2020 දී සියයට 1ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි නම් එය විශාල ජයග්‍රහණයක් – අජිත් නිවාඩ් කබ්රාල්

0
95
  • අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හැරීමේ මගේ යෝජනාවට ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් යහපත් ප්‍රතිචාර ආවා.
  • මහ බැංකු නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් සිදුවෙන්න ඕනෑ.
  • මම ඉන්න කාලේ රෑ ලයිට් දාලාද කියලා බලන්න ඕන වුණේ නැහැ.
  • ලෝකයේ තිබෙන ප්‍රාග්ධන අරමුදල් වෙත දැන් අප යා යුතුයි.

මෙම වසර තුළ දී සියයට 1ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත හැකි නම් එය විශාල ජයග්‍රහණයක් බවත්, පවතින වාතාවරණය තුළ එය දුෂ්කර නමුත් ලඟා කර ගත හැකි ඉලක්කයක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා වර්තමානයේ දී අග්‍රමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් කියවිය හැකිය.

සංඛ්‍යාත්මකව බැලුවහොත් මේ වසරේ ආර්ථික වර්ධනය සම්බන්යෙන් ඔබේ පුරෝකථනය කුමක්ද?

2020 වසරේ දී ධනාත්මත ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම අපහසු කටයුත්තක්. මේ වසරේ මාස 06 ක් දැනටමත් ගතවෙලා අවසන්. පවතින තත්ත්වය මඟහරවා ගෙන ඉදිරියට යාමේ දී ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ලඟා කර ගැනීම දුෂ්කර කටයුත්තක් වෙනවා. නමුත් අපි එතනට යාමට උනන්දු විය යුතුයි.

මම හිතන්නේ වර්ධනයක් හෝ වර්ධනයක් නොවී තිබෙන තත්ත්වයක් යන දෙකෙන්ම තොරව සිටින්න පුළුවන් නම්, ඒ කියන්නේ බිංදුව මට්ටමේ ඉන්න පුළුවන් නම්, ඒක ලොකු ජයග්‍රහණයක්. සියයට 1ක ආර්ථික වර්ධනයක් ලබා ගක හැකිනම් එය විශාල ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. ඒක තීරණය වන්නේ අපි ක්‍රියාත්මක කරන ක්‍රියාවන් මත. ඒවායේ සාර්ථකත්වය මත තමයි ඒක රඳා පවතින්නේ.

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වීමත් සමඟම මුල අවධියේ දීම  මුදල් සංසරණය ඉහළ දැමීමට, ජනතාව වෙත මුදල් ගලා යාමට සලස්වන ක්‍රමවේදයක් පිළිබඳව ඔබ විසින් යෝජනා කළා. සේවක අර්ථසාධක අරමුදලින් සියයට 20ක කොටසක් මුදා හැරීමේ යෝජනාවක් ඔබ ගෙනාවා. නමුත් වගකිව යුත්තන්ගෙන් ප්‍රමාණවත් අවධානයක් ඒ වෙතට යොමු වුණේ නැහැ නේද?

මගේ ඒ යෝජනාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා, ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. ඒ රටවල් දෙකම ඒ යෝජනා අනුව කටයුතු කරලා තියෙනවා. තවත් රටවල් එවැනි ක්‍රියාමාර්ගවල යෙදෙන්න උත්සාහ දරනවා කියලා මට ආරංචියි. යම් දේවල් සමහරක් අය ඉක්මනින් කරනවා. සමහරු ප්‍රමාදවෙලා කරනවා. සමහරු නොකර ඉන්නවා. සමහර විට ශ්‍රී ලංකාවත් ඒ යෝජනාවේ සාර්ථකත්වය තේරුම් ගත්තොතින්,  එය කරයි.

උත්තේජනයක් හැටියට රටක ආර්ථිකය නැවත පිබිදීමට නම්, එය අඩුම තරමේ අපට දැනට තොරතුරු අනුව දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 10ක් වත් විය යුතු බවට දැන් තීරණය කරලා තිබෙනවා. පොඩි පොඩි දේවල් කරලා අපේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන්න අමාරුයි. ශ්‍රී ලංකා ආර්ථිකය ට්‍රිලියන 15 ක ආර්ථිකයක්. ඒ කියන්නේ බිලියන 15,000ක ආර්ථිකයක්. එවැනි ආර්ථිකයට බිලියන 100ක් 150 ක් යොමුකළොත් එයින් යම්කිසි ප්‍රතිඵලයක් එයි. නමුත් ආර්ථිකයට දැනෙන ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. දැනෙන ප්‍රතිඵලයක් ගන්න නම්, බිලියන 1,500 ක පමණ උත්තේජන මාලාවක් එන්නට අවශ්‍යයි. ඒ නිසා මම එකක් හැටියට යෝජනා කළා, සේවක අර්ථසාධක අරමුදලේ දැනට ශේෂය තිබෙනවා රු. බිලියන 2,500 ක් පමණ. සියයට 20 ක ප්‍රමාණයක් කියන්නේ රුපියල් බිලියන 500ක්. එය මම ආර්ථික කෝණයෙන් පමණක් බලා කළ යෝජනාවක් නොවෙයි. පුද්ගලයන්ගේ ආර්ථික කෝණයෙනුත් බැලුවා.

ජනාධිපතිතුමා කියලා තියෙන්නේ, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් අපි හදන්න ඕනේ. එතකොට ජනතාවගේ ප්‍රශ්නත් අපේ ප්‍රහ්න. රටේ ප්‍රශ්න. අපි දන්නවා මේ අවස්ථාවේ දී බොහෝ ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ණය, ක්‍රෙඩිට් කාඩ් ගෙවා ගන්න බැහැ. දඩ පොළී ගෙවන්න සිදුවෙනවා. ඒ අයට සහනයක් අවශ්‍යයි. තවත් අය ඉන්නවා, ඉතාමත් අත්‍යාවශ්‍ය කටයුතු කරගන්න බැරුව ඉන්න. දරුවන්ගේ අධ්‍යාපන වියදම්, බෙහෙත් ටික ගන්න, මේ වගේ දේවල් රාහියක් කර ගන්න බැරුව ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මේ අයට මේ මුදල දැන් ලැබුණොතින් ඒ අයට කරන්න වැඩ රාශියක් තිබෙනවා. ඒ අයට පොළියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ මුදල යොදා ගන්න විට ආර්ථිකයට ගැම්මක් එනවා. බිලියන 500 ක් ආර්ථිකයට එකතු වෙනවා.

මේ වගේ දේවල් කළොත්, කලින් කතා කළා වගේ සියයට 1 ක වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙයි. නැතිනම් සෘණ තමයි වෙන්නේ.

මුදල් සංසරණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමීම වැනි පියවර ගණනාවක් ගනු ලැබුවා. මේවායින් ආර්ථිකය දැනෙන බලපෑමක් සිදුවුණා ද?

මුදල් සංසරණය සඳහා මෙවැනි මෙවලම් යොදා ගැනීමේ දී ඒ සඳහා යම්කිසි කාලයක් ගතවෙනවා. බොහෝ විට මෙවැනි ගලායාමක් සිදුවීමට කාර්තු තුන හතරක්වත් යාවි. ඒ නිසා මෙතන දී අපට අවශ්‍ය වෙනවා, යම් යම් මෙවලම් යොදා ගන්නා, ඉතා සීඝ්‍ර ලෙස කටයුතු සිදුවෙන්න. දැන් මුදල් තිබෙනවා. මුදල් ගලායාමක් සිදුවන්නේ නැහැ. එතන යම්කිසි අවහිරයත් තියෙනවා. SRR (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) අඩුකිරීම තුළින් තවදුරටත් ද්‍රවශීලතාවය ඉහළ යනවා. නමුත් දැනට තිබුණේ ද්‍රවශීලතාවය පිළිබඳ ගැටළුවක් නොවෙයි. ණය ගලායාමේ දුර්වලතාවයක් තිබුණ එක තමයි එතන තිබුණු ප්‍රශ්නය. එතනට තමයි පිළියම දියු යුත්තේ. මගේ මතය ඒ සඳහා ණය සහතික වීමේ යම් ක්‍රියාමාර්ගයක් සකස් කරන්න ඕනේ. ඒවා හරහා ණය ගලා යාම නැවත වරක් සිදුවෙනවා. මගේ මතය අනුව මෙතන දී ණය ගලා යාම පමණක් මදි. දැන් අවශ්‍යතාවය තිබෙන්නේ ණයවලට වඩා ප්‍රාග්ධනය ඇතිකර ගැනීමට.

ඒ නිසා මම තවත් යෝජනාවක් කළා. ප්‍රාග්ධනය සකස් කිරීමේ අරමුදල් කරා අපි දැන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා ලෝකයේ තියෙනවා, ප්‍රාග්ධන අරමුදල්, Equity funds. අපි ඒවා දැන් සොයා ගත යුතුයි. ඒවා ලංකාවට ගෙන එන්නට පුළුවන් වුණොත් මේ ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දෙන්න පුළුවන්.

මහ බැංකුව කුමන තීරණය ගත්තත්, මුදල් ජනතාව වෙත ගලා යන්නේ බැංකු සහ මූල්‍ය ආයතන හරහා. නමුත් ඔවුන් කියන දෙයක් තමයි, මෙයාකාරයෙන් ණය ලබා දීම් හරහා ඔවුන්ගේ සමාගම්වල පැවැත්මට, ලාභදායීත්වයට අහිතකර බලපෑමක්, ණය අයකර ගැනීමේ ගැටළු, අක්‍රීය ණය ඉහළ යාම වැනි ගැටළු ඇතිවිය හැකි බව?

මම දකින්නේ බැංකු කියන ආයතනත්, මහජන මුදල් මත යැපෙන ආයතන. ඒවා දුර්වල වෙන්න අපිට ඉඩදෙන්න බැහැ. ඒ ආයතන කඩා වැටෙන විදියට අපි කටයුතු කළොත්, මේ කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මහ බැංකුව ඒ පැත්තත් ‘බැලන්ස්‘ කරන්න ඕනේ. මහ බැංකුවේ කාර්යභාරය තමයි, මේ වගේ වෙලාවක  මේ කටයුතු සියල්ල සමබර කර ගැනීම. එම නිසා මහ බැංකුව නියාමනය කරද්දී බැංකුවලටත් ලබා දෙන්න ඕනේ උපදෙස්, ඒ උපදෙස් හරහා කටයුතු කරද්දී බැංකු/ මූල්‍ය ආයතන දුර්වල වෙන්නේ නැති විදියට.

පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජය තුළ එතරම් යහපත් පිළිගැනීමක් තිබුණේ නැහැ. හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වශයෙන් මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද, මහ බැංකුවේ හෝ එහි නිලධාරීන් මට්ටමින් හෝ යම් ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුවිය යුතුයි කියා ඔබ සිතනවාද?

මම මහ බැංකුවේ අධිපතිවරයා සිටිය කාලේ දී තිබුණු නීති රීති සහ එම කාලයේ සිටි බොහෝ නිලධාරීන් දැනටත් සිටිනවා. අපි ඒ කාලේ දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ලෝකයේ තිබුණු විශාලතම ආර්ථාක අවපාතය සිදුවුණා. ලෝකය පුරා බැංකු දහස් ගණනින් කඩා වැටුණා. තෙල් මිල බැරලයක් ඩොලර් 145ට නැග්ගා. ඉතා දැවැනත් ආහාර අර්බුදයක් සිදුවුණා. අපේ රටේ යුද්ධයක් තිබුණා. මේ ඔක්කොමත් එක්ක තමයි අපි කටයුතු කළේ. මේ නිලධාරීන් තමයි කටයුතු කළේ. මේ නීතිරීති තමයි තිබුණේ. ඒ නිසා මම හිතන්නේ නැහැ ප්‍රතිව්‍යූහගතකරණයක් අවශයයි කියලා. නමුත් ආකල්පමය වෙනසක් තිබෙන්නට ඕනේ. මම මහ බැංකුවේ අධිපතිවරයාව සිටි කාලයේ දී, අපිට තිබුණා ලොකු කැක්කුමක්, අපි මේ සේවය ලබා දීලා, රටේ ස්ථායිභාවය පත්වාගෙන යන්න ඕනේ කියලා. එතනදී යම්කිසි ආකාරයකට ඒ අරමුණ, මේ වන විට යම් තරමකට අඩුවෙලා ද කියලා මට දන්නේ නැහැ. ඒ නිසා තමයි රටේ ප්‍රධාන පුරවැසියාට ඒ බව මතක් කර දෙන්න සිදුවුණේ. මම ඉන්න කාලේ ඒක මතක් කරලා දෙනවා ඔබතුමන්ලා කවදාවත් දැක්කේ නැහැ. මතක් කරලා දෙන්නට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මම ඉන්න කාලේ රෑ ලයිට් දාලාද කියලා බලන්න වුණේ නැහැ. මොකද හැමදාම රෑ ලයිට් දාලා තිබුණා. හැමෝම වැඩ කෙරුවා රූ හත, අට, නමය, දහය වෙනකං. මේ නිලධාරීන්ම තමයි එහෙම වැඩ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here