Home ගොසිප් පුවත් අද්විතීය ඔපෙරා ගායකයෙක් වෙන්න ෆ්‍රෙඩීට හැකියාව තිබුණා

අද්විතීය ඔපෙරා ගායකයෙක් වෙන්න ෆ්‍රෙඩීට හැකියාව තිබුණා

by Hela news

පසුගිය දවසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ හරි අපූරු සංගීත සැඳැවක් පැවැත් වුණා. මෙය වෙන් වුණේ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ නමට, විශේෂත්වය වුණේ ඔහු ගැයූ ගීත බොහොමයක් නව පරපුරේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙක් වන නදීක ගුරුගේ හඬින් සහ ලෙලුම් රත්නායකගේ හඬින් නැවත රසවිඳින්නට ලැබීම. මෙය සැබවින්ම ෆ්‍රෙඩී සිල්වා යනු කවරෙක් දැයි මතුපරපුර හා සන්නිවේදනය කරවීමට ගත් උත්සාහයක්. මේ සංගීත සැඳැව ගැන නදීක ගුරුගේ සමග පසු විපරමක් කරන්න අපි හිතුවා…

කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඇත්තටම ප්‍රතිචාර හොඳයි. විශ්වවිද්‍යාලයට පරිබාහිරව සංස්කෘතික කටයුතු ගැන උනන්දුවක් තියෙන බාහිර පුද්ගලයන් බොහොමයක් ඇවිත් හිටියා. විශේෂයෙන්ම කලාවට සම්බන්ධතාවයන් සහිත, රහිත සහ වෙනත් මාධ්‍යයන්ට සම්බන්ධතා තියෙන, විශ්වවිද්‍යාල බොහොමයක කලා රසිකයන් මේකට සම්බන්ධ වුණා. ඒක ඉතාම ධනාත්මක දෙයක්. මොකද ෆ්‍රෙඩී සිල්වා වගේ ගෞරවයට පාත්‍ර නොවුණු, ඒ කියන්නේ ප්‍රභූ කලාව තුළ ඉඩක් නොතිබුණු චරිතයක් ගැන කතා බහකදී මෙහෙම උනන්දුවක් තිබුණු එක ඉතාම වැදගත් කියලා මම හිතනවා.

ඇයි මෙවැනි දෙයක් කරන්න ඕනේ කියලා හිතුණේ?

ඇත්තටම මේක මම කරපු දෙයක් නෙවෙයි. සෙනේෂ් බණ්ඩාර දිසානායක සහෝදරයා මූලික වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩසටහන් මාලාවක එක වැඩසටහනක් හැටියටයි මේක කළේ. ඔවුන් මට ආරාධනා කළා මේ විශේෂ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියල. මක් නිසාද යත් මීට පෙර අවස්ථා ගණනකදී ෆ්‍රෙඩී සිල්වා ගැන ගායන ශිල්පියකු හැටියට ඔහුගේ තියෙන විභවයන් ගැන මම කතා කරලා තියෙනවා. ඒ අවස්ථාවන් වල මම ඔහුව ඔසවා තබා තියෙනවා. ලංකාවේ ඉන්න තාක්ෂණික මට්ටමේ ඉහළින්ම ඉන්න ගායකයන් තුන්දෙනා අතර ඔහුත් ඉන්නවා කියන එක මම නිතර කියන දෙයක්. ඒ නිසා මම හිතනවා සෙනේෂ්ට අවශ්‍ය වුණා ඒ ප්‍රවාදය ස්ථාපනය කරන්න. ඇයි ෆ්‍රෙඩී සිල්වා වැදගත් වෙන්නේ කියන එක ස්ථාපනය කරන්න. ඉතින් ඒක ඒත්තු ගන්වන්න ඒක පැහැදිලි කරන්න මා එතැනට ආ යුතුයි කියලා. මම පමණක් නෙවෙයි එතැන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සිටියා. එතුමා තමා වැඩසටහනට මැදිහත් වුණේ. ඉතින් මගේ මැදිහත් වීම තිබ්බේ, ෆ්‍රෙඩි සිල්වාගේ ගායන තාක්ෂණවේදය කවර ආකාරද, එය කොතරම් දියුණුද, එය කෙතරම් ලංකාවේ විචාරකයන්ට හෝ මාධ්‍යවලට හසුවුණේ නැතිද කියන දේ පැහැදිලි කරන්න.

පෞද්ගලිකව ඔබ කොහොමද ෆ්‍රෙඩී සිල්වා මහතා දකින්නේ?

ඒක තමා මම එදා විශ්වවිද්‍යාලයේදීත් පැහැදිලි කළේ. ඔහු ගැන කෙටියෙන්ම කියනවා නම් ලංකාවේ ඉපදිලා සිංහල භාෂාවෙන් ගායනා කරන ගායන ශිල්පියකු හැටියට යුරෝපයේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ, රුසියාවේ ඔපෙරාවට සම්බන්ධව ප්‍රභල මැදිහත් වීමක් කරපු මෙවැනි කලාපයන් වල ගායන ශිල්පියෙක් හැටියට ඔහුට ඉදිරියට යන්නට තිබුණා. එතරම් විභවයක් ඔහු සතුව තිබුණා. නාට්‍යනුසාරි හඬවල් ලංකාවේ කිහිපයක් තිබුණා. නමුත් මේ නාට්‍යනුසාරි හඬ අද්විතීයයි. එය ඔපෙරා හඬක්, කිසි කලෙක වත් ඔහු වැරදි ස්වරයක් ගායනා කරනවා කිසිම තැනක මට අහන්න ලැබිලා නැහැ. ඒ නිසා තාක්ෂණික වශයෙනුත් ඉහළ ශිර්ෂ ස්වරයන් ස්පර්ශ කරමින් නැවත උරය කලාපයට ඒමේ තිබුණු ඉතාම විශිෂ්ට හැකියාව, ඒ යුඩ්ලින් හරියටම තිතටම ගායනා කිරීමේ හැකියාව තිබුණු ගායන ශිල්පියෙකු තමයි ඔහු,

ඔබට මතක නම්
“උපන් දිනය ළඟ එන හින්දා
මාවත් ඇදගෙන මගේ උන්දා
සාරි ගන්නලු අනේ මන්දා
සාප්පු ගානේ ගියා…”

ඉතින් මේවා ලංකාවේ මහා යැයි සම්මත ගායකයින්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක නිසයි මම කියන්නේ ඔපෙරා ගායන ශිල්පියෙකුවත් වීමේ විභවය ඔහු සතුව තිබුණා. හැබැයි ඔපෙරා කෙසේ වෙතත් ලංකාවේ ගායකයින් ඔහුව ගණන් ගත්තේවත් නැහැ. ලංකාවේ හැම කෙනෙක්ම ඔහුව සැලකුවේ විකටයකු හැටියට. මම කියන්නේ ලංකාවේ ප්‍රධාන ගායකයින් තුන්දෙනා තමා ෆ්‍රෙඩී සිල්වා, අමරදේව සහ නෙවිල් ප්‍රනාන්දු.

මෙතැනින් එහාටත් මෙවැනි ප්‍රසංග පවත්වන්න සූදානම් ද?

ප්‍රසංගයකටත් වඩා මේක කතිකාවක් සහ සංගීත විශ්ලේෂණයක් කිව්වොත් නිවැරදියි. මෙතැනදී ලෙලුම් රත්නායකත් ගීත කීපයක් ගායාන කෙරුවා. මොකද ලෙලුම්ගේ පියා වික්ටර් රත්නායක මහත්මා ෆ්‍රෙඩීගේ කුණ්ඩුමනි ඇතුළු බොහෝ ගීතවලට තනු නිර්මාණය කළා. ඒ නිසා ලෙලුම්ටත් මේ ගීත ගැන අතීත මතකයන් තිබ්බා බෙදා ගන්න. ඉතින් මම ඔහුටත් ආරාධනා කළා. කෙසේ වෙතත් මට ලංකාවේ ප්‍රධාන ධාරාවට අතපසු වෙච්ච සංගීතඥයින් ගායකයින් ගැන ශාස්ත්‍රාලීය මට්ටමින් එහෙම නැත්නම් පෞද්ගලික මට්ටමින් මාධ්‍ය තුළ සාකච්චා කරනවා. සුනිල් ශාන්තයන්, ක්ලැරන්ස් විජේවර්ධයන්, ප්‍රේමසිරි කේමදාසයන්, නෙවිල් ප්‍රනාන්දු වැනි චරිත ගැන සහ කණ්ඩායම් සංගීතයේ හිටපු බොහෝ දෙනා ගැන මා බොහෝවිට සාකච්චා කරනවා. මක්නිසාද යත් මගේ පිළිගැනීම සහ මගේ විශ්වාසය තමයි, අතීතය දන්නේ නැතුව අනාගතයට යන්න බැහැ කියන එක. ඒ නිසා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් මේ ඉතිහාසය දත යුතුයි. ඒ අයගේ තියෙන වැදගත්කම සහ විද්‍යාත්මක පාර්ශ්වය ගැන මා කතා කරනවා පැහැදිලි කරනවා. ඉදිරියටත් මේ දේවල් මගේ මැදිහත් වීමෙන් සිද්ධ වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment