Home ව්‍යාපාර පුවත් “අප්‍රිකාවෙන් පසු අපේ ඉලක්කය මධ්‍යම ඇමරිකාව“ – හෙළ ක්ලෝතිං ප්‍රධාන විධායකවරයාගෙන් සුවිශේෂී අනාවරණයක්

“අප්‍රිකාවෙන් පසු අපේ ඉලක්කය මධ්‍යම ඇමරිකාව“ – හෙළ ක්ලෝතිං ප්‍රධාන විධායකවරයාගෙන් සුවිශේෂී අනාවරණයක්

by Hela news

හෙළ“ නාමය ලෝකයට රැගෙන යන හෙළ ක්ලෝතිං මූලික කොටස් නිකුතුව හෙටයි

Tommy Hilfiger, Calvin Klein, Michael Kors සහ VF Corp ඇතුළු ලොව සුපතළ ඇඟලුම් සන්නාමයන් ගණනාවකට නිෂ්පාදන පහසුකම් සපයන මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන ‘හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්‘ හි මූලික මහජන කොටස් නිකුතුව හෙට (12) දිනයේ දී විවෘත වීමට නියමිතය.  හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් යනු හෙළ ක්ලෝතිං සමූහ ව්‍යාපාරයේ හිමිකාරීත්වය දරන සමාගමයි.

හෙළ ක්ලෝතිං මේ වන විට සිය ගෝලීය ව්‍යාප්තිය කෙන්යාව හා ඉතියෝපියාව දක්වා විහිදුවා තිබෙන අතර ටැන්සානියාවේ නිෂ්පාදන පහසුකම් ඇරඹීමට ද හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මීට අමතරව ඊජිප්තුවේ සිය කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම හෙළ ක්ලෝතිං හි මීළඟ උපක්‍රමික ඉලක්කයයි.

“ලංකාවෙන් යුරෝපයට යන්න දවස් 21 ක් යනවා. ඊජිප්තුවේ ඉඳලා දවස් තුනයි. අපිට සති 2 ක් 3 ක් කෙලින්ම ඉතුරු කර ගන්න පුළුවන්. අපි විතරක් නෙමෙයි, අනිවාර්යයෙන්ම අනෙක් සමාගම් අඩුම ගාණේ උතුරු අප්‍රිකානු කලාපයට, ඊජිප්තුව, ටියුනීසියා, මොරොක්කෝ රටවල්වලට ගියොතින් පැහැදිලිවම ලොකු තරඟකාරී වාසියක් ලැබෙනවා. අවුරුදු 30 ක් වැඩකරලා අපිට වික්ටෝරියා සීක්‍රට්ස් එක්ක වැඩ කරන්න අමාරු වුණා. අපි ඊජිප්තුවට ගිහිං තාම මාසයක්වත් නැහැ, වික්ටෝරියා සීක්‍රට්ස් අපේ දොර ගාව ඉන්නේ. හරි තැන ඉන්නවා නම්, හරි බිස්නස් මොඩල් එක තියෙනවා නම් කස්ටමර්ස්ලා එනවා. යුනික්නස් එකක් තියෙන්න ඕනේ“, යනුවෙන් හෙළ ඇපරල් හෝල්ඩිංස්ග් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී, දිලංක ජිනදාස මහතා අද දෙරණ Biz සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

හෙළ ක්ලෝතිං යනු 100% ක්ම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන එන සමාගම් අතුරින් ඉහළම ස්ථානයේ සිටින සමාගමකි. තමන් නිෂ්පාදන පහසුකම් අරඹන සෑම රටකින්ම ඩොලර් මිලියන 100 ක ආදායමක් ඉපයීම සිය මූලික ඉලක්කය බව දිලංක ජිනදාස මහතා වැඩිදුරටත් මෙහිදී අප සමඟ පැවසීය.

“අපේ උපක්‍රමය විදියට, අපි යන හැම රටින්ම ඩොලර් මිලියන 100 ක් හොයන්න ඕනේ. එහෙම නොකළොත් ඒ පරිශ්‍රමයෙන් වැඩක් නැහැ. අලුත් රටකට යනවා කියන්නේ ඒ රටේ ආණ්ඩුවත් එක්ක අපි සබඳතාවයක් ගොඩනගාගන්න ඕනේ. මිනිස්සු ඕනේ, නායකත්වයක් ඕනේ, ඒ ෆැක්ටරිය සෙටප් කරන්න. ඊජිප්තුවෙත් අපේ සැලසුම තියෙන්නේ ඩොලර් මිලියන 100 ක ආදායමක් උපයන්න. කෙන්යාවේ මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 100 ක් සාක්ෂාත් කර ගත්තා. ඉතියෝපියාවේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 30යි. නමුත් අපි ඩොලර් මිලියන 100 ඉලක්කයට යනවා. ලංකාවෙන් එලියෙන් බැලුවොත් අපේ ලොකුම වර්ධනය එන්නේ ඊජිප්තුවෙන්. මම හිතන්නේ ඊජිප්තුවෙන් අපිට ඩොලර් මිලියන 100 සීමාව ඉක්මවා යන්න පුළුවන් වෙයි.“

අප්‍රිකානු කලාපය තුළ සිය ව්‍යාපාර ස්ථාවරත්වය ගොඩනගා ගැනීමත් සමඟ තවදුරටත් එම කලාපයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේදැයි මෙහිදී අප විමසා සිටියෙමු.

“ඊජිප්තුවෙන් පස්සේ අපි තවදුරටත් අප්‍රිකාවේ කර්මාන්තශාලා ආරම්භ කරන්නේ නැහැ. ඒකෙන් unique advantage  එකක් නැහැ. අපිට speed ඕනේ නම් ඊජිප්තුව තියෙනවා. පිරිමැස්ම ඕනේ නම් ඉතියෝපියාව තියෙනවා. ඊළඟ රට අපි යනවා නම් යන්නේ එල් සැල්වදෝර්, හොන්ඩුරාස්, මෙක්සිකෝ වගේ මධ්‍යම ඇමරිකානු රටවල්. අපිට මාර්ග හරහා ඇමරිකාවට භාණ්ඩ යවන්න පුළුවන්. අපේ ඊජිප්තුවට යන සැලැස්මේ තියෙන්නේ පුළුවන් තරම් පාරිභෝගිකයා ළඟට තමයි යන්න ඕනේ.“

මේ අතර වර්තමානයේ දී මෙරට බලපවත්නා විනිමය නීතිරීති කුමනාකාරයේ බලපෑමක් ඇතිකරන්නේ දැයි කළ විමසීමට හෙළ ක්ලෝතිං ප්‍රධාන විධායකවරයා කියා සිටියේ, තමන් ලාභ ලැබිය යුත්තේ ව්‍යාපාරය හරහා මිස රටේ තිබෙන අර්බුදවලින් නොවන බවයි.

“අපේ මූල්‍ය වර්ෂය පටන් ගන්නේ අප්‍රේල් පළමුවැනිදා. මේ මූල්‍ය වර්ෂය පටන් ගන්න කොට ඩොලරය තිබ්බේ 187 ට. අපනයනකරුවෙක් විදියට මේ වෙන කොට 187 ඉඳන් 202 දක්වා ප්‍රතිලාභයක් අපිට ලැබෙනවා. අපි අපේ කණ්ඩායමට කියන්නේ, අපි දැනගන්න ඕනේ ලාභ හදන්න, රටේ තියෙන ප්‍රශ්නවලින් නෙමෙයි, බිස්නස් එකෙන් තමයි ඒක කරන්න ඕනේ. දැන් ඊජිප්තුව බැලුවොත් ඩොලර් එකත් එක්ක ඒ විනිමය අධිප්‍රමාණය වෙනවා. එතකොට වියදම වැඩිවෙනවා ඇත්තටම බැලුවාම. ඇත්තටම ඩොලරය 220 – 240 ගියොත් තව ලාභයක් එනවා. ඒ වගේම උද්ධමනය වැඩිවෙයි. ළමයිට දරාගන්න අමාරුයි. එහෙම වුණොත් පඩි වැඩි කරන්න වෙයි. ඇත්තටම ප්‍රතිලාභයක් එන්නේ නැහැ.“

1990 දශකය ආරම්භයේ දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දියත් කරන ලද ඇඟලුම් කම්හල් 200 වැඩසටහනින් පසුව මේ දක්වා මෙම කර්මාන්තය පුබුදුවාලීමට එවැනි මුලපුරීමක් අපට දකින්නට ලැබුණේ නැත. එසේම අද වන විට මෙරට කර්මාන්තකරුවෝ පවා බංග්ලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව වැනි රටවලට සංක්‍රමණය වීමට පටන් ගෙන ඇත.

“මම පුද්ගලිකව හිතන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ මේ කර්මාන්තයට දුන් අවධානය වෙන කවුරුත් දීලා නැහැ. බිලියන 5 සිට බිලියන 10 දක්වා අපිට මේ කර්මාන්තයේ යන්න පුළුවන් වුණේ නැත්තේ, මේ වැදගත්කම නුදුන්න නිසා.“ , ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවේ බිස්නස් කරන්න අමාරුද? ඒ නිසාද වෙන රටවලට යන්නේ?“, අප මතු කළ එම පැනයට දිලංක ජිනදාස මහතා දුන්නේ මෙවැනි පිළිතුරකි.

අප්‍රිකාවේ ළමයි 500 ක් ඕනෑ වුණොත් මට එක පැයකින් ඒක කරන්න පුළුවන්. නමුත් ලංකාවේ දී මට ඒකට මාස 06 ක් යයි. ඒ පරිමාව ගැන ලංකාවේ දී හිතන්නවත් බැහැ. කෙන්යාවේ අපිට 4,000 කට වඩා ඉන්නවා. ලංකාවේ අපේ ලොකුම ෆැක්ටරි එකේ ඉන්නෙත් 1,200 ක් 1,300 ක් විතර. ලංකවේ පන්දාහක්, දහදාහක් එක ගමකින් හොයා ගෙන ෆැක්ටරි එකක් දුවන්න අමාරුයි. එහෙම නම් අපි යන්නේ වවුනියා, කිලිනොච්චි, මඩකලපුව වගේ ප්‍රදේශවලට. කොළඹ වගේ නම් ෆැක්ටරි එකක් දුවන්න පන්දාහක් හොයාගන්න එක හිතන්නවත් බැහැ. එහෙම නම් ඈත පළාත්වලින් බස්වලින් ගේන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කළමනාකරණය කරන්න අමාරු දෙයක්. අපි පරෙස්සම් වෙන්න ඕනේ මොන වගේ නිෂ්පාදිතයක්ද අප්‍රිකාවෙන් ගන්නේ, මොන වගේ නිෂ්පාදිතයක් ද ලංකාවෙන් ගන්නේ කියලා.“

හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් මූලික මහජන කොටස් නිකුතුව හෙට (12) දිනයේ දී විවෘත වන අතර එහිදී කොටසක් රු. 15.00 බැගින් කොටස් 267,108,998 ක් නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව මෙහිදී සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වන සම්පූර්ණ අරමුදල රු. බිලියන 4 කි. එය පසුගිය වසර 11 ඇතුළත දී මෙරට සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වේ.

0 comment
0

Related Posts

Leave a Comment