Home විදෙස් පුවත් අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස්

අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස්

by Hela news

මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි.

මියැන්මාරයේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය 37 හැවිරිදි ෆෙන්ස්ටර් පසුගිය මැයි මාසයේදී යැංගුන් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ රඳවා තබාගෙන සිටි අතර, ඔහු අත්අඩංගුවට පත් වූයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සිය වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙනි.

මේ සතියේදී ඔහුට රාජද්‍රෝහී සහ ත්‍රස්තවාදී නීති යටතේ තවත් චෝදනා දෙකක් ගොනු කර තිබූ අතර, එය ජීවිතාන්තය දක්වා උපරිම සිර දඬුවමකට යටත් වීමට එය ප්‍රමාණවත්ය. නව චෝදනා සම්බන්ධ නඩු විභාගය මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණි.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව කියමින් මියැන්මාර හමුදා රජය මීට පෙර ජපාන මාධ්‍යවේදියකු වන යුකී කිටාසුමි ද අත්අඩංගුවට ගෙන තිබිණි. කෙසේ වෙතත් ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස් කෙරිණි. ෆෙන්ස්ටර්ගේ නිදහස වෙනුවෙන් අමෙරිකා රජයත් එවැනි ඉල්ලීමක් කර තිබූ අතර, මුලින් එය ප්‍රතික්ෂේප කළ මියැන්මාර හමුදා රජය පසුව ඔහු නිදහස් කිරීමට තීරණය කළේය

0 comment
0

Related Posts

Leave a Comment