හොර පාරේ නෙවෙයි මම හරි පාරේ යන්නේ

0
100

එකම කාල වකවානුවක තමන් ප්‍රධාන චරිත රඟපාන ටෙළි නාට්‍ය කීපයක් රූපවාහිනී නාළිකා කිහිපයක විකාශය වීම නළුවෙකුට හෝ නිළියකට වාසනාවන්ත කාලයක් උදාවුණා සේ දැක්විය හැකියි. පූජනී භාග්‍යා මේ ගතකරන්නේ එවන් භාග්‍යවන්ත කාලයක්.

පූජනී චරිත කීපයක් හරහා රසිකයන් වැඩි පිරිසක් සමග ගෙවෙන කාලයක් නේද?
පහුගිය කාලයේ මම ගොඩක් නිර්මාණවල රඟපෑවා. ඒ අතරින් මේ දවස්වල නාඩි, අපි අපේ, අහස් මාළිගා සහ නුදුරේම ජාතික රූපවාහිනියේ නෑනලා කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම මම රඟපාපු අසංවර වැස්ස ටෙලි නාට්‍යයත් ළඟදීම විකාශය කරන්න සූදානමක් තියෙනවා.

මේ අතර නාඩි ටෙලි නාට්‍යයේ තිසරි වේගයෙන් ජනප්‍රිය වෙලා නේද?

ඔව්, මම මෙතෙක් කළ ප්‍රධාන චරිත අතරින් විකාශය ආරම්භ වුණ පළමු ටෙලි නාට්‍යය නාඩි. ඒ වගේම තිසරි වැනි චරිතයක් මම මෙතෙක් රඟපාලා නැහැ. ඇය මගේ පෞද්ගලික දිවියට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.

පූජනී රංගනයට ආ‌වේ ළමාවියේදීමද?

ඔව්, 2010 දී මම දරුවනේ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑවා. එතකොට මම හත වසරේ විතර ඇති. ඊට පස්සේ මම රඟපාන්න ආවෙ නැහැ ඉගෙනීමේ කටයුතු කරගෙන හිටියා. මට නිළියක් වෙන්න උනන්දුවක් තිබුණෙත් නැහැ. මම කැමතිවෙලා හිටියේ පශු වෛද්‍යවරියක් වෙන්න හෝ ගුවන් සේවිකාවක් වෙන්නයි. පාසල් වියේ මම දක්ෂ ක්‍රිඩිකාවක්. කැලණිය ගුරුකුල විද්‍යාලයේ මම දැල්පන්දු හා මලල ක්‍රිඩිකාවක් විදිහට ප්‍රසිද්ධව හිටියා.

‘දරුවනේ’ චිත්‍රපටයෙන් පස්සේ පූජනීට ලැබුණ චිත්‍රපට මොනවද?

පහුගිය කාලයේ ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවලත් වැඩ ලැබුණා. හැබැයි ඒ චරිත මට ගැළපෙන චරිත නෙවෙයි. මම කැමති නැති ඇඳුම්, කැමති නැති දර්ශන ඒවයේ තිබුණා. මට හිතුණා ඒවා කළොත් මගේ නමට හානියක් කියලා. ඒ නිසා මම ඒ චරිත අතහැරියා.

රංගන වෘත්තිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට සූදානම්ද?

රංගනය හෝ මම කරමින් සිටින කුමක් හෝ රැකියාවක් නිසා මගේ පෞද්ගලික ජීවිතයේ සතුටට හානියක් වෙනවා නම් මම එතැනින් අයින් වෙනවා. තවම මට අවුරුදු 22 යි. දැනට මට වයස තියෙන නිසා වැඩ කරගෙන යනවා.

පූජනීගේ ආදරය හිමි කාටද?

මටත් පාසල් වියේ ප්‍රේමයක් තිබුණා. දැන් හිතද්දි ඒතන ප්‍රේමයක් තිබුණද, ඒ ප්‍රේමය නැතිවුණ එක ගැන මගේ හිතේ තියෙන්නේ මොනවගේ හැඟීමක්ද කියලා මට හිතාගන්න බැහැ. කොහොම වුණත් මගේ ජීවිතයේ හිතට දැනෙන එකම එක ආදරයක් තිබිල තියෙනවා.

ජනප්‍රිය නළුවෙක් හා ගායකයෙක් වන ගයාන් ගුණවර්ධන දැන් ඔබේ පෙම්වතාද?

ගොඩක් අය කිව්වේ අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා කියලයි. ඒ ආදරවන්තයන්ගේ දිනයේ රිලීස් වුණ අපි දෙන්නා පෙනී සිටින මංගල ඡායාරූප පෙළක් නිසා. ඒ ඡායාරූප ටික එක්ක අපි දෙන්නට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් වුණා.

මොනවද ඒ ප්‍රශ්න?

ඡායාරූප ටික අන්තර්ජාලයේ දැකපු ගමන් ගයාන් අයියට ආදරය කරන රසිකාවියන්ගෙන් ඇමැතුම්, කෙටි පණිවිඩ ගලා එන්න පටන් ගත්තා. ඔහුට ආදරය කරන රසිකාවියන්ගේ හිත් හොඳමට රිදිලා බිඳිලා මේ ආරංචියත් එක්ක. මගේ රසික රසිකාවියන් විතරක් නෙවෙයි ඥාතීනුත් කෝල් කරලා අහන්න පටන් ගත්තා ඇයි නොකියම විවාහ වුණේ කියලා.

අද ගයාන් ළඟම මිතුරා වගේම හෙට ඔහු ඔබගේ පෙම්වතා වෙන්නත් පුළුවන් නේද?

අනේ එහෙම හිතන්නෙ නැහැ. ගයාන් අයියා මට ගොඩක් උදව් කරන කෙනෙක්. අපි දිහා බලන අයට අපි ගැන කොහොම හිතෙනවද දන්නෙ නැහැ. හැබැයි අපි පෙම්වතුන් නෙවෙයි.

පූජනී හරි ආඩම්බරකාරියක්ලු නේද?

මගේ ඔළුව, හරි ලොකුකම කියලා මාව ඈත ඉඳන් හා ඡායාරූපවලින් දකින අය කියනවා. මම හරිම අහංකාරයිලු, ඇත්තටම මම හරිම මිත්‍රශීලී, විනෝදයට බර, කටකාර කෙල්ලෙක්.

ඔබ කලාව තුළින් අත්විඳින්නේ සුන්දරත්වයක්ද? කටුකත්වයක්ද?

මේ ක්ෂෙත්‍රයේ හොඳ විදිහට හොඳ කෙනෙක්ට ඉදිරියට එන්න අමාරුයි. මේකෙ ඉක්මනින් ඉදිරියට යනවා නම් ඕන තරම් හොර පාරවල් තියෙනවා. කෙළින් පාර තියෙද්දී අතුරු පාරවල් තෝරගන්න අය සමහරවිට අතරමං වෙන්න පුළුවන්. කලාව නරක නැහැ, තමන් වැඩ කරන විදිහෙන් තමයි හොඳ ද නරකද කියලා තීරණය වෙන්නේ. වටේ ඉන්න අය කොචච්ර වැරදි කළත් තමන් හරි පාරේ යනවා නම් ඇත්තටම මේක පූජණීය තැනක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here