Home කාලීන පුවත් අමරදේවයන්ගේ අමරණීයත්වය

අමරදේවයන්ගේ අමරණීයත්වය

by Hela news

පණ්ඩිත් අමරදේවයන්ගේ පස්වන ගුණ සමරුව නොවැ: මස03 වැනි දිනට යෙදි තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සදහටම සිය නෙත් පියාගත් මොහොතේ සිටම, අමරදේව මුළු රටටම ඇසෙන්නට හඬගා කීවේ, ”ඔබගෙන් වෙන් වී මම යන්නම්” කියාය. ඔහුගේ කඳුළින් තෙත් වුණු ඒ සුලලිත සුමධුර හඬ, මුළු මහත් සිරිලක් දෙරණ ගුවන්තලය සිසාරා අතොරක් නැතිව නැඟි නැඟී ආවේය. නගර ගම් නියම් ගම් ද, ප‍්‍රත්‍යන්ත ජනපදද, සරු නිසරු බිම්ද, හුදු මුඩුම මුඩු පොළොවද, කඳු හෙල් මිටියාවත්ද, ඇළ දොළ ගංගාද සිසාරා පැතිර ගිය ඒ ගී රාවයෙන් කම්පිතව ප‍්‍රකම්පිතව විස්ම පත් මුළු මහත් ජාතියක්ම, එකාවන්ව සුසුම් හෙළූහ; වැලපුණාහ.

තමාට පෙර, ආපසු නොඑන මිනිසුන්ගේ තීර්ථයෙන් එතෙර වුණු මහගම සේකරගේ බසින් අමරදේව කියා සිටියේ, තමා ”මළහිරු බසිනා සැන්දෑ යාමේ” අප හැමගෙන්ම සමු ගන්නා බවය. එතෙකුදු වුවත්, අමරදේවට එපරිදි අපගෙන් සමුගෙන වෙන්ව යන්නට අපට ඉඩ දිය හැක්කේද? නොහැක්කේමැයි? මන්ද යත්, ඔහු අපගේ යුගයත්, අපගේ දේශයත් ඉක්මවා සිටින අමරණීය මිනිසකු වන හෙයිනි.

මීට වසර කිහිපයකට පෙර, මහගම සේකර එගොඩ වුණු තීර්ථයෙන්ම අප හැර ගිය මහදුරු එදිරිවීර සරච්චන්ද්‍ර, මොරටුව කොරලවැල්ලේ තරුණ ඇල්බට් පෙරේරාට ප‍්‍රදානය කළ අන්වර්ථ නාමයෙහි නොමැරෙන බව, දෙවතාවක්ම සඳහන් කොට තිබිණි. අමර – දේව යන ඒ දෙවදනම කියා සිටියේ, මේ මිනිහා නොමැරෙන මිනිහකු බවය. එහෙත් මැරෙන්නවුන් අතර සිට, කවර තරමේ ආශ්චර්යවත් නිර්මාණ කළද, අමරදේවයෝ මරණීය පුද්ගලයෙක්ම වූහ. සිදු වූයේ එකී ලෝක ධර්මතාව හෙවත් ලෝක සත්තාව සැබෑ වීමක් පමණි. දැන් ඔහු මරණීය ලෝකයෙන් අප හැර ගොස් සිටින්නේ, අමරණීය ලෝකයට ය. අමරදේව, සැබෑවටම අමරණීය වී ඇත්තේ දැන්ය.

සුප‍්‍රකට උපනිෂද් සූක්තය කියා සිටින්නේ, ”අසතෝ මා සද්ගමය, තමසෝ මා ජ්‍යෝතිර්ගමය, මෘත්‍යෝර් මා අමෘතංගමය” කියාය. ඉන් අයදින්නේ, අසත්‍යයෙන් සත්‍යයටත්, අන්ධකාරයෙන් ආලෝකයටත්, මරණයෙන් අමරණීයත්වයටත් පත් කරනු මැන කියාය.

අමරදේවයෝ දශක සප්තකයටත් වැඩි කාලයක් තුළ අපේ ජාතියේ කලාවත් සංගීතයත් – පුළුල් අරුතකින් ගත් කල, මුළු මහත් ජාතියේම සංස්කෘතියත් – අසත්‍යයෙන් මුදාගෙන සත්‍යය තෙක් ගෙන ආහ; අන්ධකාරයෙන් මුදාගෙන ආලෝකය තෙක් ගෙන ආහ. අපගේ ජාතිය වෙත එකී උත්තම සම්ප‍්‍රදානය කළ අමරදේවයෝ. දැන් වනාහි සැබැවින්ම මරණයෙන් අමරණීයත්වයට පත්ව සිටින්නාහ.

එහි තේරුම කුමක්ද?

එහි තේරුම අන් කිසිවක් නොව, මින් මත්තෙහි ඔහු කිසියම් කුටුම්බයකට – ගමකට – පෙදෙසකට – මතු නොව, රටකට වුණත්, තනිව අයිති කරගත නොහැකි බවය. මින් මතුවට මුළු මහත් මානව වර්ගයාගේම සංස්කෘති දායාදයේ කොටසක් බවට පත්ව, එහි උරුමයක් බවට පත්ව, මුළුමහත් මිනිස් වග අතර අමරණීයව ජීවත් වන බවය; ජාතියේ මහා ගාන්ධර්වයාගේ භෞතික මරණය සම්බන්ධයෙන් දිය හැකි අර්ථ කථනය – කළ හැකි විවරණය – ලිවිය හැකි ව්‍යාඛ්‍යානය – ඒ වනැයි මම සිතමි.

පණ්ඩිත් අමරදේවයන් ගේ, අනපේක්ෂිත අභාවය පිළිබඳ පුවත සැලවූ සැණින්ම, සියලූම ශ‍්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් මාධ්‍යයන් ගගනත රාව ප‍්‍රතිරාව දෙන සේ මුදා හැරියේ, මරණය ස්වකීය රුදුරු ග‍්‍රහණයට ගත් මේ අපූර්ව මිනිහාගේ නොමැරෙන කටහඬය. අපගේ දෙසවන් තුළට ගලා ආවොත්, එතුළ දෝංකාර දුන්නේත්, දැනුදු ඉඳහිට ඇසෙන්නේත්, ඒ භාවපූර්ණ ස්වර්ණ ස්වරයමැයි.

ඇත්තටම, මේ ස්වරය – මේ හඬ – මේ කටහඬ – කවරක්දැයි කිසිවකු කල්පනා කෙළේද?

කිසි විටෙකවත් අපගේ ශ‍්‍රවණේන්ද්‍රිය නොපාරවන ඒ මධුර ස්වරය, ඇත්ත වශයෙන්ම අමරදේවගේම පමණක්ද?

එදාත් ඇසුණු, අදත් ඇසෙන, අනාගතයේත් නෑසෙන්නට හේතුවක් නැති, ඒ රන් ස්වරය, ස්වකීය මරණයේ සළුවෙන් ඔතාගෙන එතෙරට ගෙන යන්ට අමරදේවට අවකාශයක් නොවීය. මන්ද යත්, අමරදේව තීර්ථයෙන් එතෙර වූයේ, ස්වකීය ස්වර්ණ ස්වරය රාව ප‍්‍රතිරාව නඟන සේ අප අතර තබාය; ඉමහත් ස්නේහයෙන් අනුපම පරිත්‍යාගශීලයෙන් එය අප රටට ජාතියට සංගීතයට භාෂාවට කලාවට සපුරාම පුදාය. දැන් ඒ ස්වර්ණ ස්වරය අපගේය. මතු මත්තටත් අපගේය. අපේ පමණක් නොව, අප ලියූ ගී පද අන්තයෙහි ආරම්භ වන්නා වූ විශ්වීය සංගීතයේය. සැබැවින්ම දැන් වනාහි, අමරදේවයෝ ජීවත්වන්නාහු, ශ‍්‍රී ලාංකික කියන පටු ඉසව්වෙහි නොවේය. ඔහු දැන් සජීවමානව අමරණීයව සිටින්නේ, මුළු මහත් විශ්ව සංගීතය තුළය; එහි කොටසක් බවට පත්වය.

ඔහුගේ ස්වර්ණ ස්වරය තුළින් මතුව ආවේ, මුළු මහත් ජාතියේම කටහඬ බැව් සිහි කරන්නේ, අප අතර සිටින කිහිප දෙනෙක් පමණි.

කිසිදු ලෝබකමකින් තොරව, මොනම ආකාරයේවත් විශේෂණ පදයක් නැතිව, මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර එදවස කියා සිටියේ, අමරදේවගේ හඬ, ජාතියේ හඬ බවය. සැබැවින්ම එය ජාතියේ වර්තමාන කාලීන හඬ පමණක් නොවෙයි. ඒ හඬ අකාලික හඬක්ද වන්නේය.

මන්ද යත්, මුළු මහත් ඉතිහාසය පුරාම ගලාගෙන ගලාගෙන ඇවිත්, අමරදේවයන් ගේ ස්වරය තුළ එක් වී කැටි වී තිබුණේ ජාතියක අභිමානවත් කටහඬය. එක් මොහොතක අපගේ දෑස තෙත් වන පමණටම හැඟීම් බර වන ඒ සියුම් කටහඬ, තව වරෙක අප‍්‍රමාණ ගෘංගාර රසාලිප්ත ගීත නාදයක් වූයේය; තවත් විටෙක මුළු මහත් ජාතියේම යසෝ රාවය හුවා දක්වන කාහල නාදයක් වූයේය.

ඇතැම් විට අපගේ විකල්ප ජාතික ගීතය හැටියට අභිෂේක කොට ඔටුනු පළඳවන්නට සුදුසු, මහගම සේකර විසින් ප‍්‍රබන්ධිත රත්නදීප ජන්ම භූමි යන සිරසැති අපූරු ගීතය, එදවස පණ්ඩිත් අමරදේවයන් ස්වකීය ගායන පර්ෂදයත් සමඟ එක්ව ගායනා කළේ, ශ‍්‍රී ලාංකික ගගනෝදරය දෝංකාර දෙන පරිද්දෙනි. ඒ පද කිහිපය තුළ, ජාතියක් හැටියට අපගේ යශෝරාවය ඉහළම තැනකට ඔසොවා තබන ලද්දේ විය.

එකී ගායනය උච්චම තලයට නැඟුණේ, සේකරගේ මෙවදන්වලිනි.

”ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුළින් කළේ හැපී
ගායනා කරන්නේ
ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි.”

ආකාශයේ නැඟී රැව් දුන් ඒ ”යශෝ ගීතය”, අමරදේවගේ අමරණීයත්වය අන්‍යාර්ථයකින් ප‍්‍රකාශ කරන යෙදුමක් නොවන්නේද?

0 comment
0

Related Posts

Leave a Comment