Home ව්‍යාපාර පුවත් අරමුණට පාර හදන්නේ විනය සහ කැපවීමයි

අරමුණට පාර හදන්නේ විනය සහ කැපවීමයි

by Hela news

Southern smart (pvt)ltdහි කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. බන්දුලසේන

ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ ලබා ගත් උසස් අධ්‍යාපන දැනුම හා ප්‍රායෝගික අභ්‍යාසයන් විධිමත්ව භාවිත කරමින් රටේ ඉහළින් ඇගයෙන සන්නාමයක් ගොඩනැඟීමට සමත් වූ ව්‍යවසායකයන් සිටින්නේ අතෙහි ඇඟලි ගණනටත් අඩුවෙනි. southern smart (pvt) Ltdහි කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. බන්දුලසේන මහතා එවන් සුවිශේෂ ව්‍යවසායකයෙකි. මේ කතාබහ ඒ අපූරු ව්‍යාපාරික පිළිවෙත් හා ගමන්මඟ පිළිබඳයි.

 කළමනාකරණය පිළිබඳ උපාධියක් ගත් ඔබ ඒ අංශයේ බහුතරය තෝරාගන්නා මඟ වන වෘත්තියවේදියකු නොවී ව්‍යාවසායකයකු වූ පසුබිම කුමක්ද ?

මම උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ. ඉන්පසුව නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් කළමනාකාරණය පිළිබඳ උපාධිය හැදෑරුවා. දැනුම හා අත්දැකීම් වර්ධනය කර ගැනීමට කොළඹ සිටීම අවැසි වුණත් ආර්ථික අපහසුතා නිසා ඒ සඳහා අවස්ථාව අහිමි වුණා. ඒ අහිමි වූ අපේක්ෂාවන් ජයගැනීම සඳහා මගේම ව්‍යාපාරයක් දිනෙක අරඹන බවට මම අදිටන් කර ගත්තා. ඒ අතරේ මම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් හොඩනැඟීම සඳහා එහි ප්‍රධානියාට සෑම අයුරකින්ම සහාය දෙමින් කටයුතු කළා. වැටුපක්. තනතුරක් ආදි කිසිදු වරප්‍රසාදයක් නොලබා ඒ ආයතනය මෙරට ප්‍රමුඛ ආයතනයක් බවට පත් කිරීම සඳහා දිවා රෑ නොලබා වෙහෙසුනා. එහිදී ගත් අත්දැකීම් ව්‍යාපාරයක් ගොඩනැඟීමේදී මට මහත් දිරියක් වුණා.

ඔබ ගොඩනැඟූ ව්‍යාපාරයේ මූල බීජය අසනීපව ඇඳක්මත ගෙවූ කාලයේ ඇති වූ අදහසක් බව පැවසුවා.?

උසස් අධාපනය ලබන කාලයේ මම තරමක් රෝගාතුර වූණා. ඇඳක් මතටම වී සිටි ඒ කාලයේ මගේ නවාතැන වුණේ පානදුරේ මගේ සොහොයුරාගේ නිවෙස. පාරට සමීප ඒ නිවෙසේ දහවල මෙන්ම රාත්‍රිය තරමක් උණුසුම්, ඒ වගේම මදුරුවන්ගේ හිරිහැර අඩුවක් නැති වුණා. දිවා කල මෙන්ම රාත්‍රිය විදුලි පංකාව ක්‍රියාත්මක වුණා. ඒවගේම මදුරු දැල තුළට වී සිටිය යුතු වුණා. මේ වකවානුවේ මගේ හිතට පෑමිණි කරුණ වූයේ හතරැස් ඇඳට රවුම් නෙට් එකක් දමා ඇඳෙන් අඩකටත් වැඩි ප්‍රදේශයක් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයක් වී ඇති බවයි. එසේම දහදිය දැමීමත් වැඩී. ඊට හේතුව ඇඳ තුළ ඉඩකඩ සීමා වීමයි. මම හිතුවේ ලෝකේ හැම දේම අලුත් වෙද්දී ඇයි මේ හතරැස් ඇඳට රවුම් නෙට් එකක් දැමීමේ සම්ප්‍රදාය වෙනස් නොවන්නේ. කිසි දවසක රවුම් ඇඳක් සාදන්නේ නෑ වගේම ඒ කාලේ හතරැස් මඳුරු දැලක් හැදුවෙත් නෑ. මේ මට ඇතිවූ ගැටලුව වගේම මඳුරුදැල් භාවිත කරන පාරිභෝගිකයන්ගේ ගැටලු හඳුනා ගැනීමට මම වෙළෙඳපොළ සමීක්ෂණයක් කළා. ඒ අනුව මදුරුදැල් භාවිත කරන පාරිභෝගිකයන්ගේ ගැටලු කිහිපයක්ම හඳුනා ගත්තා. ඉන් පළමු වැන්න ඇඳෙහි ඉඩ සීමා වීම, දෙවැන්න දහදිය දැමීම, ඒ වගේම උසස් තත්ත්වයේ ඇඳන් භාවිත කරන කෙනකුට ඒ ඇඳෙහි ප්‍රමිතියට සරිලන මදුරු දැලක් ඒවනවිට වෙළෙඳපොළෙහි නොතීබීම වැනි හේතු මෙහිදී ඉස්මතු වුණා. මේ වකවානුවේ වෙළෙඳපොළෙහි සාමාන්‍ය ලී ඇඳක් රුපියල් තුන් හාර දහසක් වුණා. නමුත් දම්රෝ සමාගම රුපියල් 25,000ක ඇඳක හඳුන්වා දුන්නා. ඒ ඇඳ මිලදී ගත් අය මඳුරු උවදුර සඳහා භාවිත කළේ දැල් වෙනුවට වෙනත් විකල්ප විසඳුම්. ඒවගේම මේ වකවානුවේ බොහෝ නිවෙස්වල සිවිලිම් පංකා භාවිත වුණා. එකල පැවති මදුරු දැල් සිවිලින් පංකාවක් ඇති විට භාවිත කළ නොහැකි වුණා. එපමණක් නොව කල් පැවැත්ම ඉතා කෙටි කාලීන වුණා. මේ ගැටලුවලට විසඳුමක් දෙන ආකාරයේ උසස් ප්‍රමිතියකින් යුතු මඳුරු දැලක් නිපදවීමයි අරමුණ වුණේ. කෙසේ වෙතත් තවත් වැදගත් අපේක්ෂාවක් මා සතු වුණා. මම කරන ව්‍යාපාරය සමාජයටවත් පරිසරයටවත් හානියක් නොවන ආකාරයේ එකක් විය යුතු බව මා මටම දුන් පොරොන්දුවක්. වසර 24ක අතීතය පුරාවට මා ලබන ව්‍යාපාරික සතුට ඒ පොරොන්දුව ඉටු කිරීමට හැකිවීමයි. ඔබ පවසන්නේ මදුරු දැලෙහි ප්‍රමිතිය ඉහළට ඔසවා තැබූ බවද ? වෙළෙඳපොළෙහි අවශ්‍යතාව හඳුනා ගත්තත් එවැනි නිෂ්පාදනයක් කිරීම එක් රැයකින් කළ නොහැකියි. ඒ පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව මා ඒවනවිට ගනුදෙනු කළ බැංකුවේ කළමනාකාරවරයා හමු වුණා. ඒ වාර්තාවට අනුව මා නිෂ්පාදනය කිරීමට සැලසුම් කළ මඳුරු දැලෙහි මිල රුපියල් 1,750ක්. ඒ වනවිට වෙළෙඳපොළෙහි මදුරු දැලක මිල රුපියල් 200ක් පමණ. වාර්තාව කියවූ කළමනාකරු එය ඉවත දැමුවේ ‘‘රුපියල් 200ට මදුරු දැල් තිබියදී 1,750ක් දී මඳුරු දැල් මිලදී ගැනීමට කවරකු ඉදිරිපත් වේදැයි අසමින්. නමුත් මගේ උත්සාහය මෙන්ම අරමුණ අත්හැරියේ නෑ . ඒ අපේක්ෂාව පසෙක තිබියදී ගෘහ කර්මාන්තයක් ලෙස මදුරු දැල් නිෂ්පාදනය ආරම්භ කළා. මම මුලින්ම නිෂ්පාදනය කළේත් රවුම් මඳුරු දැල් නමුත් මම එහි ඇසුරුම සිත් ඇදගන්නා අයුරින් සැකසුවා. ඒවනවිට ප්‍රමුඛපෙළේ එක් සන්නාමයක් යටතේ මඳුරු දැල් වෙළෙඳපොළෙහි තිබුණා. නමුත් ඔවුන්ගේ ඇසුරුම සාමාන්‍ය එකක්. මම ඇසුරුම තුළට අලංකාර දවටනයක් ඇතුළත් කළා. මදුරු දැලෙහි නිමාව රේන්දයක් ඇල්ලූ ලස්සන රැලි පටියකින් සැරසුවා. මේ අයුරින් වෙළෙඳපොළ වෙත පිවිසීමෙන් අනතුරුව ක්‍රමයෙන් අපගේ අපේක්ෂිත ඉහළ ප්‍රමිතියෙන් යුතු නිමැවුම කිරීමට අවැසි තාක්ෂණික පහසුකම්, අමුද්‍රව්‍ය පිළිබඳ සැලසුම් සම්පාදනය නොකඩවා කළා. මේ අයුරින් වසර පහක පමණ කාලයක් මූලික අත්දැකීම් ගැනීම සඳහා ගත කළා. මෙවැනි නිෂ්පාදන ලොව කොතැනකවත් නොකරන නිසාම අපට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ මෙන්ම යන්ත්‍ර සූත්‍ර පිළිබඳ සොයා බැලීමට සිදු වුණා. උදාහරණයක් විදිහට ඇඳෙහි දිග පළලට සමාන දිගකින් පළලකින් යුතු රාමුවක මදුරුදැල දැවටීමට අපේ කණ්ඩායමට අවැසි වුණා. එහිදී යකඩ භාවිතය අත්හැරීමට වූයේ බර මෙන්ම මල බැඳීම යන කාරණා සලකායි. එහිදී අප විසින් තෝරා ගත් අමුද්‍රව්‍ය වූයේ සුදු යකඩයි. අපට අවශ්‍ය ප්‍රමාණයෙන් හා බරකින් යුතු (stanless steel tubes) සුදු යකඩ වානේ නළ සොයා ගැනීමට වසර කිහිපයක් ගත වුණා. චීන සමාගමක් අපගේ අවශ්‍යතාව අනුව වනේ නළ නිෂ්පාදනය කිරීමට කැමති වුවද ඒවා අවැසි පරිදි නමා ගැනීම ඊළඟ අභියෝගය වුණා. ඒ අනුව අපි ඒවා කපා ගැනීමට චීනයෙන් යන්ත්‍රයක් ආනයනය කළා.

ඒ යන්ත්‍රයෙන් අපිට අවශ්‍ය ආකාරයෙන් වානේ නළ නවා ගැනීම හා කපා ගැනීමේ කටයුතු කළ නොහැකි වු නිසා වෙනත් චීන සමාගමක් වෙත ගෙනගොස් අපට ඇවැසි කාර්යය කර ගත හැකි ආකාරයෙන් ඒ යන්ත්‍රයේ කොටස් ගලවා නැවතත් සකස් කර ගත්තා. මේ යන්ත්‍රය නිසා මුලින් සිවු දෙනකු පමණ කළ කාර්යයක් යන්ත්‍රය ක්‍රියා කරවන එක් පුද්ගලයකු විසින් වඩාත් කාර්යක්ෂමව කළ හැකි වුණා. ඔබ පවසන්නේ මේ වනවිට ඔබගේ මඳුරු දැල් නිෂ්පාදනය මෙරට ප්‍රමුඛතම නිෂ්පාදනය බවද ? අපට මේ ක්ෂේත්‍රයේ වසර 24ක අත්දැකීම් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ අප ප්‍රමුඛයන් වෙන්නේ ඉහළ ප්‍රමිතිය නිසයි. මෙරට ප්‍රභූ පුද්ගලයන් මෙන්ම විදෙස් තානාපතිවරු පවා ඉහළ ප්‍රමිතිය නිසා අප සොයා එනවා. තරුපහේ හෝටල් ඇතුළු හෝටල් ක්ෂේත්‍රයෙන් අප වෙත ඇණවුම් ලැබෙනවා. අලංකාරය මෙන්ම ප්‍රමිතිය හා කල්පැවැත්ම, සුවපහසුව හිතන අය අප වෙත පැමිණෙනවා. මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳසල් සෑම එකකම අපගේ නිෂ්පාදන දැකගත හැකියි. ආර්පිකෝ, සී.අයි.බී, තිලකවර්ධන වැනි ආයතන මුල් අවදියේ සිට අපගේ නිෂ්පාදන අලෙවි කරමින් අපට ස්ථාවරව ගොඩ නැඟීමට සහායක් වුණා. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේත් ප්‍රමිතිය අතින් අපි ප්‍රමුඛයෙක්.

නවක ව්‍යවසායකයකුට මෙරට බැංකු පද්ධතියෙන් ලැබෙන සහාය ප්‍රමාණවත්ද ?

බැංකු ක්ෂේත්‍රය ව්‍යවසායකයන්ගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන ආයතන. ඔවුන් විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට නිරතුරුව සහාය දෙනවා. පසුගිය වකවානුවේ අමුද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් අවශ්‍ය වුණා. එහිදී මා ගනු දෙනු කරන බැංකුව මට අප්‍රමාදව සහාය වුණා. ඔවුන් පැවසුවේ අසීරු අවස්ථාවේදී තමන්ගේ විස්වාසවන්ත ගනුදෙනුකරුවන්ට අවැසි සහාය දෙන බවයි. බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමේදී විශ්වාසය සුරැකීම ඉතා වැදගත්. මා ගනුදෙනු ආරම්භ කළ මුල් වකවානුවේ සිට කිසිම අවස්ථාවක චෙක්පතක් හෝ අගරුවීමට ඉඩ තබා නෑ. මේ ව්‍යාපාරය ගොඩනැඟුවේ මහත් කැපවීමකින් අදිටනකින් මා පසු කළ අභියෝග වෙනත් කෙනකු වෙත පැමිණියේ නම් ඔහු මෙය අත්හැරීමට ඉඩ තිබුණා. පරාජිතයකු වීමට තිබූ අකමැත්ත නිසාම මම සියල්ල දරාගත්තා.

කොරෝනා හේතුවෙන් ඔබගේ ව්‍යාපාරයට වූ බලපෑම කෙබඳුද ?

මුල්ම රට වසා දැමීමේ අවස්ථාවේ දින කිහිපයක් වසා දැමුවත් අපි විශේෂ අවසර ගෙන දිගින් දිගටම නිෂ්පාදන හා බෙදාහැරීම් කළා. රෝහල්වලට මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහාත් ඇණවුම් ලැබුණා. ඒ වකවානුවේ අපි තැබූ ඉදිරි පියවර වූයේ තාක්ෂණයෙන් හැකි පමණ සේවාවන් පූර්ණ කිරීමයි. භාණ්ඩ අලෙවිය බෙදාහැරීම අන්තර්ජාලය ඔස්සේ කෙරුණා. කුරියර් සේවාවන්ගේ දායකත්වයද මේ වකවානුවේ ඉහළ මට්ටමක පැවතුණා. මීට අමතරව ආනයන සීමාවන් හා ඇති විය හැකි ප්‍රමාදයන් පිළිබඳ කල්තියා හඳුනා ගත් අපි මාස හයක් සඳහා අමුද්‍රව්‍ය ගබඩා කිරීමේ අපගේ ප්‍රතිපත්තිය පසෙක දමා වසරකට අවැසි අමුද්‍රව්‍ය ගබඩා කර ගැනීමට කටයුතු කළා. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව කිරීමට හැකි වුණා.

නිෂ්පාදන අපනයනය සඳහා වැඩපිළිවෙළක් නැතිද?

දැනටමත් අපනයනය කෙරෙනවා. නමුත් වඩාත් පුළුල් ලෙස අපනයන දියුණු කිරීමට අපේක්ෂා කරනවා. අපගේ නිෂ්පාදන සඳහා යුරෝපයේ මෙන්ම මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ හොඳ ප්‍රසාදයක් හිමිවී තිබීම ඊට හේතුවයි. ඉදිරියේදී ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටයි අපේක්ෂා කරන්නේ.

0 comment
0

Related Posts

Leave a Comment