Home ගොසිප් පුවත් අපේ සින­මාව ලෝක­යට ගෙන යන එක මගේ බලා­පො­රො­ත්තු­වයි

අපේ සින­මාව ලෝක­යට ගෙන යන එක මගේ බලා­පො­රො­ත්තු­වයි

by Hela news

අප මේ ගෙවන කාලය එක් පැත්තකින් ලොවක් ගොදුරු කරගත් වසංගතයකට මුහුණ දෙන අභියෝගාත්මක කාලයක් වුවත් තාරුණ්‍යයේ පසුවන බොහෝ දෙනෙක්ට සුබ කාලයක් ලෙසින් හැඳින්වීම ද සුදුසු යැයි හැඟේ. පසුගිය කාලය තුළ සිය දක්ෂතා හැකියාවන්ගෙන් අපේ රට ජාත්‍යන්තරයේ බැබළ වූ අය අපට කොතෙක් නම් හමුවිණිද? මේ කතාබහ ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ තරුණයෙක් සමඟයි.

ඒ පසුගිය දා 07 වැනි වරට පැවති තුර්කි සංචාරක සහ සංස්කෘතික අංශය මෙන්ම එරට සකර්යා විශ්වවිද්‍යාලය එක්ව සංවිධාන කළ අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී රටවල් 197 ක ශිෂ්‍ය තරගකරුවන්ගේ නිර්මාණ 7,000 කට වැඩි සංඛ්‍යාවක් අබිබවමින් ලොව හොඳම ශිෂ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනිමින් මව්බිමට කිර්තිය අත්කර දුන් හසන්ත දිසානායක සමඟයි.

නම – හසන්ත ප්‍රභුති දිසානායක. හැමෝම අතර ජනප්‍රිය නම් හසූ කියලා.

ගම – ගාල්ල කිතුලම්පිටිය

පවුලේ විස්තර – තාත්තා විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක්. අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක්. අක්කා බැංකු නිලධාරිනියක්. අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

පාසල – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

සිනමාවට යොමු වෙන්නේ කොහොමද?

ඉස්කෝලේ යන කාලේ පාසල් වේදිකාවේ මම රඟපෑවා. හැම වසරකම පළාත මට්ටමින් පවා හොඳම නළුවා වුණා. උසස් පෙළ කරන කාලේ නාට්‍ය තිර පිටපත් ලියලා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඒවයින් ජයග්‍රහණ ලැබුවා. උසස් පෙළ කරන කාලෙම ටෙලිනාට්‍යවලට සහායක කෙනෙක් විදියට සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට පස්සේ රංගනයට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මටම තේරුම් ගියා.

කෙටි චිත්‍රපටකරණයේ ආරම්භය ගැන මතක් කළොත්?

උසස් පෙළ අවසන් වූ ගමන් 2015 දී වීදියෙන් තෑග්ගක් කියන කෙටි චිත්‍රපටය හැදුවා. ඒක විනාඩි තුනක් වගේ ධාවන කාලයකින් යුක්ත නිර්මාණයක්. ඊට පස්සේ තව කෙටි චිත්‍රපටයක් කළා.

තුන් වෙනි වතාවේ නිර්මාණය කළේ Disability is not a Dis-Ability චිත්‍රපටය. එය වාර්තා රංග කෙටි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය 2016 ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල Focus On Ability කියන කෙටි චිත්‍රපට උලෙළට දැම්මා. එතැනදී තමා මට මුල්ම ජාත්‍යන්තර සම්මානය ලැබෙන්නේ “ජාත්‍යන්තර ජනප්‍රියම කෙටි චිත්‍රපටයට” හිමි සම්මානය. (international people’s choice awards) මේ වෙද්දී කෙටි චිත්‍රපට 10ක් පමණ කරලා තියෙනවා.

2016 න් පස්සේ 2021 දී ඔබ නැවත අන්තර්ජාතික සම්මානයකට හිමිකම් කියන්නේ?

ඔව් මම 2016-2021 දක්වා කෙටි චිත්‍රපට හතක් විතර කරනවා. ඒ මගේ අධ්‍යයනය සඳහා කරන නිර්මාණ. ඒවා සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කරලා නැහැ. මම සම්මාන උලෙළ සඳහා දාන්නේ මට ෆිට්ම චිත්‍රපට විතරයි. “මට්න්”කෙටි චිත්‍රපටය භුතානයේ ඩ්රක් ජාත්‍යන්තර චිත්‍රපටි උලෙළ, ඉරානයේ මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධින, නයිජිරියාවේ බයෙල්සා යන චිත්‍රපටි උලෙළවල් සඳහා ඉදිරිපත් කළා. ඒවායේත් ඇගයීමට පාත්‍ර වුණා.

“මට්න්” නිර්මාණය වූ පසුබිම

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හා රූපවාහිනී අධ්‍යාපන පිළිබඳ ගෞරව උපාධියේ අවසන් වසරේ නිෂ්පාදනය විදියට තමයි ” මට්න්” කෙටි චිත්‍රපටය කරන්නේ. මුලින්ම අපි කණ්ඩායමක් එක්ක වෘතාන්ත චිත්‍රපටයක් කරන්න හිතුවේ නමුත් කොරෝනා නිසා ඒ දේ කරගන්න අපහසු නිසා තනි තනියෙන් කෙටි චිත්‍රපට කළා. මේ මම තනියම කරපු කෙටි චිත්‍රපටය.

මේ සඳහා වස්තු විෂය වෙන්නේ

බ්‍රිතාන්‍ය ලේඛක Roald Dahl විසින් රචිත “Lamb to the Slaughter” කෙටි කතාව.

හිතුවද මෙයට සම්මානයක් ලැබෙයි කියලා

මෙතැනදී මම අත්හදා බැලීමක් කළේ. මොකද මේ කෙටිකතාව ලෝකේ හැමෝම කියවපු ලෝක ප්‍රසිද්ධ කෙටිකතාවක්. මේ කෙටිකතාව ඇසුරෙන් ලෝකයේ කෙටි චිත්‍රපට හතක් අටක් විතර කෙරිලා තියෙනවා. තව දීර්ඝ වෘතාන්ත චිත්‍රපට දෙකක් සහ ටිවි සීරියස් දෙකක් කෙරිලා තියෙනවා. එහෙම විශාල නිර්මාණ කෙරුණු කෙටිකතාවක්. මම ගත්ත අභියෝගය සහ මම කරපු අත්හදා බැලීම තමයි ලෝකයේ හැමෝම දන්නා කතාවක් අලුත් විදියට වෙනස් ආඛ්‍යාන ශෛලියකින් පෙන්වන්නේ කොහොමද කියන එක. ඒ අත්හදා බැලීම සාර්ථක වුණොත් මේකට මෙහෙම වෙයි කියලා මම දැනගෙන හිටියා.

ඉදිරි නිර්මාණ මොනවද?

ටෙලි සීරියස් එකක් කරන්න මම ලෑස්ති වෙනවා. චැනල් කිහිපයක් එක්කම කතා කරගෙන යනවා. තවම චැනල් එක නිශ්චිත නැහැ. ඒක එපිසෝඩ් 10ක් 15ක් වගේ යන ටෙලි සීරියස් එකක්. මම කොහොමත් කෙටි වැඩවලට කැමතියි. ඊට පස්සේ තව කෙටි චිත්‍රපටයක් කරන්න සුදානමින් ඉන්නවා. දැනට එච්චරයි. වෘතාන්ත සිනමාපටයක් කරන්න අදහසක් තියෙනවා. නමුත් රටේ සහ ලෝකයේ තත්ත්වය එක්ක තව අවුරුදු දෙකකින් විතර ඒ ගැන හිතනවා.

පටන් ගන්නේ පාසල් වේදිකාවේ රංගන ශිල්පයෙක් විදියට සම්මාන ලබමින් නේ, කෝ දැන් ඒ රංගන ශිල්පියා?

ඒක මට පොඩ්ඩක් අතහැරුණා. නමුත් හොඳ පිටපතක හොඳ චරිතයක් ලැබුණොත් මම බාර ගන්නවා. මම මගේ නිර්මාණවලම රඟපාන්න කැමති නැහැ. මම කැමති මගේ නිර්මාණ තුළ අධ්‍යක්ෂවරයා කියන භූමිකාව පමණක් නිරූපණය කරන්න.

අනාගත බලාපොරොත්තුව

ඕනෑම සිනමාකරුවෙක් කැමති ලෝකයේ තියෙන හොඳම සිනමාපටය කරන්න සහ හොඳම සිනමාකරුවෙක් වෙන්න. මටත් එහෙම දැක්මක් තමා තියෙන්නේ. මම සිනමාකරුවෙක් විතරක් නෙවෙයි මම නිරන්තරයෙන් සිනමාව අධ්‍යයනය කරන කෙනෙක්. එතකොට එක පැත්තකින් මම නිර්මාණ කරනවා. තව පැත්තකින් මම මේ සිනමාව අධ්‍යයනය කරනවා. මම වයසට යද්දී මට පුළුවන් ලැබුණු අත්දැකීම් එක්ක ඉදිරි පරම්පරාවට උගන්වන්න. දැන් සිනමාව කඩා වැටිලා කියලනේ හැමෝම කියන්නේ. ඒ කඩන් වැටිලා කියන සිනමාව ගොඩගන්න ජාත්‍යන්තරයට අපේ සිනමාව විවර කරලා ලංකාවට පමණක් සීමා නොකර ජාත්‍යන්තරය කරා ගෙන ගිහින් ලෝකයේ ස්ථාපිත කරලා මේ සිනමාවෙන් සමුගන්න තමා මගේ එකම බලාපොරොත්තුව.

මේ ගමන එන්න උදව් කරපු අය ඇති

අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ මේ චිත්‍රපටයේ සුපරීක්ෂණය සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි සර් ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය. මගේ නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා සහ හැමදාමත් මට ශක්තියක් වන මගේ පවුලේ සැමට සහ හිත මිත්‍රාදීන් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment