Home කාලීන පුවත් අපේ ගොවියා රකින මෙහෙයුම

අපේ ගොවියා රකින මෙහෙයුම

by Hela news

අල්ලක් වපුරන්නේ මල්ලක් ගෙට ගැනීමේ අරමුණිනි. ඉන් ගොවි ජනතාවගේ දහසකුත් අහිංසක ප්‍රාර්ථනා අතරින් එකක් හෝ මල් ඵල දරනු ඇත. හේනේ කුඹුරේ වැඩ ඇරඹුමේ සද්කාර්යයට කවුරුත් ශ්‍රද්ධාවෙන් මුල පුරන්නේ අදහන ආගම දර්ශනයට අනුව වත් පිළිවෙත් පුද සත්කාර ආදිය ඉටුකරමිනි. ඒ තරමටම ඊට ඇප කැප වී පින්බර සිතින් යුතුව හේනේ කෙතේ වැඩ කළ ද විටෙක සොබාදහම ගොවියාට අකාරුණික නොවන්නේ ද නැත. එවිට අසරණ වන ගොවියාට නොපෙනෙන බලවේගවලට පිළිසරණක් විය නොහැකිය. ඉනික්බිතිව ධනවතුන්, බලපුළුවන්කාරකම් ඇත්තන් ආදීන් හමුවේ අභිමානවත් ගොවියා කිසිසේත් පිංසෙණ්ඩු විය යුතු ද නැත. ඒ රජය මඟින් ගොවි ජනතාවට ඉහළම ගරුත්වයක් දී ඇති බැවිනි.

ගොවිතැන ආයෝජනයකි

මෙරට දස ලක්ෂයකටත් වඩා වැඩි පවුල් ගණනක ජීවනෝපාය ගොවිතැනය. ඒ ඒ උපයන්නන්ගෙන් යැපෙන්නන් බොහොම ය. ගොවිතැන ද ආයෝජනයකි. එහි දී ලාභ අලාභ දෙකටම මුහුණ දීමට ගොවියාට සිදු වේ. අනපේක්ෂිත මොහොතක වගා හානි වුව සිදුවන්නට පුළුවන. ඉන් ගොවියාගේ සේසතම නැති නාස්ති වන්නට ද පුළුවන. එක් අතකින්, අලි ඇතුන් ආදී සතුන් කෙරෙන් එය සිදු විය හැකිය. විවිධ රෝග කෘමි, දිලීර ලෙඩ රෝග ද පළිබෝධ හානි ද ඊට බලපාන්නට ඉඩ තිබේ. ඒ කෙරෙන් අස්වනු හානි වී වගා පාඩු ඇති විය හැකිය. ගොවිතැන මෝසම් වර්ෂාවත් සමඟ කරන සූදුවක් මෙනැයි ඇතැමුන් හඳුන්වන්නේ එහෙයිනි. ඒ කෙසේ වෙතත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගාව හා ගොවියා වෙනුවෙන් ඇප කැප වී සිටින්නේ මෙරට ගොවිජන ප්‍රජාවේ එකම ආරක්ෂකයා ද වෙමිනි.

කල්‍ යල් බලමින් නිසි පරිදි වගාවට පිවිසුණ ද රුදුරු විපත්වලට වගාව ගොදුරු විය හැකිය. එවිට ගොවියාට අත්වන්නේ කබලෙන් ළිපට වැටීමකි. එහෙත් මෙරට පමණක් නොවේ. ලෝකයේ සෑම රටක්ම පාහේ කෘෂිකර්මයේ දී අත් වන විපතින් වගාකරු රැක ගැනීමට ක්‍රමෝපායන් යොදා ඇත. එය කෘෂි අවදානම් කළමනාකරණය ලෙස හඳුන්වනු ලබන අතර රක්ෂණ ක්‍රම මඟින් ආවරණය කෙරේ. එවිට ගොවියා අගතියට පත් නොවේ. වගාව වැනසුණු විට එම හානි ප්‍රතිපූර්ණය එමඟින් සිදු කෙරේ. ඒ ලොවම පිළිගත් ක්‍රමයකි.

ඉතා අඩු සහන වාරික

මෙරටට ද එය එසේමය. ඕනෑම භෝගයක් වගා කරන්නකුට රාජ්‍ය වගකීමක් සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් (AAIB) ඉතා අඩු සහන වාරික යටතේ කිසිම අපහසුවකින් තොරව රක්ෂණාවරණයක් ලබා ගත හැකිය. එහිදී දීපව්‍යාප්ත රජයේ කෘෂිකර්ම සේවා පද්ධතිය හරහා පහසුවෙන් ඒ කාර්යය ඉටුකර ගත හැකිය. නිරන්තරයෙන් ඒ ඒ වගා කන්නයට අදාළ කන්න රැස්වීමේ දී ගොවියාට වගා නිලධාරී, ගොවිජන සේවා, කෘෂිකර්ම පර්යේණ, නිෂ්පාදන සහකාර ආදීන් සමඟම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරි ද මුණගැසේ.

ඒ අනුව පරම්පරා ගණනාවක සිටම රජයේ කෘෂි රක්ෂණ නිලධාරින් ගොවියාට සමීප අයෙකි. එහෙත් මෙරට ඇතැමුන්ට රක්ෂණය තවමත් එතරම් හුරු පුරුදු නොවන සැටියකි.

ඇතැමුන් මෝටර් රථ වාහනයක් භාවිතයේ දී රක්ෂණාවරණයකට යොමු වන්නේ ද පොලිසිය මහමඟ දී පරික්ෂා කරනු ලබන හෙයිනි. එසේ නොමැතිව මුලින්ම තමන්ටත් දෙවැනිව සමාජයේ සෙසු අයටත් ඉන් අත්වන යහපත පිළිබඳව නොසිතති.

සැමටම පොදු රක්ෂණයක්

එහෙත් වගාව වෙනුවෙන් අක්කරයකට ගොවියා දරනු ලබන රුපියල් දස දහස් ගණනක් වන පිරිවැයෙන් 3% – 4%ක් පමණ වන කෘෂි රක්ෂණාවරණයක් බොහෝ ගොවීහු අමතක නොකොට, අනිවාර්යයෙන් ලබා ගනිති. එහෙත් ඇතැම් අය එසේ නොවේ. අන්තිමේ දී වගා හානි ඇති වූ විට මේ පිළිබඳ ව නොදන්නා බවක් හෝ එය කෘෂි නිලධාරීන්ගේ වැරැදි නිසා වූ වග පෙන්වීමට ඇතැමුන් උත්සාහ දරයි. එහෙත් එය ඵලදායී නොවේ.

අනෙක, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණාවරණ එක් කොටසකට පමණක් සීමා වූවක් නොවේ.

ඊට වගා ඉඩමක හිමිකරුවකු නොඑසේ නම් අඳ ගොවියකු ද ආදී වශයෙන් පංගු පේරුවක් රජයෙන් කිසිවිටෙකත් නොකෙරේ. එසේම වගාවේ දිග පළල, එය ප්‍රධාන ආහාරයක් ද නොඑසේ නම් විසිතුරු මල් හෝ බුලත් ආදී වෙනෙකක් ද වශයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සොයා නොබැලේ. ඒ ඒ ගොවීන් කාටත් රාජ්‍ය ආරක්ෂාව සහිත රජයේ එකම කෘෂිකාර්මික රක්ෂණායතනය වන කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ රැකවරණය හිමි ය. ඒ සඳහා පහසු රක්ෂණාවරණයක් ගොවියාට තෝරා ගත හැකිය. ඊට අදාළ සුළු වාරිකය නිසි පරිදි ගෙවීමෙන් මේ මහඟු වරම ගොවින්ට හිමි වෙයි. ගොවිතැන්වලට පමණක් නොව එහි නිරත ගොවියාගේ ද නිරෝගි සුව සහනය හා ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් එවිට කෘෂි රක්ෂණ මණ්ඩලය කැප වී කටයුතු කරයි.

ඒ අනුව උවදුරක දී වැනසුණු වගාවේ පාඩුව ගොවියාට මෙමඟින් ගෙවනු ලබයි. යම් හෙයකින් ඒ තැනැත්තා බැංකු ණය ලබාගෙන ඇත්නම් ගොවියා වෙනුවෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් එම ණය පියවනු ලබයි. ඉකුත් වසර තුළ දී රුපියල් මිලියන 20,000ක් පමණ වන්දි වශයෙන් ගොවීන්ට එමඟින් ගෙවා තිබේ. එම කාලය තුළ දී වන්දි ලබා නොගත් ගොවියකු නොවන තරම්ය. කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් මාසිකව රුපියල් කෝටි 42ක් පමණ වන්දි වශයෙන් ගොවීන්ට ගෙවනු ලබයි.

නවීන තාක්ෂණය

එසේම, රාජ්‍යායතනයක් වශයෙන් ගොවීන් වෙනුවෙන් වන්දි හා විශ්‍රාම වැටුප් ආදියේ දී වැදගත් වන සියලු ලියකියැවිලි ආදී දත්ත එමඟින් සුරක්ෂිතව දිගු කාලිනව තබා ගනී. අවශ්‍ය විටෙක ගොවියාට ගොවිතැන සහ තමන් පිළිබඳ ලියකියැවිලි පරික්ෂා කර බැලීමටත් එහි පිටපත් ආදිය ලබා ගැනීමටත් එමඟින් හැකියාව තිබේ. එසේම, නවීන තාක්ෂණය යටතේ ඩිජිටල්කරණය කෙරෙන එහි සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කෙරේ. දැනටමත් දිස්ත්‍රික් ගණනාවකම ඊට අදාළ කටයුතු හමාර කර ඇත. එසේම, ලබන වසර වන විට ඒ යටතේ මුළු දිවයිනම ආවරණය කිරීමට නියමිතය. එවිට පොදුවේ ස්වාභාවික විපත්, දරුණු පළිබෝධ හානි ආදියේ දී වන්දි ගෙවීමට අදාළ දත්ත ඉතා සුළු කාලයක දී රජයට ලබා ගත හැකිය. ඉතා කඩිනමින් වන්දි ගෙවිය හැකිය. දැනටමත් එම කටයුතු නිම කළ දිස්ත්‍රික්කවල ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කෙරේ.

ජනමාධ්‍ය හරහා ගොවි ගැටලු මතින් සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මාන බලන බොහෝ දෙනෙක් සිටිති. දේශපාලන පක්ෂවල නියෝජිතයන් පමණක් නොව, සමස්ත ලංකා ගොවිජන නියෝජිතයන් වශයෙන් පෙනී සිටින ඇතැමුන් ද එසේමය. එහෙත් සත්‍ය ගොවීන් කවුරුන්දැයි හරිහැටි වටහා ගත් විට තවදුරටත් ඒ තැනැත්තන්ව නඩත්තු නොකරනු ඇත. රූපවාහිනී කැමරා ඉදිරියේ ඇතැම් පිරිස් නඟන බොහෝ චෝදනා පදනම් විරහිතය. තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය බලයට ගෙන ඒමට ජනතාව ආකර්ෂණය කර ගැනීම හැර වෙනත් ප්‍රගතිශීලි බවක් එතුළ නොවේ.

අසත්‍ය චෝදනා

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කලින් කලට අකර්මණ්‍ය බවට සමහරු කරන චෝදනා ද එසේමය. ඒවා අසත්‍යය. ඒ වග වාර්ෂිකව වගා හානි වන්දි මෙන්ම ගොවි විශ්‍රාම වැටුප් ආදී වශයෙන් මේ රාජ්‍ය ආයතනයෙන් ගෙවනු ලබන අති විශාල මුදල හොඳම සාධකයකි. එහි වරප්‍රසාද ලැබ අත් වූ වගා හානි පිරිවැය පියවා ගන්නා ගොවීන් ලක්ෂ ගණනකි.

සැබැවින්ම සමස්ත ගොවීන්ගෙන් බහුතරය ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලද්දෝය. එහෙත් ඉතා කුඩා එම රක්ෂණ වාරිකය පවා නොගෙවා එම රක්ෂණය ලබා නොගත් ඇතැම් අය අගතියට පත් වූ විට ද්වේෂ සහගතව ජනමාධ්‍ය මඟින් රජයට හා කෘෂි නිලධාරින්ට දොස් නඟනු පෙනේ. එසේම, වගා හානි මෙන්ම බරපතළ රෝගාබාධවලට මුහුණ දුන් විට පමණක් ගොවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ගැනීමේ වටිනාකම වැටහෙන ආකාරයක් දක්නට ලැබේ. එහෙත් සුවසෙත ආදී ගොවි රක්ෂණාවරණ හරහා අතිමහත් සුබසිද්ධියක් ගොවියාට සැලසේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 1918 දුරකතනය විවෘතව පවතී.

එමෙන්ම රජය සද් චේතනාවෙන් යුතුව මෙරට ගොවිතැන කාබනික ක්‍රමයට හරවා තිබේ. එහි කිසිවකුට අපේක්ෂිත අස්වැන්න නොලැබේ නම් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට කටයුතු කරන වග ද ප්‍රකාශයට පත් කර ඇත. එය වැදගත් පියවරකි. එහෙත් ඒ අවදානම ද රජය ගෙන තිබිය දී ධනාත්මකව එදෙස බැලීමට සූදානම් නැති පිරිසක් ද සිටිති. ඒ වෙනුවට ලැබෙන වන්දි ප්‍රමාණ ආදිය විමසමින් කල්මරණ තැනැත්තන් ද නැතුවා නොවේ. එය හාස්‍යයට කරුණකි. පැහැදිලිව ම පටු අරමුණු ඉටුකර ගැනීමට ගොවීන් දඩමීමා කර ගත් සුළු පිරිසක් තමන්ගේ පටු මතවාද ගොවීන් හරහා ප්‍රචාරය කරනු එහිදී කැපී පෙනේ.

ඕනෑම ගොවියකුට කෘෂි හා ගොවි රක්ෂණයේ රැකවරණය කිසි වෙනසකින් තොරව එක සේ හිමි ය. එහෙත් එය අදාළ වනුයේ රක්ෂණ සාමාජිකත්වය ලබා ගෙන ඇති ගොවීන්ට පමණක් බව සිහි තබා ගත යුතුය.

ගොවියාගේ හිතවතා

සැබැවින්ම දෑස මෙන් වගාව රැක බලා ගන්නා ගොවියාට පාලනය කළ නොහැකි අර්බුදයක දී වගාව වැනසුණහොත් ඊට වන්දි ගෙවමින් ගොවියා ඒ පාඩුවෙන් බේරා ගන්නා හිතවතා ගොවිජන රක්ෂණ මණ්ඩලයයි කීම වැරැදි නැත. එපමණක් නොවේ. ගොවිජන පණ නළ විවිධ රෝගාබාධවලින් රැක ගැනීමේ සද්කාර්යයට ද එමඟින් ලැබෙන්නේ මනා පිටිවහලකි. මෙතරම් ප්‍රගතිශීලී රාජ්‍ය ආයතනයක රැකවරණය අහිමි කර ගන්නා බොහෝ දෙනකු අවිධිමත් ගිනි පොලීකරුවන් ආදීන්ට රැවටී මිල මුදල් ආදී සම්පත් නැති නාස්ති කරගන්නා අවස්ථා එමටය. ඒ වගා සරුසාර වී අතමිට සරු වූ කලට අනාගතය පිළිබඳ නොතැකීමෙනි. ඉතා අධික පොලී අනුපාතවලට අතමාරුවට ණය ගැනීමෙන් ඒවා ගෙවා ගත නොහැකිව ගේ, දොර, වතුපිටි, වටිනා උපකරණ මෙන්ම ජීවිතයෙන් ද වන්දි ගෙවූ තැනැත්තන් පිළිබඳ ව කොතෙකුත් අසන්නට ලැබේ. එහෙත් ඉන් බොහෝ දෙනකු ජීවිත පාඩම් ඉගෙන නොගැනීම කනගාටුවට කරුණකි. අවසානයේ දී ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ පැටලී ඉන් බේරීමක් නැති වූ විටදී ඉන් ඇතැමකු රජයේ පිළිසරණ පතති. සේනා දළඹු හානිය මෙරට දරුණු අන්දමින් පැතිරුණු කාලය ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

තවමත් රක්ෂණය පිළිබඳ අධිනිශ්චය කිරීමක් ද සමාජය තුළ දක්නට හැකිය. ඔවුහු එය මුදල් නාස්තියක් සේ කල්පනා කරති. ඇතැම්හු ඍණාත්මක හැඟීමකින් ම ගොවිජන රක්ෂණය දෙස බලති. මෙවැනි වරදවා වටහා ගැනීම් නිවැරැදි කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් විද්‍යුත්, මුද්‍රිත දෙයාකාරයෙන්ම ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා ද ඊට අදාළ වැඩසටහන් වීඩියෝ දර්ශන, සිනමාපට ආදියෙන් ප්‍රචාරය කෙරේ. නගරබදව සේම ගම්බදව ද එම කටයුතු සිදු කෙරේ. එහෙත් නොසැළකිලිමත් අන්දමින් රක්ෂණය නොවන තැනැත්තන් රක්ෂිතයන්ට හිමි වරප්‍රසාද භුක්ති විඳීමට උත්සාහ ගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. එය අසාර්ථක වූ ඔවුහු රජයට හා රාජ්‍ය නිලධාරින්ට ද දොස් නඟති. එහෙත් මෙරට මෙතරම් ගොවීන්ට වන්දි ගෙවන වෙනත් ආයතනයක් මෙතෙක් හඳුනාගෙන නැත. එසේම, මහජන සුබසිද්ධිය පිණිස රජය මූල්‍යමය වශයෙන් පාඩු විඳ ගනිමින් ගන්නා තීන්දු තීරණ තිබේ. එහිදී ලාභ පරමාර්ථ කොට ගත් පෞද්ගලික අංශය මෙන් රජය කටයුතු නොකරන්නේ එලෙස කළමනාකරණය කළ නොහැකි නිසා නොවන බව කිව යුතුය.

රජයේ බලාපොරොත්තුව නිරන්තරයෙන්ම මහජනතාවට ආරක්ෂාවක් එසේත් නැතිනම් රක්ෂණාවරණයක් සැලසීම වන බැවිනි. කෘෂිකර්මයේ දී පමණක් නොව සෑම අතින්ම එය එසේමය. එහෙත් පෞද්ගලිකව වෙන වෙනම මුදල් අය නොකරමින් රජයෙන් ලබා දෙන එම සේවාවන්ට විශාල ධනයක් වැය වේ. ඒවා මහජන මුදල් ය. ඒවා නිසි අයුරින් කළමනාකරණය කිරීමේ වගකීම රජයට පැවරේ. එසේම රජය මඟින් ගොවි ජනතාවගේ සුබසිද්ධියට ගෙන තිබෙන විවිධ පියවර හරහා උපරිම ඵල නෙළා ගනිමින් රට දැය නැංවීමේ වගකීම රටවැසියන්ට පැවරේ. තිරසර සංවර්ධනය කරා මෙරට යෙදෙන ගමන ඉක්මනින් ඒ ඉලක්ක කරා ළඟා වීම එවිට ඉතා පහසු වනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment