Home කාලීන පුවත් අපේ බෙහෙත්වලටත් ජීවිත රකින්න පුළුවන්

අපේ බෙහෙත්වලටත් ජීවිත රකින්න පුළුවන්

by Hela news

රාජ්‍ය ඇමැති, නීතිඥ සිසිර ජයකොඩි

  • ආයුර්වේද රෝහල්වල කිසිදු රෝගියකු කොවිඩ්වලින් මිය ගියේ නෑ
  • බටහිර-දේශීය ක්‍රම දෙකේම සංකලනයක් අවශ්‍යයි
  • ආයුර්වේද නීති සංග්‍රහය යථාවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹුවා
  • පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සරල කරනවා

කොවිඩ් වයිරසය ලෝකය පුරා රිසි සේ තම අණසක පතුරුවමින් සිටී. හිත්පිත් නැති ඒ මාරයා දිනෙන් දින අප ප්‍රියයන්ට මෙලොව අහිමි කරයි. මේ තත්ත්වය යටතේ කොවිඩ් පරාද කිරීම උදෙසා ලෝකයම එකම සටනකය. ඒ ඒ රටවල් තම තමන්ගේ පාරම්පරික වෙදකම යොදා ගනිමින් වයිරසය මෙල්ල කිරීමට යත්න දරයි. මේ අතර ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම මේ සඳහා යොදා ගැනීමේ ඇතැම් පරීක්ෂණ ද සිදු වෙමින් පවතී. ඒ සඳහා රජය සහ ආයුර්වේද වෙදැදුරෝ විවිධ ක්‍රියාවලීන්හි එක්ව කටයුතු කරමින් සිටිති.මේ කරුණු සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි මහතා සමඟ ‘දිනමිණ’ කළ සාකච්ඡාවකි මේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද රෝහල් සහ දේශීය වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මකයි. කතාබහ එතැනින්ම අරඹමු.

ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් සඳහා ක්‍රමයෙන් විවෘත කරමින් තිබෙනවා. පල්ලෙකැලේ ආයුර්වේද රෝහලෙන් ආරම්භ කර, මේ වන විට ආයුර්වේද රෝහල් 14ක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරමැදි මධ්‍යස්ථාන ලෙස සූදානම් කර තිබෙනවා. රාජගිරිය ආයුර්වේද රෝහල පසුගියදා (26) විවෘත කළා. සියලු පළාත්වල ආයුර්වේද රෝහල් සක්‍රීය ලෙස කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරනවා. ආරම්භයක් හැටියට සංකුලතා අඩු රෝගීන් මේ ස්ථානවලට ඇතුළත් කර ප්‍රතිකාර සලසනවා. ඔවුන්ට දේශීය වෛද්‍යවරුන්ගේ අධීකෂණය යටතේ ආයුර්වේද ඖෂධ සහ දේශීය චිකිත්සක ක්‍රමය මත පදනම් වූ ආහාර වට්ටෝරු සපයනවා. කොවිඩ් ආසාදිතව ආයුර්වේද රෝහලක ප්‍රතිකාර ලැබීමට පැමිණෙන්නන් සංකුලතා සහිත අය බවට පත් නොවීම කෙරෙහි අපි සතුටට කරුණක්. සංකුලතා අඩු වුවත් ඇතැම් අවස්ථාවල එක්වරම සංකුලතා ඇති වී මේ රෝගයෙන් මරණයට පත් විය හැකියි. අපේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අයට සංකුලතා ඇති වීම අවම වෙලා. දැනට ආසාදිතයන් 5,000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමට අපට හැකි වුණා. ඉන් 4,000ක් පමණ මේ වන විටත් ප්‍රතිකාර ගෙන සුවපත්ව රෝහල්වලින් පිටව ගොසින්. විශේෂත්වය: අපේ රෝහල්වලට ඇතුළත් වූ කිසිදු අයෙක් කොවිඩ් සංකුලතාවට පත්ව මිය ගොස් නැහැ.

ආසාදිතයන් දිනෙන් දින වැඩි වීමත් සමඟ ප්‍රතිකාර සඳහා රජයේ ආයුර්වේද රෝහල් පද්ධතිය පමණක් සෑහෙන්නේ නැහැ නේද?

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයුර්වේද රෝහල්වලටත් අප ආරාධනා කර තිබෙනවා. ඔවුන්ගේ කැමැත්ත පරිදි කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අතරමැදි රෝහල් පද්ධතියට ඒවා එකතු කර ගත හැකියි. බෝ නොවන රෝගවලින් පෙළෙන – ආඝාතය, ආතරයිටීස් සහිත පුද්ගලයන් රැකබලා ගැනීම එවැනි මධ්‍යස්ථාන භාවිත කළ හැකියි. ආයුර්වේද ක්‍රම සහිත දකුණු වෙරළ කලාපය කේන්ද්‍ර කර ගත් ආයුර්වේද රෝහල් පද්ධතියක් තිබෙනවා. ආයුර්වේද ප්‍රතිකර්ම ඒවායෙන් සිදු වනවා. ඉතා සංකීර්ණ තත්ත්වයක් තමයි අප මේ ජයග්‍රහණය කරමින් සිටින්නේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ නව පුනර්ජීවනයක් ලැබූ සමයක් වශයෙන් මේ කාලය සඳහන් කළ හැකියි.

කොවිඩ් වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම සඳහා දේශීය ඖෂධ මංජුසාවක් ජනතාවට දෙන ආකාරය පිළිබඳ පැහැදිලි කරමු.

ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ උපදෙස් මත අප මේ වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, මුදල් ඇමැතිවරයාගේත්, කැබිනට් මණ්ඩලයේත්, කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධන බළකායේත් පිරිස් හමුවේදී ජනාධිපතිවරයා නියම කළා සෑම නිවෙසකටම කොවිඩ් මර්දන ආයුර්වේද ඖෂධ මංජුසාවක් දෙන්න කියලා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ඖෂධ මේ මංජුසාවේ අඩංගුයි. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අපට දී තිබෙනවා. අවශ්‍ය නීතිමය කටයුතු මෙන්ම මුදල් දීම සිදු කරමින් තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ. දේශීය අමුද්‍රව්‍ය ඒ සඳහා අවශ්‍යයි. දේශීය ඖෂධ හිඟයි. ආනයන සීමා මේ කාලයේ ක්‍රියාත්මක වෙනවා. ඒත් අභියෝග මධ්‍යයේ ලබන සතියේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කරනවා. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කටයුතු සැලසුම් කර අවසන්. ප්‍රථමයෙන්ම බස්නාහිර පළාතේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි බලාපොරොත්තුව.

කොවිඩ් එන්නත ගත් බවට නිකුත් කරන කාඩ් පතේ පිළිගැනීමට සමාන වටිනාකමක් පොදු ස්ථානවලට ගමන් කිරීමේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ හැඳුනුම්පතටත් දෙන ලෙස ඉල්ලීමක් තිබෙනවා නේද?

ඔව්. මෙරට විවිධ බෝ වන රෝග මර්දනය සඳහා එන්නත් උපයෝගි කර ගත් අවස්ථා දකින්න පුළුවන්. සියයට 99ක්ම බෝ වන රෝග එන්නත් මඟින් පාලනය කර තිබෙනවා. වසූරිය, ලාදුරු, මැලේරියා ඉතා සාර්ථකව එන්නත්කරණයෙන් පාලනය කළා. එනිසා කොවිඩ් වයිරසය පාලනය සඳහාත් එන්නත කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වුණා. ඒ අපට විශ්වාසයක් තිබෙනවා වසර දහස් ගණනක් පැරණි දේශීය වෙදකමෙනුත් මේ සඳහා ප්‍රතිකාර තිබෙන බවට. මේ හැම ක්‍රමයක්ම ඒකාබද්ධව යොදා ගැනීම අවශ්‍ය වෙනවා. බටහිර හා ආයුර්වේද ක්‍රම දෙකේම සංකලනය අවශ්‍යයි. සාම්ප්‍රදායික වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් මෙරට ඉන්නවා. ඒ අතුරින් ලියාපදිංචි වෛද්‍යවරුන් ප්‍රමාණය 20,000ක්. ඒ වගේ තුන්ගුණයක් පමණ ලියාපදිංචි නොවූ, සාම්ප්‍රදායික පාරම්පරික වෛද්‍යවරුන් සිටිනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයකුත් මෙරට තිබෙනවා. පිළිගත් දේශීය චිකිත්සක ක්‍රම රැසක් තිබෙනවා. මේවාට ආවේණික ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයනුත් තිබෙනවා. මේ කාලයේ ඒවා උපයෝගි කර ගැනීමට අවශ්‍යයි.

දේශීය ඖෂධ ප්‍රවර්ධනයට ජනතාවට දායක විය හැක්කේ කෙසේ ද?

දේශීය ඖෂධ නිෂ්පාදනයනට අවශ්‍ය අමුද්‍රව්‍යයන්හි විශාල හිඟයක් තිබෙනවා. අපට ගුණාත්මක ඖෂධ අවශ්‍යයි. මේ නිරෝධායන සමයේ තම ගෙවත්තේ දේශීය ඖෂධ වගා කිරීමට පෙලඹෙන ලෙස මෙරට අප ඉල්ලීමක් කරනවා. ඒවා මිල දී ගැනීම, නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සැලසුම් සහිතව සිදු කිරීමට වැඩපිළිවෙළ සකස් කරමිනුයි පවතින්නේ.

දේශීය ඖෂධ ප්‍රවර්ධනයේදී නීතිමය බාධා තිබෙනවා නේද?

ඇතැම් දේශීය ඖෂධ සම්බන්ධයෙන් නීතිමය ගැටලු තිබෙනවා. උදාහරණයක් ලෙස: බිම් කොහොඹ. මේ ඖෂධය රට තුළ තිබුණත් ඒවා ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. වල්ලපට්ටා, කොතලහිඹුටු වැනි ඖෂධීය ගුණාංග සහිත විදේශීය වෙළෙඳප‍ෙළේ ඉල්ලුමක් පවතින දේ ආයුර්වේද පනත් මඟින් නිෂ්ක්‍රීය කර තිබෙනවා. මේ නෛතික බාධා සුදුසු පරිදි ඉවත් කිරීමට නීතිඥවරයකු ලෙස මා මේ ක්ෂේත්‍රයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීම සතුටක්. ආයුර්වේද නීති සංග්‍රහය යථාවත් කිරීමේ නව වැඩපිළිවෙළකට අවතීර්ණව වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේත්, පාර්ලිමේන්තුවේත් සහාය ඇතිව මේ අණපනත් ඉදිරි කාලයේදී ගෙන එන්න සූදානම්.

දේශීය වෛද්‍ය ක්‍රම අඩංගු පුස්කොළ පොත් ඇතුළු පාරම්පරික ඓතිහාසික ලෙඛන විදේශිකයන් ගෙන ගොස් තිබීම අපට පාඩුවක්…

මෙරට සාම්ප්‍රදායික දැනුම විවිධ රටවලින් ගෙන ගියා. ඒ රටවල කෞතුකාගාරයන්හි මේවා අදටත් දකින්න පුළුවන්. පුස්කොළ පොත්වල ගැබ් වුණු ඒ දැනුම් පද්ධතිය නැවත මෙරටට ගෙනැවිත් සංරක්ෂණය කර මතු පරපුරට භාර දීමට කටයුතු කරනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රම අන්තර්ගත පොත්පත් මෙරටට ගෙන ඒම සඳහා දායක වෙන්න කියලා යුරෝපීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මා ඉල්ලීමක් කරනවා. ඇතැම් බටහිර රටවල පුස්තකාලවලින් මේ එක පිටුවක් ඡායා පිටපත් කිරීමට පවුම් 25ක මුදලක් අය කරනවා. ස්වදේශිකත්වයට ආදරය කරන සියලු දෙනාට මේ කටයුත්ත සමඟ දායක වෙන්න කියලා මම ඉල්ලනවා. ඒක රටට කරන ලොකු සේවයක්.

ලියාපදිංචි නොවූ පාරම්පරික වෛද්‍යවරුන් තමන් සතුව තිබෙන ඖෂධ වට්ටෝරු ජනතාවට දීමට මැළිකමක් දක්වනවා?

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා සංකීර්ණ නොවූ ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඒ සඳහා දේශීය වෛද්‍ය සභාව ස්ථාපිත කිරීමට නෛතික කටයුතු ආරම්හ කළ; පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා ක්‍රමවේදයන් ලිහිල් කළා.

මේ වේලාවේ මිනිසුන් අසරණයි. ජීවිතය බේරා ගැනීම ගැන ජනතාව සිතනවා. දේශීය ඖෂධ භාවිත කළාට කිසිම කෙනකු මැරෙන්නේ නැහැ. ඕනෑම රටක පවතින සාම්ප්‍රදායික අත්බෙහෙත් මෙවැනි වසංගතයක් හමුවේ යොදා ගත හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර තිබෙනවා. එය පිළිගත් සම්මතයක් වන අතර, ඒ සම්මතයට අනුව අදාළ ඖෂධ භාවිත කිරීමට ඉදිරිපත් වන ලෙස වෙද මහත්වරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ හා නොවූ ඕනෑම පාරම්පරික වෛද්‍යවරයකුට මේ සඳහා ඉදිරිපත් විය හැකියි. ඔවුන්ගේ වගකීම ඇමැතිවරයා ලෙස මම ගන්නවා.

0 comment
0

Related Posts

Leave a Comment