනය කිරීම එක් පියවරකි. තවත් අතිශය අභියෝගාත්මක මෙන්ම වර්තමාන සහ අනාගත පරම්පරා වෙනුවෙන් ජය ගත යුතුම ඉලක්කයක් වන ‘කාබනික ගොවිතැන’ සඳහා යොමු වීමේ පියවර ද එවැනි ‘විප්ලවීය වෙනසකට’ හේතු වන වැඩපිළිවෙළකි. එය ඉදිරියට ගෙන යෑම සඳහා වෙහෙසීම හා කැපවීම වෙනුවට හෙළ ගොවිතැන කෘෂි රසායනික හා රසායනික පොහොරටම දිය කර හැරීම වෙනුවෙන් කොපමණ පාර්ශ්ව කටයුතු කරමින් සිටින්නේ දැයි මේ වන විට දැක ගත හැකිය. ‘ගොවි ජනතාව’ වෙනුවෙන් සහ රට පිළිබඳ සැබෑ හැඟීමක් තිබේ නම් ඔවුන් ගත යුතු වන්නේ කවර මඟ දැයි තෝරා ගැනීම දුෂ්කර නැත. එසේ වුව ද, පටු හා අවස්ථාවාදී දේශපාලනය, බහුජාතික සමාගම්වල අරමුණු ආදිය ඊට ඉහළින් තිබේ. ජනාධිපතිවරයා ගොවි ජනතාවට ආරාධනා කළේ, මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර බලමු යනුවෙන් ළෙන්ගතුව ය. කාබනික ගොවිතැන සඳහා යොමු වීම යනු තමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ කාරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එබැවින් එය අහසින් පාත් වූ වැඩපිළිවෙළක් නොවේ. අනෙක් අතට එය අපට උරුම ගොවිතැන ද බව ඇත්ත ගොවියෝ හොඳින්ම දනිති. කාබනික ගොවිතැනට යොමු වීම යනු නූතන කෘෂි තාක්ෂණයෙන් බැහැර වීම නොවේ. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා මෙන්ම ඉන් රටේ ආර්ථිකයට ද පිටුබලයක් ලැබීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම ද ඊට ඇතුළත් ය. නැනෝ තාක්ෂණය භාවිත කරමින් පොහොර නිෂ්පාදනය සඳහා මෙරට විද්‍යාඥයන්ට ඇති හැකියාව නිදසුනකි. ජනාධිපතිවරයා ඒ සෑම අංශයකටමත් ආරාධනා කළේ කෘෂි රසායනික හා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කරන ගොවිතැන වෙනුවෙන් පර්යේෂණ කරන ලෙස ය. නව ක්‍රම හඳුන්වා දෙන ලෙස ය. ගොවි ජනතාවට ඊට යොමු වන ලෙස ය. කුරුඳු, ගම්මිරිස්, කහ වැනි භෝගවලට ඉහළ අපනයන ආදායමක් ලැබෙමින් ති‍බීමේ වාසිය ගොවියාට ලැබී ඇති අයුරු ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

රට තුළ විප්ලවීය වෙනසක් සිදු කරමින්, තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි ම පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කිරීම තවත් සුවිශේෂී කාරණයකි. එම ඉලක්ක සපුරා ගැනීමට දිරි දීම මෙරට බලශක්ති විශේෂඥයන්ගේ ද, පරිසරප්‍රේමීන්ගේ ද යුතුකම ය, වගකීම ය.

5 වැනි සංවත්සරය

මේ කිසිවක් පහසු ඉලක්ක හෝ අභියෝග නොවේ. එසේම සපුරා ගැනීමට නොහැකි ඉලක්ක ද නොවේ. පළමුව අවශ්‍ය කරන්නේ ඊට අවශ්‍ය දැක්ම හා වුවමනාව තිබීම ය. දෙවනුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් තිබීම ය. තුන්වනුව එකී වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ දී අදාළ පාර්ශ්වයන්ට ඇති ඕනෑකම හා කැපවීම ය. පළමුවැන්න සහ දෙවැන්න දැනටමත් සපුරා තිබේ. දැන් අවශ්‍ය කරන්නේ තුන්වැන්න පෙරට ගෙන යෑම ය. නායකත්වය තුළ ඊට ඇති වුවමනාව, කැපවීම මෙන්ම දර්ශනය ද පැහැදිලි ය. අවශ්‍ය කරන්නේ සෙසු අදාළ පාර්ශ්ව ඉදිරියට ගමන් කිරීම ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි සංවත්සරය නිමිත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම මාර්ග 1500 ජනතා අයිතියට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද රට තුළ නව වෙනසක් සඳහා සිය නිර්මාණශීලී දායකත්වය මුසු කළ තාප්ප සිතුවම් ඇඳි තරුණ පරපුර ගැන සිහිපත් කළේ ය. යළි ඒවා පෙරට ඒමට ඇරයුම් කළේ ය. එය ඉතාමත් ගැඹුරු මෙන්ම හෘදයාංගම ආරාධනයක් බව අපගේ කල්පනාව ය. එදා ජරාජීර්ණ ව තිබූ පෝස්ටර්වලින් වැසී තිබූ තාප්ප පිරිසුදු කර සිය නිර්මාණශීලීත්වය ඒ මත මුදාහැරි මෙම තරුණ පරපුරට ඔච්චම් කළ ඔවුන් හෑල්ලුවට ලක් කළ අය එදා කළ කී දේ අපට මතක ය.

වසංගතය පරාජය කරමින් යළි නැඟී සිටින රටට මෙම නිර්මාණශීලී තරුණ ජවය, දැනුම, හැකියාව අවැසිම ය. ඒ බව පිළිගන්නා ඔවුන් පැතූ විප්ලවීය වෙනස කරා රට ගෙන යන නායකයකු බලයේ සිටිය දී, රට දකින සුව සිහින සැබෑ කිරීමට තවත් පමා නොවිය යුතු බව අපගේ අදහස ය. මේ ඊට කාලයයි.

0 comment
0

Related Posts

Leave a Comment