Home කාලීන පුවත් අභියෝග මැදින් ඉදිරියට යන ජනතාවාදී අයවැයක්

අභියෝග මැදින් ඉදිරියට යන ජනතාවාදී අයවැයක්

by Hela news

ඕනෑම රටක ආර්ථිකය එරට ජන දිවිය ශක්තිමත් කරයි. ඕනෑම රටක පවතින රජයේ නිශ්චිත ආර්ථික ඉලක්ක සමඟ ඉදිරි ආර්ථික දැක්ම තීරණය කරන්නේ වාර්ෂික අය වැය ලේඛනයෙනි. වෙනත් අයුරකින් පැවසුවහොත් එය රජයේ ඉදිරි වසරේදී ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ඒ සඳහා දැරීමට සිදුවන වියදම සහ එම වියදම පියවා ගන්නා ආකාරය දැක්වෙන සවිස්තරාත්මක ගිණුම් වාර්තාව අය වැය ලේඛනය බව කිවහොත් එය නිවැරැදිය.

මේ ගිණුම් වාර්තාව මුළු රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකයට බෙහෙවින් බලපාන හෙයින් රටක අයවැය පොදුජන දිවිය සමඟ මනා බැඳීමක් පවතින බැව් නොරහසකි. මිනිසාගේ මූලික පරිභෝජන රටාවට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැලඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය මේ සියලු මූලික මිනිස් අවශ්‍යතා සමඟ රටක අයවැය නම්වූ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ජන දිවිය ශක්තිමත් කරන්නේය. සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළ තුළින් ජන දිවියේ සතුට රැඳී පවතියි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ වුවද මනා ආර්ථික සැලැස්මක් අනුව ක්‍රියා නොකළහොත් අසහනය රජ කරයි. රටකද එසේමය. ඒ අනුව නාස්තිය පිටුදකිමින් දිළිඳු ජනයා නඟා සිටුවමින් මෙවර ඉදිරිපත් කොට ඇති අයවැය ලේඛනය ජනතා සිතුම් පැතුම්වලට ඉඩදුන් ජනතාවාදී අයවැයක් වශයෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ පැසසුමට ලක්වී ඇත. එසේම විවිධ පාට කණ්ණාඩිවලින් බලන රජයේ සෑම වැඩපිළිවෙළක් විවේචනය කරන සුළු පිරිසකගේ හැර සමස්ත ජනතාවගේ දැඩි පැසසුමට ලක්වූ අයවැයක් වර්තමාන රජයට ඉදිරිපත් කිරීමට පුළුවන්වීම අගය කළ යුත්තකි.

සෞභාග්‍යයේ දැක්ම පෙරටුකොටගත් වර්තමාන රජයේ ඒකායන අරමුණ ස්වශක්තියෙන් නැගී සිටින රටකි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම එහි ඇති ප්‍රබල අභියෝගයකි. ඒ අභියෝගයට මුහුණදීමට හැකි අයවැයක් වර්තමාන මුදල් ඇමැතිවරයා රට හමුවේ ඉදිරිපත් කළේය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප

සමස්ත ලෝකයම කොවිඩ් අභියෝගයෙන් බැටකද්දී අපි වැනි පුංචි රටක පුංචි ආර්ථිකයකට එය තදින් බලපාන බව නොරහසකි. රටට විදේශ විනිමය ගලාගෙන ආ සංචාරක ව්‍යාපාරයට ඒ තුළින් එල්ල වූයේ මරු පහරකි. තවද අපේ රටින් විදේශ රටවල සේවය කරන විදේශ ශ්‍රමිකයන් හිස් අතින් නැවත අපේ රටට පැමිණීම විදේශ විනිමය අහිමි වූ තවත් ප්‍රබල දෙයකි.

තවද අපේ රටේ කුලීවැඩ කරන ජනයාගේ සිට ලොතරැයි අලෙවිකරුවන් ත්‍රීවිලයකින් කීයක් හරි සොයාගෙන ජීවත්වූ ජනයාට කොවිඩ්වලින් එල්ල වූයේ දැඩි ආර්ථික පීඩනයකි. මේ තත්ත්වය සමථයකට පත් කිරීමට සියලුම අඩු ආදායම් ලාභී ජනයාට නොමිලේ බඩු මල්ලක් රජයෙන් දීම, රුපියල් පන්දාහේ දීමනාව ආදී සියලු කටයුතු රජයෙන් ඉටුකළේ මේ රජය ජනතාවාදී රජයක් වූ හෙයිනි. කොවිඩ් වැලඳී මිය යන ප්‍රමාණය අඩුකර ගැනීමට රජය සිය සක්‍රිය දායකත්වය හමුදාව හරහා දුන්නේ ජනතාව රැක ගැනීමටය. තවද සෑම මිනිසෙකුම කුසගින්නේ මියයා නොදී රැක ගැනීමට විශේෂයෙන් අඩු ආදායම්ලාභී ජනයා වෙනුවෙන් සහන සලසා දුන්නේ ජනතාවාදී ආණ්ඩුවක් වශයෙනි. දරුණු අභියෝග රැසක් මැද ජනතා සිතුම්පැතුම්වලට ඉඩදුන් අයවැයක් ඉදිරිපත් කිරීමට පුළුවන් වූයේ ජනතාවගේ දුක හොඳින් හඳුනාගත් මුදල් අමාත්‍යවරයකුට පැහැදිලි ආර්ථික දැක්මක් තිබූ හෙයිනි. මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතා‍ව ආරම්භ කරමින් “දරුණු අභියෝග සහිත කාලයක් වුවද ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට තිබෙන බව පැවසීම” අගය කළ යුත්තකි. විශේෂයෙන් දිළිඳු ජනයා වෙනුවෙන් සහන මල්ලක් දීමට කෝටි 1500ක් වෙන් කිරීම අපේ රටේ දුක් විඳින සාමාන්‍ය පංතියේ ජනතාව වෙනුවෙන් ගත් මානුෂික ක්‍රියාදාමයකි.

විශේෂයෙන් ගුරු විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීමට කෝටි 3000ක් දීම ද මෙරට දැවෙන ප්‍රශ්නයක් විසඳීමට ගත් ‍කාලෝචිත පියවරකි. ගුරු, විදුහල්පති ගැටලුව විසඳීමට වෙනත් රජයක් නම් භාවිත කරන්නේ කඳුළුගෑස්, බැටන්පොලු, වෙඩි උණ්ඩ වුවද වර්තමාන රජය ඒ මිනිසුන්ගේ දුක වේදනාව මැනවින් හඳුනාගෙන ඊට නිසි විසඳුම් දීම ගැන බොහෝදෙනා කථා නොකිරීම කනගාටුවට කරුණකි.

රටක ජීවනාලිය බඳු උපාධිධාරින් ස්ථිර කිරීමට කෝටි 760ක් වෙන් කිරීම උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ගත් ප්‍රබල උත්සාහයකි. වර්තමාන රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ පෙරටු කරගත් ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන වෙනුවෙන් කෝටි 8500ක් වෙන් කිරීම ජනතාවාදී රජයක ජනතාවාදී අයවැයක තවත් විප්ලවීය වෙනසකි. ගම සමඟ පිළිසඳර තුළින් මීමුරය, ලංකාගම ආදී අති දුෂ්කර ප්‍රදේශවල ජනතාව ජයග්‍රහණ රැසක් භුක්ති විඳිති. තවත් එවැනි දුෂ්කර ගම්මාන රැසක ජනයාගේ ජීවිත සුඛිත මුදිත කිරීමට ගත් ඉතාම ප්‍රශංසනීය ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙය පෙන්වා දීමට පුළුවන. නිරෝගී සම්පන්න ජනතාවක් සිටීම රටක ආර්ථිකයට ශක්තියකි. රටේ ශ්‍රම හමුදාව නිරෝගී ශක්තිමත් කඩිසර පිරිසක් වේ නම් එරට සංවර්ධනයේ පැහැදිලි ඉලක්ක කරා පියවර තැබීම පහසුය. කාබනික පොහොර ප්‍රවර්ධනයට කෝටි 3500ක් වෙන්කොට ඇත්තේ ඒ ඉලක්කය සපුරා ගැනීමටය. නාස්තියට දූෂණයට වැට බඳින අයවැයක් වශයෙන් මෙවර අයවැයෙන් රාජ්‍ය ආයතනවල දුරකතන වියදම 25% කින් පහතට දමා තිබීමද අගය කළ යුත්තකි. තවද කිසිදු ආණ්ඩුවක කිසිදු මුදල් ඇමැතිවරයකු නොගත් තීරණයක් තීන්දුවක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ගෙන ඇත. එනම් මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10 දක්වා දිගු කිරීමයි.

ජනතාව සමඟ සිටින මහජන නියෝජිතයාට ඊළඟ වසර 5 ද සිටීමට ජනතාව ජනතා වරම දෙයි. දිස්ත්‍රික්කයේ ආසනවල සංවර්ධන කටයුතු නොපිරිහෙලා ඉටුකරන ජනතා නි‍යෝජිතයන්ට මෙය බාධාවක් නොවේ. තවද මන්ත්‍රීවරු තව තවත් සංවර්ධන කටයුතු වේගවත් කිරීමට මේ වසර 10ක කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය දැරීම විශ්‍රාම වැටුපකට හිමිකම ලැබීම මන්ත්‍රීවරුන්ට ලැබුණු ප්‍රබල උත්තේජනයකි.

ඉන්ධන දීමනාව

තවද ඇමැති ඉන්ධන දීමනාව මසකට ලීටර් 5කින් අඩුකර ඇත. ඉතාම සුබවාදී අයුරින් ගොඩනැඟු අයවැය සංවර්ධන ඉලක්ක රැසක් ක්‍රියාවේ යෙදවීමට ගත් ප්‍රශංසනීය උත්සාහයකි. දියර කිරි පරිභෝජනය නංවන්න කෝටි 100ක් වෙන් කිරීම, පිළිකාකාරක විදේශ කිරිපිටි ආනයනයට ප්‍රබල මරු පහරකි. දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම මෙමඟින් සිදුවේ. සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක් ලබා දීම අධ්‍යාපනය හා සෞඛ්‍ය නැංවීමට ගත් තවත් පියවරකි. සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් ජනතාව‍කගේ අවශ්‍යතාව මැනවින් හඳුනාගත් බව එයින් පැහැදිලිවේ. මෙවර අයවැයෙන් බදු සහන ධනපතීන්ට හිමිවී නොමැත. නිශ්චිතවම තෝරාගත් ධනවතුන්ගෙන් බදු අයකර ගැනීම ඉතාම ප්‍රශංසනීය පියවරකි. අපේ රටේ ජීවත්වූ ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ද ඉතාම සූක්ෂම අයුරින් ධනවතුන්ගේ ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගත්තේය. ඒ අපේ රටේ පෑගෙන පොඩිවෙන, තැළෙන ජනතාව සුඛිතමුදිත කිරීමටය. ඒ මඟ යමින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ධනවතුන්ට බදු සහන ලබා නොදෙමින් එවැනි ධනවතුන්ගෙන් බදු මුදල් අයකර ගන්නා වැඩපිළිවෙළ අගය කළ යුත්තකි. එහෙත් ධනවතුන් සුරකින පක්ෂවල දැඩි විවේචනය මේ සඳහා එල්ලවීම කනගාටුවට කරුණකි.

පොදු ප්‍රවාහන සේවය අදටත් පාවිච්චි කරනුයේ සාමාන්‍ය ජනතාවයි. ඒ අනුව දුම්රිය හා බස් රථ ප්‍රවාහන සේවය නැංවීමට කෝටි 200ක් වෙන් කිරීම ඉතාම ඵලදායි පියවරකි. විශේෂයෙන් රාජ්‍ය අංශ‍ෙය් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ගමනාගමන කටයුතුවලට දුම්රියෙන් සිදුවනුයේ විශාල මෙහෙවරකි. එය සුභසාධන ක්‍රමයක් දක්වා විකාශනය වී ඇත. ඒ අනුව පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් කෝටි 200ක් වෙන් කිරීම සාමාන්‍ය ජනයා වෙනුවෙන් අයවැය තුළින් ගත් තවත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ගයකි.

සහන රැසක්

දේශීය කෘෂිකර්මාන්තයට ඉහළ ඉල්ලුමක් ලබාදී දේශීය ගොවියාගේ අස්වනුවලට ඉහළ මිලක් ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි. විශේෂයෙන් රජරට, දිගාමඩුල්ල වැනි ප්‍රදේශවල වී ගොවිතැන් කරන ජනයාට අවශ්‍ය ජලය ලබාදෙන්නේ වැව්වලිනි. මෙවර අයවැයෙන් ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනට රුපියල් කෝටි 2000ක් වෙන් කිරීම වැව් අමුණු ප්‍රතිසංස්කරණය කොට විධිමත් ජල කළමනාකරණයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බව තවදුරටත් පැහැදිලිය.

රටක මාර්ග පද්ධතිය විධිමත් කිරීමෙන් පාසලට යන ග්‍රාමීය පෙදෙස්වල ජීවත්වන දුවා දරුවන්ට මෙන්ම වියපත් ජනයාට අසල රෝහලට යෑමට අවශ්‍ය මාර්ග සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධනය වෙනුවෙන් කෝටි 2000ක් වෙන් කිරීම ද බොහෝදුරට සාමාන්‍ය ජනතාවගේ සුඛවිහාරණය වෙනුවෙන් ගත් තවත් ප්‍රජාසත්කාරයකි. වර්තමාන ලෝකයේ පුනර්ජනනීය බලශක්තියට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. තවද පරිසර හිතකාමී ලොවක් නිර්මාණය කිරීමට එය ප්‍රබල දායකත්වයකි.

හිරුඑළිය, සුළඟ බලශක්තීන් බවට පත් කිරීම එහි මූලික අරමුණයි. ඒ අනුව මෙවර අයවැයෙන් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට රුපියල් කෝටි 50ක් වෙන් කිරීම අප රට තිරසර සංවර්ධනය වෙනුවෙන් ගත් ඉතාම ප්‍රශංසනීය තවත් ඉදිරි පියවරක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. එක් ගමකට ලක්ෂ 30 බැගින් ග්‍රාම සංවර්ධනයට කෝටි 4,206.3ක් වෙන් කිරීම ගම අමතක නොකළ ජනතාවාදී අයවැයක් බවට තවදුරටත් පැහැදිලිය. විශේෂයෙන් ජනයාගේ ක්‍රීඩා සංවර්ධනයට කෝටි 300ක් වෙන් කිරීම නිරෝගිමත් ක්‍රියාශීලි ජනතාවක් බිහි කිරීමට ගන්නා ලද තවත් අගනා අයවැය යෝජනාවකි. දිළිඳු ජනයා නඟාසිටුවීමට සහන මල්ලකට රුපියල් කෝටි 1500ක් ද, රාජ්‍ය සේවකයන්හට යතුරුපැදි ලබාදීමට කෝටි 50ක් වැය කිරීම තුළින් ජනතාව දිරියෙන් නඟාසිටුවීම රජයේ අපේක්ෂාව බව පැහැදිලිය. ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතාම සක්‍රීය මෙන්ම පැහැදිලි ආර්ථික වැඩපිළිවෙළක් සහිත අයවැයක් ඉදිරිපත් කිරීමෙන් ජනතාවට විශාල සහන රැසක් ලබාදී ඇති බව පෙන්වා දීමට පුළුවන. හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම ආර්ථික විද්‍යා විශේෂඥයකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා පැවසූ පරිද්දෙන්, සෞභාග්‍ය ළඟා කරගත හැක්කේ මහන්සි වී වැඩ කිරීමෙනි. එය තවදුරටත් සත්‍යයක් බව පසක් කරමින් වැඩකරන ජනතාවට දිරිදුන් අයවැයක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් කිරීම ද අගය කළ යුත්තකි.

0 comment
0

Related Posts

Leave a Comment