Home ක්‍රීඩා පුවත් අට වසරකට පසු දසුන්ට අවස්ථාවක්

අට වසරකට පසු දසුන්ට අවස්ථාවක්

by Hela news

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙපිලම තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයක පසු වන බැවින් තීරණාත්මක වී ඇති මේ තරගය ජයග්‍රාහකයන් තීරණය වන අවසන් මහා තරගයක් බවට පත්ව ඇත.

මේ තරගය ජය ගැනීම නායකයන් දෙදෙනාටම කිහිප අයුරකින් ඉතා වැදගත් වී තිබේ. විශේෂයෙන් දසුන් ශානකට වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලි ජයක් අත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇති අතර, ඉන් පසු පැවත එන අඛණ්ඩ ජයග්‍රහණය රැක ගැනීමට කේෂව් මහරාජ්ට සිදුව ඇත්තේ නිත්‍ය නායක ටෙම්බා බවුමා වෙනුවට කණ්ඩායමේ වැඩ බලන නායකයා බවට පත් වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පිල අවසන් වරට 2013 වසරේ ජූලි මස දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටදී පැවැති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජය ගෙන තිබේ.

ඉන් පසු පැවැති තරගාවලි හතරම ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇත.

එමෙන්ම මේ නායකයන් දෙදෙනා දෙරටට එරෙහිව කණ්ඩායම් මෙහෙයවන පළමු අවස්ථාව ද මෙයයි. මේ තරගාවලියේ ශානක කණ්ඩායමට නායකත්වය දුන් පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව ජය ගත් අතර, දෙවැනි තරගය ජය ගත් දකුණු අප්‍රිකා පිලට මහරාජ් නායකත්වය දුන් පළමු අවස්ථාව එයයි. අද තරගයේ කාසියේ වාසිය ද තීරණාත්මක සාධකයක් වී ඇත්තේ නිමා වූ තරග ද්විත්වයේදී කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීම හේතුවෙනි.

එමෙන්ම මේ තරගාවලිය 2023 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් වන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ප්‍රසද ලකුණු 10ත් සමඟ එම ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට යෑමට අවස්ථාව හිමි වෙයි.

මේ වන විට 8 වැනි තැන පසු වන දකුණු අප්‍රිකාව ලකුණු 34ක් ද, 9 වැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාවට ලකුණු 32ක් ද හිමිව ඇත.

මේ තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට අද වැඩි වගකීමක් පැවරෙනු ඇත. විශේෂයෙන් පැවති තරග දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය භානුක රාජපක්ෂ අද ලකුණු අතරට පිවිසිය යුතුය. එමෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම පිතිකරු වන දිනේෂ් චන්දිමාල්ට ද තවමත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී නැති හෙයින් ඔහුට අවස්ථාවක් හිමි වීමට ද ඉඩ තිබේ.

මේ අතර, අද තරගයේදී සුවිශේෂ වාර්තාවකට හිමිකම් කීමේ අවස්ථාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ලැබී තිබේ. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවම ඉනිම සංඛ්‍යාවකදී අන්තර්ජාතික එක්දින ලකුණු 1,000ක් රැස් කළ පිතිකරු බවට පත් වෙමිනි. 23 හැවිරිදි අවිශ්කට ඒ සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 46ක් පමණි. 38.15ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන ඇති ඔහු මේ වන විට ජගත් එක්දින තරග 25කදී ලකුණු 954ක් රැස් කර ඇත්තේ ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් සමඟිනි.

අවිශ්ක අද තරගයේදී මේ ලකුණු 46 රැස් කළ හොත් එම වාර්තාවට හිමිකම් කීමේ අවස්ථාව හිමි වන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට වේගවත්ම ලකුණු දහසක් රැස් කිරීමේ වාර්තාව රෝයි ඩයස් මහතා සතුව තිබේ. ඔහු 1985 වසරේදී එම වාර්තාව පිහිටුවූයේ ඉනිම 27කිනි.

0 comment
0

Related Posts

Leave a Comment