Home දේශීය පුවත් අපේ තීරණය අද කියනවා – ජෝසප් ස්ටාලින්

අපේ තීරණය අද කියනවා – ජෝසප් ස්ටාලින්

by Hela news

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු – විදුහල්පති සංගම් අතර ඊයේ (12) පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිනමිණ‘ට පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳ ගුරු හා විදුහල්පති සංගම් අද (13) රැස් වී අවසන් තීන්දුවක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

“ගුරු විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඉදිරිපත් කර තිබූ විසඳුම අදියර හතරකින් ක්‍රියාත්මක කිරීම වෙනුවට අදියර තුනකින් දෙන බවට පෙරේදා (11) කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබුණා. සාකච්ඡාවේදී අපි කිවුවේ එක අදියරකින් සම්පූර්ණ මුදල දෙන්න කියලා. නමුත් ඊයේ (12) පැවති සාකච්ඡාවේදී ඒ අය යෝජනා කළේ මේක කොටස් දෙකකට දෙන්න. එසේ දීමේදී තුනෙන් එකක් එක කොටසක් විදිහටත්, ඉතිරි තුනෙන් දෙක ඊළඟ කොටස හැටියටත් දෙන්නයි. ඒ අනුව පළමු කොටස ලබන ජනවාරි මාසයේත්, අනෙක් කොටස ඊළඟ ජනවාරි මාසයේත් ලබා දෙන්න තමයි ඒ අයගේ අවසන් තීරණය වුණේ. ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපි එකඟතාවක් පළ කළේ නෑ. අපි ඉල්ලා සිටියේ එක කොටසක් විදිහට ගන්න. ඒ නිසා අවසන් එකඟතාවකට ආවේ නෑ.

එකඟතාවකින් තොරව තමයි සාකච්ඡාව අවසන් වුණේ. ගුරු විදුහල්පති වෘත්තීය සන්ධානය විදිහට සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන අපේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරනවා. අපේ අරගලය නතර වෙන්නේ නෑ. එය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න දැනට තීරණය කර තිබෙන්නේ. පාසල් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නෑ” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment