Home උණුසුම් පුවත් අඳුර පරදා ආලෝකය උදා වන දීපාවලී

අඳුර පරදා ආලෝකය උදා වන දීපාවලී

by Hela news

ලොව පුරා හින්දු බැතිමත්හු අද දීපාවලී දිනය සමරති. දීපවාලි වශයෙන් ද එය හැඳින්වේ. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධානස්ථානයක් ඊට ලැබේ. හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ඒ හා බැඳේ. නවසඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලියෙන් ආලෝක පේළිය යන අරුත ඉස්මතු කෙරේ. අයහපත පරදා යහපතත් අඳුර පරදා ආලෝකය උදාවීම ඉන් සංකේතවත් කෙරේ. ඒ සමඟ බැඳුණු ඓතිහාසික කතාන්දරයක් වේ. ඒ මෙසේය. දුරාතීතයේ විසූ නරගායුරන් නමැති අසුරයා වටා එය ගෙතේ. ඔහු සුරයන් පීඩාවට පත් කළ අයෙකි. සුරයන්ට බොහෝ වධ බන්ධන පැමිණවූවෙකි. ඉමහත් පීඩාව පිළිබඳ සුරයන් විෂ්ණු දෙවිඳුට පැමිණිලි කළහ. එවිට ඊට මැදිහත් වූ විෂ්ණු දෙවිඳු හා නරගායුරන් ගැටුණහ. ඉන් නරගායුරන් වැනසිණ. එයින් අඳුර පළවා හැරිණ. ආලෝකය මතුවිය. ඒ සංසිද්ධිය හින්දු බැතිමතුන් දීපාවාලී දිනයේ සමරති.

එසේම, විෂ්ණු දෙවිඳු අතින් වැනසුණු නරගායුරන් ලොවෙන් කළ බව කියන ඉල්ලීමක් ද මේ හා බැඳේ. එනම්, හෙතෙම විෂ්ණු දෙවිඳුගෙන් කළ ඉල්ලීමකට අනුවය. මරණාසන්න මොහොතේදී නරගායුරන් ලොවෙන් ඉල්ලා තිබුණේ තමන් ආලෝකය ලැබගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දක්නට ඉඩ සලසන ලෙසටය. ඒ වග වේද සාහිත්‍යයේ කියැවේ.

දීපාවලී දිනය හින්දු බැතිමතුන්ට සුවිශේෂිය. ඔවුහු එදින අලුයම අවදි වෙති. ගේ දොර සරසති. බැතිසිතින් කෝවිල් කරා ඇදෙති. එහිදී මුලින්ම ගණ දෙවිඳු වැද පුදා ගනිති. ඉනික්බිතිව විෂ්ණු දෙවිඳු වැඳ පුද පූජා පවත්වති. පූජා මන්ත්‍ර ජප කරති. ස්තෝත්‍ර උස් හඬින් ගයති. පහන් පෙළක් එදින දැල්වීමට මෙදින හින්දුහු අමතක නොකරති. ඒ ආලෝකය පරිද්දෙන් සෑම සියලු දෙනාගේම සිත්සතන්වල ආලෝකය පැතිරීම යන අපේක්ෂාව පෙරදැරිවය. ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයක් බලාපොාරාත්තු වෙයි.

මෙරට බහු ජාතින් බහු ආගමිකයන් වෙසෙන එකම රටකි. ඒ මෙරට ශක්තියයි. විවිධ ජාතිහු එකම මවු රට වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරති.

ඇතැම් වැරැදි වැටහීම් හා අදූරදර්ශීන්ගේ උසිගැන්වීම් නිසා දශක ගණනාවක් අන්තවාදී කණ්ඩායම් මෙරට විවිධ ජාතීන් අතර සහයෝගය පළුදු කිරීමට මාන බැලූහ. එහෙත් සමස්ත පොදු ජනතාව එහි සැබෑ තතු වටහා ගත්හ. එකට එකම මවකගේ දූ පුතුන් මෙන් ජීවත්වන්නේ එබැවිනි. දීපාවලී ඒ මහිමය කියාපාන තවත් එක් අවස්ථාවකි. සහෝදරත්වයේ අගය මතු කරන්නකි. ඊට බාධා පමුණුවන අඳුර පලවා හරින්නකි. ආලෝකය පතුරවන්නකි. ධර්මය රජයන හෙටකට මඟ පෙන්වන්නකි. ඉඳින්, මෙදින මෙරට සියල්ලන්ටම අතිශය වැදගත් වන දිනයක් වන වග අවිවාදිතය.

0 comment
0

Related Posts

Leave a Comment