Home උණුසුම් පුවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ගැන ගත් තීරණය

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ගැන ගත් තීරණය

by Hela news

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බැවින් එම කාර්යභාරය අවසන් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) පැවැති මාධ්‍ය හමුවකදීය.

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කිරීමට පසුගියදා රජය කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, 

“අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ කාර්යභාරය පවත්වාගෙන යෑමට අවශ්‍යතාවයක් නෑ කියලා රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළා. දැන් ඒ නීතිය නෑ. පාර්ලිමේන්තුව සම්මත කළේ මාසෙකට. දැන් එතුමා නෑ. ඒ තනතුරට පඩි ගෙවන්නේත් නෑ දැන්. හැබැයි ඒක නිෂ්ඵල ක්‍රියාවක් කියලා කියන්න කාටවත් බෑ. සීනි සහ සහල් තිබුණු තත්ත්වයත් එක්ක අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගෙන් යම් කාර්යභාරයක් ඉටුවුණා. භාණ්ඩ මිල පාලනය කරන්න රජයට තියෙන එකම විසඳුම ගැසට් විතරක් නෙමෙයි. තවත් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ සෑම ක්‍රමයක්ම රජය භාවිත කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ කටයුත්ත කරනවා. ආනයනකරුවන් කිව්වා ඩොලර් ගැටලුව එයාලා විසඳ ගන්නම් පාලන මිල ඉවත් කරන්න කියලා. ඒකට තමයි අපි අවසර දුන්නේ. දැන් තියෙන තත්ත්වය නෙමෙයි. තව සති දෙකක් තුනක් ගිහින් කතා කරන්නකෝ.”

“අපේ පාරිභෝගික මිල අංශය අවධානයෙන් ඉන්නේ. මේ වෙළෙඳුන් තීරණය කරන මිල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ මිල නැවත වෙනස් කරනවා නම් ඒ ගැනත් අපි විශේෂයෙන් හොයලා බලනවා. අස්වාභාවිකව වෙනස්වූ වෙළෙඳපොළක් එකපාර නිවැරදි කරගැනීම කරන්න බෑ.”

මේ අතර සතොස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් පළ කළේය.

“පාරිභෝගිකයා විසින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඊට අමතරව තවත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට බලපෑම් කිරීමේ හැකියාවක් නීතිමය වශයෙන් නෑ, පාරිභෝගික ආරක්ෂණ පනත අනුව. හැබැයි ඉල්ලීමක් කරන්න පුළුවන්. සතොස ආයතනය ඒ ඉල්ලීමක් කරලා තියෙන්නේ. සතොස මගේ පාලනය යටතේ නෙමෙයි තියෙන්නේ. ඔයාලා ඒක අහන්න ඒ ඇමතිතුමාගෙන්. සමූපකාරය එවැනි සීමා පනවලා නෑ.”  

“දැනට පාලන මිලක් තිබෙන්නේ PCR පරීක්ෂණයත්, ඇන්ටිජන් පරීක්ෂණයත්, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය, ජල බෝතල් සම්බන්ධයෙන්. දැනට ඒක වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

0 comment
0

Related Posts

Leave a Comment