Home කාලීන පුවත් අතීත පරපුරට ගෞරව කරමින්, අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීම මගේ උත්සාහයයි

අතීත පරපුරට ගෞරව කරමින්, අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීම මගේ උත්සාහයයි

by Hela news

ගංගොඩවිල, දෙල්කඳ පාඬිගමගේ විල්සන් හා හේවාවත්තගේ දොන් සීලවතී යුවළට දාව හය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසින් නවරත්න ගමගේ උපත ලැබුවේ ය. නුගේගොඩ ශ්‍රී රේවත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරක් ම අසමත් විය. පසුව සුභද්‍රාරාම පිරිවෙන ඇසුරට ලැබීමෙන් පොතපත කියවීම, ශාස්ත්‍රීය ලිපි පරිහරණය කෙරෙහි දැඩි ලෙස යොමු වුවත් විශ්වවිද්‍යාලයට යෑමට නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතු බව එහිදී පෙනී ගිය හෙයින් මහත් උත්සාහයෙන් සාමාන්‍ය පෙළ සමත් ව සුභද්‍රාරාම පිරිවෙනෙන් උසස් පෙළ හදාරන්නට විය.

“මම ජීවිතය කියෙව්වේ සුභද්‍රාරාම පිරිවෙනට ආව ගිය ප්‍රවීණ ලේඛකයන්, සිනමාවේදීන්, සංගීතඥයන්, ඇතුළු විවිධ කලාකරුවන් ගේ සුභාවිත ඇසුර, පොතපත කියවීම සහ ගංගොඩවිල අවට ග්‍රාමයන්හි එවකට පැවති විචිත්‍රවත්, සුහදශීලී සමාජ සංස්කෘතික වපසරිය තුළ යි. නුගේගොඩ, මහරගම වටේ තියෙන සිනමා ශාලාවලට එන හැම චිත්‍රපටයක් ම මම කොහොම හරි බලනවා.

ඒවායේ සංගීතයට මම පුදුමාකාර විදිහට ආසක්ත වෙනවා. ගෙදර ඉන්න හැම වෙලාවක ම එක්කෝ සින්දු අහනවා, නැත්නම් චිත්‍රපටවල ගීත ගයනවා. මට ගීත ගැයීමේ හැකියාවක් තිබුණා. පාසලේදී විවිධ අවස්ථාවල ගීත ගැයුවා. ගමේ පැවති සංස්කෘතික උත්සව, බාලිකා පාසලේ පැවති කෙටි චිත්‍රපට, සර්කස් පැසිපියා මේ හැමදෙයක් ම ගිහින් බලනවා. චිත්‍රපට බලන්න සල්ලි හොයාගන්න පරණ යකඩ කෑලි, බෝතල්, පත්තර එකතු කරලා ගිහින් විකුණනවා.

ඒවා විකුණන්න ගියා ම බෝතල් පත්තර කඩේ හොඳ පොතක් එහෙම තියෙනවා දැක්කොත් ඒ සල්ලිවලින් ඒකත් ගන්නවා. පොත් කියවීමට ඒ තරම් නැඹුරුවක් තිබුණා. මම චිත්‍රපට බලන්න දැක්වූ උනන්දුව හඳුනාගත් අපේ ජුලියට් පුංචි අම්මාත් මට චිත්‍රපට බලන්න යන්න සල්ලි දෙනවා. මේ චිත්‍රපටවල, සර්කස්වල දකින දේවල්වලට වඩා ඒවායේ සංගීතය මගේ හිතේ රැඳුනා.”

ජාතික ප්‍රගති පුස්තකාලය ඔහුගේ කලා නිර්මාණවල මූල බීජය විය. එක් පැත්තකින් බෞද්ධ පරිසරය ද තවත් පැත්තකින් ජාතීන් අතර සම්බන්ධය ද තවත් පැත්තකින් සංස්කෘතික කලාවන් ද ඔහුගේ ජීවිතය හා කුඩා කල පටන් බද්ධ වී තිබුණි. ගමේ එකිනෙකා අතර කිසිදු ජාති භේදයකින් තොරව පැවති සංස්කෘතික බැඳීම ඔහුගේ නිර්මාණකරණය පුළුල් පරාසයකට විහිදුවන්නට අවිඥානික ව ඉවහල් විය.

“පුංචි කාලේ ආශ්‍රය කරපු රංජි, සිරිපාල, අශෝක, බණ්ඩාර මිත්‍රයෝ හතරදෙනා පොත පත කියවන්න රුසියෝ. ඒ කාලේ ආර්ථික ප්‍රශ්නත් එක්ක විශ්වවිද්‍යාල ගමන ගොඩාක් දුර වැඩියි කියලා මට පෙනුණා. ගණිතය හොඳින් සමත් වෙච්ච නිසා කොළඹ හුණුපිටිය කොමර්ෂල් ඉංජිනේරු ආයතනයේ තේ මැෂින් පිළිබඳ පාඨමාලාවක් හදාරලා ඒකේ රැකියාව කළා. ලංකාවේ තේ කර්මාන්ත ශාලාවල තියෙන මැෂින් බොහෝමයක යටි පැත්තේ මගේ නම ගහලා තියෙනවා. ඒ අතරේ කොළඹ චිත්‍රපට ශාලාවලට එන චිත්‍රපට බලන්නත් යනවා. කොළඹ මහජන පුස්තකාලය, කලා භවන, ජෝන් ද සිල්වා සමරු රඟහල මම නිතර ගැවසෙන ස්ථාන බවට පත් වෙනවා.

පාසලේ හිටපු ධර්මදාස ගුරුතුමා පුංචි කාලෙ දවසක පරණවිතාන මහත්තයා මිය ගිය වෙලාවේ මිනිය බලන්න අපි ව කලා භවනට එක්කගෙන ගියා. එදා කලාභවනේ චිත්‍ර දැක්කා ම අමුතු ලෝකයක් කියලා හිතේ ඇඳුණා. ඒ හීන පසුව හැබැහින් හමු වුණා. කොළඹ ජාතික පුස්තකාලයට ගිහින් පොත් කියවන්න පටන් ගත්තා. ජන, නූර්ති, නාඩගම්, ගැමි නාටකය වැනි පොත් ඒ අතර මට හමු වුණා. පුස්තකාල ශාලාවේ නිතර ම සාහිත්‍ය දේශන, ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් තිබුණා. ඒවත් බැලුවා. විවිධ අය එහිදී ඇසුරු කරන්න ලැබුණා. විවිධ කතිකා ගොඩ නැගුණා. මේ හැම දෙයක් ම මගේ නිර්මාණ සඳහා විශ්වවිද්‍යාලයක් බවට පත්වුණා.”

කොළඹ කාන්තා විද්‍යාලයේ පැවති ප්‍රේමසිරි කේමදාසයන්ගේ “මගේ කාලේ මවුනි” නමැති සංගීතමය ප්‍රසංගය නැරඹීමට යෑම නවරත්න ගමගේගේ සංගීත දිවියේ කඩඉමක් බවට පත් විය. ඔහුගේ පාසල් මිත්‍ර බණ්ඩාර එහිදී අහම්බෙන් ඔහුට හමු විය.

“බණ්ඩාර මාව කේමදාස මාස්ටර්ගේ මරදානෙ සංගීත මන්ජරියට එක්කගෙන ගියා. ඒ කාලේ කේමදාස මාස්ටර් ඉතා ම කාර්ය බහුලයි. ඒකෙ හිටිය උපාලි මෙණ්ඩිස්ගෙන් සංගීතය ඉගෙනගෙන තව කිහිපදෙනෙක් එකතු කරගෙන සුපර් ෆ්‍රෙන්ඩ් කියලා සංගීත කණ්ඩායමක් හැදුවා. නාවලපිටියෙ වත්තකින් සර්පිනාවක් සල්ලිවලට ගෙන්න ගත්තා. ඊට පස්සේ වෙඩින්වල, පාටිවල, උත්සවවලට ගිහින් ගාණක් හොයා ගත්තා. සංගීත කණ්ඩායම ටික කාලෙකින් කැඩිලා විසිරිලා ගියා. මම ගත්ත සර්පිනාව එක දවසක් මම දැක්කා යාළුවෙකුගෙ ගෙදර කුස්සියේ මීයො දුවමින් තියෙනවා. ඒක දැකලා පුදුම කම්පනයක් මට ඇති වුණා. මම ඒක අරගෙන ගිහින් හොඳට හදාගෙන බී. වික්ටර් පෙරේරා ගුරුතුමා ළඟට ගිහින් ශාස්ත්‍රීය සංගීතය, රාගධාරී සංගීතය ඉගෙන ගත්තා. විශාරද සමත් වුණා. ඊට පස්සේ ගුවන්විදුලියේ නාඩගම් ගී බී ශ්‍රේණියේ සමාර්ථයක් ලබා ගත්තා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ව මට මුලින් ම මුණ ගැහෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේදී යි.”

දීප්ති කුමාර ගුණරත්න, සිරිමල් විජේසිංහ, සරච්චන්ද්‍ර වල්පොල යනාදි නාට්‍යකරුවන්ගේ නාට්‍යවලට සංගීත නිර්මාණය කිරීම ඇරඹූ නවරත්න ගමගේ, පසු ව ජයලත් මනෝරත්න, සෝමලතා සුබසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ආදින්ගේ නාට්‍යවල ද විශාරද නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතයෙන් ආරම්හ කරන ලදු ව ඇයගේ සම්මානිත ගීත දක්වා ද ජයග්‍රාහී පුළුල් ගමනක් මේ දක්වා පැමිණ සිටින්නේ ය.

“යසනාත් ධම්මික බණ්ඩාර ගේ කවිවලට මම තනු නිර්මාණය කළා. ගාන තෙල් සඳුන් වරලස, සුවඳ මල් වගේ ගීත ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. සෙනේෂ් බණ්ඩාර දිසානායක ඔහුගේ ‘යාත්‍රා’ රූපවාහිනී වැඩසටහන සඳහා සංගීත නිර්මාණයට මාව යොදා ගන්නවා. ඔහුගේ ආදරණීය වස්සානය, ෆැන්ටසි ඇවනිව්, ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලි චිත්‍රපට සඳහා සංගීත අධ්‍යක්ෂණය කරන්න මට ලැබෙනවා. සුදත් රෝහණ, අනුරුද්ධ ජයසිංහ, චන්ද්‍රරත්න මාපිටිගම, ටිකිරි රත්නායක, අශෝක හඳගම, මහාචාර්ය සුනිල් ආරියරත්න, සුමිත්‍රා පිරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, නිහාල්සිංහ, කඳපොල කුමාරගම, ඉදිරියේදී ජනගත කිරීමට නියමිත ජයන්ත චන්ද්‍රසිරි ගේ “මිදුණු විශ්වය” හා ක්‍රිස්ටි ෂෙල්ටන්, ශ්‍රියානි අමරසේන එකතුවෙන් සුදත් රෝහණගේ මාණික්කාවත නවකතාව ඇසුරෙන් යාත්‍රා නමැති කලා නිර්මාණය ආදියෙහි සංගීතය නිර්මාණ කාර්යය මම ඉටුකළා. සුපර් ස්ටාර් 2, රණවිරු ස්ටාර් සම්පූර්ණයෙන් සංගීත අධ්‍යක්ෂණ කාර්යය මට පැවරුණා.

සීයකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළේ බුදුන් දැකීම ඔපෙරා එකට සම්බන්ධ වෙන්නත් ලැබුණා. ඒවා මගේ සංගීත ජීවිතයේ කඩඉම් බවට පත්වුණා.”

සාමාන්‍ය පෙළ විභාගය දෙවරක් අසමත් වූ නවරත්න කොළඹ විශ්වවිද්‍යාලයයේ, හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ව්‍යවහාරික සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වසර තුනක් ඉගැන්වීම් කරන්නේ ය. එහිදී ඔහු ශාස්ත්‍රීය, නිර්මාණාත්මක හා ප්‍රාසාංගික සංගීත භාවිතයන් පිළිබඳ ව විශ්වවිද්‍යාල දරුවන් සමග පර්යේෂණ කරන්නේ ය. ඒ අනුව ඔහු එම දරුවන් ද යොදා ගනිමින් පර්යේෂණාත්මක ඔපෙරා සංගීත සන්ධ්වනියක් නිර්මාණය කර එළිදක්වන්නේ ය. ඒ වූ කලී විභාග ප්‍රශ්න පත්‍රයකින් ලඝු කළ නොහැකි වූ ඔහුගේ විශ්වීය දැනුම් සම්භාරය හා නිර්මාණාත්මක ඥානය යි.

“මේ වසංගතය නිම වූ පසු ඒ නිර්මාණය මම ජනතාව අතරට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ දැවැන්ත නිර්මාණකරුවාගේ යෝධ සෙවණැල්ල වන්නී ප්‍රීති ජයසේකර යි.

ගුරුවරියක් ව සිටි ඇය ඒ සියල්ල අතහැර නවරත්නගේ කාර්ය බහුල ජීවිතයට නිදහස ලබා දෙමින් දරුවන් රැකබලා ගත්තා ය. දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් ව උසස්තලවලට රැගෙන ආවා ය.

“ලොකු පුතා මුදිත මාධව සොෆ්ට් වෙයාර් ඉංජිනේරුවරයෙක් ලෙස ඉංජිනේරු ආයතනයක රැකියාව කරනවා. එයා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොඩි පුතා ජනක් චන්දිමාල් මානව සම්පත් කළමනාකරුවෙක් හැටියට රැකියාව කරනවා. එයා නිතර ම විදේශගත වෙනවා. මේ මගේ විවාහ පවුල් සංස්ථාව වුණාට අදටත් මට හැඟෙන්නේ පවුලක් කියන්නේ මුළු ගම ම කියා යි. ගමේ මොන ගෙදරකට මොන වෙලාවක ගියත් ඒ අම්මලා අපට කන්න මොනවා හරි දුන්නා. ඒ ඔවුන්ට තිබිලා නෙවෙයි. තියෙන දෙයින් දුන්නා. හැම තාත්තා කෙනෙක් ම ජීවිතයට යමක් කියා දුන්නා. අහළ පහළ ළමයි හැමෝ ම සහෝදර සහෝදරියෝ යි.

මඟුල් ගෙයක්, මළ ගෙයක්, දානයක්, කංකාරියක් මොන දෙයක් තිබුණත් ගම ම එකතු වෙනවා. මට ජීවිතය ලැබුණේ සහ මම ජීවිතය ඉගෙන ගත්තේ ගම නමැති පවුලෙන්, පොතපතින් සහ කලා නිර්මාණ රසඳීමෙනුයි. අද දරුවන්ට නැත්තෙත් එය යි. පුංචි කාලේ මම පොතින්පතින් හා හැබැහින් දුටු දැවැන්තයන් එක්ක එකට වැඩ කරන්න මට ලැබුණා. මගේ ජීවිතයේ ලැබූ පුදුමාකාර අත්දැකීම් ඔස්සේ මම පරම්පරා කිහිපයකට ම නිර්මාණ කරලා තියෙනවා. මම ඉගෙන ගත් අතීත පරපුරට ගෞරව කරමින්, අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීම මගේ උත්සාහය යි.” නවරත්න ගමගේ කීවේ ය.

0 comment
0

Related Posts

Leave a Comment