Home ගොසිප් පුවත් අභියෝගවලින් මට අඩුවක් නෑ; ජීවිතේ නිවා ගන්නේ කවියක් ලියලා

අභියෝගවලින් මට අඩුවක් නෑ; ජීවිතේ නිවා ගන්නේ කවියක් ලියලා

by Hela news

බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙසත් ප්‍රාදේශීය රෝහල් ගණනාවක ආයුර්වේද වෛද්‍යවරියක ලෙසත් කටයුතු කළ කුමාරි කුමාරසේකර මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වන්නී ය. ඇය සිය විශ්‍රාම දිවිය අර්ථවත් කරගන්නේ සිය ආයුර්වේද දැනුම ඔස්සේ මෙවන් වසංගත කාලයක ජනතා ඥානණය වෙනුවෙන් අසීමිතව කැප වෙමිනි. ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමේ පාරම්පරික දැනුමට ඇය නවීන දැනුම ද මුසු කරමින් මේ කොවිඩ් සමය සෞඛ්‍යාරක්ෂිතව හා මානසික ශක්තියෙන් යුතුව මුහුණ දෙන ආකාරය ගැන ජනතාව දැනුම්වත් කරන්නීය.

ඇගේ අසීමිත මානවවාදී ගුණය නිසා ඈ පැමිණි මඟ වූ කටුකොහොල් ඇයට කටුකොහොල් සේ පෙණුනේ නැත. ඒවා තවතවත් ධෛර්යයේ ලකුණු පමණක් ම විය. සිය වෘත්තියෙන් එහාට ගිය ඇය කලා කටයුතුවල නිරත වෙමින් කිවිඳියක ලෙස සමාජය පිළිපන්නේ බහුවිධ නිපුණතා පෙන්වමිනි.

අපමණ ධෛර්යයෙන් යුතුව ජීවිතයේ අභියෝග වචනයක් පමණක් කළ ඇගේ දිරිය කතාව මෙපරිදිය.

දේශීය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සරසවි වරම් ලබා ගත් ඇය අනුරාධපුර ආයුර්වේද රෝහලට මුල්ම පත්වීම ලබන්නේ ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගය වසංගතයක් ලෙස මෙරට පැතිරුණු කාලයකය. රස්සාව වගේම පරස්තාවද සිද්ධ වුණේ ඔය කාලයේදීම නේද කියලා මම අහද්දී වෛද්‍ය කුමාරි කුමාරසේකරගේ මුහුණේ ඇඳුණේ සුන්දර සිනහවකි.

“ඇත්තටම ඔව්. මේ කාලේ කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරිලා යනවා වගේ ඒ කාලේ රෝහල් පිරිලා ගියේ ජැපනීස් එන්සෙෆලයිටීස් කියන රෝගයෙන්.

අනුරාධපුර ආයුර්වේද රෝහලට පත්වීම ලබනකොට මාත් එක්ක හිටියේ තව වෛද්‍යවරු දෙන්නයි. ඒ කාලේ රෝහල් පහසුකම් වුණත් හුඟක් අඩුයි. ආධුනික වෛද්‍යවරියක් වුණත් මමත් දිවා රෑ රෝගීන් සුවපත් කරන්න වෙහෙස වුණා. ඒ කාලේදිම තමයි මම මගේ ඇවැස්ස මස්සිනා එක්ක විවාහ වුණේ. ඒක යෝජිත විවාහයක්. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්.”

ඇගේ ජීවිතය වචනවලට පෙරළුණේ වේගයෙනි. එහි දුක සුසුම හා වේදනාවත් ධෛර්යයේ අාඩම්බරයත් ගැබ්ව තිබිණි. ඇගේ ජීවිත කතාව ආධුනික අයකුට පාසලක් තරම් දැනුමක් සම්පාදනය කරන්නකි.

ඒ කතාව ඒතරම් රසවත්; ඒ වගේම ධෛර්යය සම්පන්නය. මම ඇයත් සමඟ ඇගේ ළමා කාලයට ගියේ ඈ ගොඩනැඟුණු පරිසරය ගැන අවබෝධයක් ලබා ගනු වස් ය.

‘මම ඉපඳුණේ 1959 අගෝස්තු මාසේ 20 අනුරාධපුර මහ රෝහලේ. තාත්තා විදුහල්පතිවරයෙක් වගේම දේශීය වෛද්‍ය විද්‍යාව ගැන නක්ෂත්‍රය ගැන හසල දැනුමක් තිබ්බ කෙනෙක්. අම්මත් ගුරුවරියක්. ඒ නිසාම මම ලොකු මහත් වුණේ දැනුමත් එක්ක. මගේ තාත්තාට නම් ඕන වුණේ මාව බටහිර වෛද්‍යවරියක් කරන්න.

පවුලේ එකම දරුවා වුණු මට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. එත් ඒ ජිවිතය අංශක 360කින් කණපිට පෙර‌ෙළන්නේ තාත්තගේ අභාවය එක්ක. එතකොට මගේ වයස අවුරුදු 12යි. ඒ තමයි මගේ ජිවිතයේ පළමු අහිමි වීම. ඔහු මියයන්නේ හදිසි ආඝාත තත්ත්වයකින්. කොහොම වුණත් අපි ආපු ගමන් මඟ එතනින් වෙනස් වුණා කියන්න පුළුවන්. හැබැයි ඒ ආර්ථික අතින් නම් නෙමෙයි, ආරක්ෂාව අතින්. අම්මයි මමයි මේ ලෝකේ තනි වුණා කිව්වොත් හරි. පස්සේ මගේ මාමලා දෙන්නා අපේ ආරක්ෂාව වෙනුවෙන් අනුරාධපුරයට ආවා. තාත්තාගේ අභාවයත් එක්ක මගේ අධ්‍යාපන ගමන අඩාළ වුණත් මම සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණා. ඒ වෙනකන් අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය මම උසස් පෙළ කරන්න ගියේ මහනුවර මහාමායා විද්‍යාලයට. ඉස්කෝලේ හිටපු ජනප්‍රියම චිත්‍ර ශිල්පිනිය මම‘ මහා සංකීර්ණ මිනිස්සු ඇතුළේ වුණත් සුන්දර කලාකරුවන් ජිවත්වෙන බවට ඇය උදාහරණයකි. පාසල් කාලයේ චිත්‍ර ඇඳපු ඇය අද සයිබර් අවකාශයේ කිවිඳියකි.

ඇගේ ජීවිත කතාවේ සුන්දරම පරිච්ඡේදය ලියන්න ඇගේ ජීවිතයට එකතු වෙන ආදරණීය සැමියා රිචඩ් මහානාම දිසානායකයි.

‘විවාහ වුණාට අපි දෙන්න හිටියේ තැන් දෙකක. ඒකට හේතුව මහත්තයාගේ සහ මගේ රාජකාරි ජීවිතය. ඔහු කාලයක් හිටියේ මාතලේ, ඊට පස්සේ පොළොන්නරුවේ. විවාහ වුණත් අපි එක ගෙදරක හිටියේ සති අන්තයේ විතරයි. ඔය කාලයේදී තමයි මම ගැබිනියක් වෙන්නේ.

එතකොට හිටියේ ඇනෙක්සියක. ජීවිතයට තනියම මුහුණ දීමේ පළවෙනි පාඩම මම ඉගෙනගත්තේ මගේ දියණියව ලොකු මහත් කරන්න ගත්ත උත්සාහයත් එක්ක. අද වෙනකොට නම් මම දියණියක් 03 දෙනෙකුගේ මවක්. කවින්ද්‍යා ඉමාෂා පියුමි මගේ දියණියන් තිදෙනා. ඔවුන් අද විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා. ඒ වුණාට දෙවෙනි දුව ඉපදිලා මාස 05ක් යද්දී මගේ ජීවිතේට තවත් අභියෝගයක් ආවා.

ඔය කාලෙදී මට ශිෂ්‍යත්වයක් ලැබුණා චීනෙට. ඒ පශ්චාද් උපාධි පාඨමාලාවක් හදාරන්න. ඒක ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මටත් මගේ මිතුරියකටත් ලැබුණු මේ අවස්ථාවට සතුටු වුණු පිරිස් හිටියේ අතේ ඇඟිලි ගානට. මගේ ස්වාමියා, අම්මා ළඟම නෑදෑයෝ සතුටු වුණත් සමහර අය උත්සහ කළේ මට ලැබුණු ඒ අවස්ථාව උදුර ගන්න. ගුවන් ගතවෙන අවසාන තත්පරය දක්වාම අවිනිශ්චිතව තිබුණු මේ විදේශ ශිෂ්‍යත්වය මම යථාර්ථයක් කරගත්තේ කැප කිරීම් හුඟාක් කරලා. චීන කටුචිකිත්සාව සහ පිලිස්සුම් ක්‍රමය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරලා අපහු මම ලංකාවට ආවේ 1993. මම රටින් පිටත් වුණේ අනුරාධපුර ආයුර්වේද රෝහලේ ප්‍රධානියා විදිහට. හැබැයි අාපහු මම ලංකාවට එද්දී මට ඒ තනතුර නැහැ. මම සාමාන්‍ය වෛද්‍යවරියක්.

ඒ වචන ටික මුවින් පිටවන මොහොතේ ඇය නැවත 1993ට ගොස් ඇති බව මට සිතුණේ එදා තිබුණු වේදනාවේ බර ඇය හෙළු සුසුමෙන් දැණුනු නිසාය. ජීවිතය යමක් දෙන්නේ යමක් උදුරා ගනිමින්ද? මගේ සිත ප්‍රශ්න කරයි. සෑම හිමි වීමක් ළඟම අහිමි වීමක්ද අහිමි වීමක් ළඟ හිමි වීමක් ද වේ. ඇගේ කතාවේ සමහර තැන් ද එසේමය; ඒ කතාවට සමපාතී ය.

‘ලංකාවට එද්දී මගේ තනතුර නැති වුණාට මම සාමාන්‍ය වෛද්‍යවරියක් විදිහට කටයුතු කළා. එතන ඉදන් මම සටන් කළේ චීන කටුචිකිත්සාව පිළිබඳ සායන රෝහල ආරම්භ කරන්න. ඒකට රජයේ අරමුදල් නොලැබුණු නිසා මම පෞද්ගලික මුදලින් වැඩේ පටන් ගත්තා. අවුරුද්දක් මම මගේ වියදමින් සායනය කරගෙන ගියා. සායනයට ඇවිල්ලා සුවපත් වුණු රෝගීන්ගෙනුත් ආධාර මුදල් ලැබුණා. පස්සේ තමයි රජය ඒකට ප්‍රතිපාදන ලබා දුන්නේ. ඒ අතරෙම මට රෝහල් අධ්‍යක්ෂ තනතුරත් නැවත ලැබුණා‘

මගේ ඊළඟ ප්‍රශ්නය වුණේ දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට ඇගේ අතිශය කාර්යබහුලත්වය දරුවන්ගේ ජීවිතයට බලපෑ අයුරුය. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, ගෘහ ජීවිතයේ කටයුතු, රෝහලේ සායනික සේවා, පරිපාලන රාජකාරී මේ සියල්ලම තනියම කරගන්න එක අභියෝගයක් නොවීමේ අභියෝගය ඇය ජයගත් ආකාරය මෙසේ අප හා බෙදා ගත්තේ ය.

‘නිවසේ වැඩ කටයුතු නම් මට පීඩාවක් වුණේ නැහැ. සැමියා දුරබැහැර ප්‍රදේශවල රාජකාරී කළත් ඔහුගෙන් ලොකු ශක්තියක් මට ලැබුණා. ඒත්, රාජකාරී ජීවිතයේ දී මම අපමණ හිංසා පීඩාවට ලක් වූ අයෙක්. මට විවිධ චෝදනා එල්ල වුණා. ඒ සියල්ලම කුමන්ත්‍රණ. අනතුරුව විනය පරීක්ෂණයකටත් මට මුහුණ දෙන්න සිදු වුණා. චෝදනා පත්‍රයක් බාර දීලා අවුරුදු 10 ක් යනකල් පරීක්ෂණයක් පැවැත්වුවේ නැතිවුණාට මගේ සියලු වරප්‍රසාද අහිමි කළා. ඒ කාලය තුළ රාජ්‍ය සේවයේ කිසිදු වරප්‍රසාදයක් මට ලැබුණේ නැහැ‘

‘ඒ කාලේදි මං කඩා වැටුණේ නැහැ. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවේ ඔය කාලයේදී. සමහරු ඇහුවේ ආයුර්වේදයට මොකටද එම්.බී.ඒ. කියලා. ඔය අතරෙම මගේ සුදුසුකම් පිළිබඳව මම නඩු මඟට පවා එළැඹුණා. අධිකරණයේ දී සාධාරණයක් වුණත් ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.

මට විරුද්ධව රටේ ඉහළම තැනට පවා පෙත්සම් යවන කණ්ඩායමක් හිටියා. ජීවිතේ නැති කරගන්න තරම් හිතෙන කාලයක් මම පසු කළත් මම ඒ කාලය ඒ තරම් සැහැල්ලුවෙන් ගෙවා දැම්මෙ කොහොමද කියලා අද කල්පනා කරලා බලනකොට මටත් පුදුමයි. මේ අසීරු කාලය තුළදී තවත් පශ්චාත් උපාධි දෙකක් හැදෑරුවා.

ඔය අතරතුර විනය පරීක්ෂණයෙන් මම නිදහස් වුණා. චෝදනා සියල්ල බොරු වුණා. සියලු උසස් වීම් ලැබුණා. ඒ විතරක් නෙමෙයි 2015 අවුරුද්දේ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල ජාතික ඵලදායිතා සම්මානය ලබා ගත්තා. ඒක මගේ විතරක් නෙමෙයි රෝහල් කාර්යය මණ්ඩලයේම අසීමිත කැප කිරීමක්. 2016 දී තමයි මම රාජගිරියේ ජාතික ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරට පත් වෙන්නේ. 2019 දී මම බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස වැඩ බාර ගත්තත් ඒ අවුරුද්දෙම ආගෝස්තු මාසයේ මම විශ්‍රාම ගියා.ඇය අද ජීවිතය විඳින්නේ පෙර විඳි බර පිළිබඳවත් ඒවා දරා ගැනීමේ අත්දැකීම් ද සමඟිනි. අභියෝග ඇයට අභියෝගයක් වූයේ නැත. ‘හැමදාම වගේ අභියෝගවලින් මට අඩුවක් නෑ. මගේ සැමියා මේ වන විට අංශභාග රෝගියෙක්. ඔහුගේ සියලු කටයුතු සිදු කරන්නේ මම විසින්මයි. ජිවිතේ විඩාව නිවාගන්නෙ කවියක් ලියලා. ඒක මගේ ජිවිතයේ දෛනික අංගයක්.

0 comment
0

Related Posts

Leave a Comment