හිසරදයට කොට්ටය මාරු කරන ශ්‍රී ලංකා ක්‍රිකට්

0
51

වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල කඩා වැටීමකට ලක්ව තිබෙනවා. කලක් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක 2 , එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 1 හා ටී 20 ශ්‍රේණිගත කිරීම් වල අංක 1 දිනා සිටි අපි මේවන විට පිළිවෙළින් අංක 7,8 හා 8 දක්වා පසුබැස තිබෙනවා. පසුගිය දින ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබුවේ සියළු තරග රටා සැළකීමේදී 9-0 ලෙසයි. එය ලෝක වාර්තාවක් වන අතර අහඹු සිදුවීමක් ලෙස ගත නොහැක්කේ ටෙස්ට් තරග තුනෙහිම ඉන්දියනු පළමු ඉණිමේ ලකුණු ගණන අභිබවා යාමට ශ්‍රී ලංකාවට සිය ඉණිම් දෙකම පන්දුවට පහරදුන් පසුත් නොහැකි වීමයි. සියල්ල අවසානයේ හැමදාමත් බුද්ධිමත් ප්‍රේක්ෂකයින් ලෙස නම් දරා සිටි ලාංකීය ප්‍රේක්ෂකයාගෙන්ද බෝතල් ප්‍රහාරයක් තණනිල්ලට එල්ල වීමට තරම් මේ ප්‍රශ්නය දුරදිග ගොස් තිබෙනවා. ඇත්තෙන්ම අපට වැරදුණේ කොතැනද? මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටක් වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ ගැන සාකච්ඡා කෙරෙන විමර්ශනාත්මක සටහනක්.

ලෙජන්ඩ් වන්දනාව හා විකල්ප සොයා නොගැනීම

ශ්‍රී ලංකාව අතීතයේ සිටම ලෙජන්ඩ් වන්දනාවට ප්‍රසිද්ධියක් උසුළනවා. සංගීත ක්ෂේත්‍රය සැළකුවහොත් එහි විශිෂ්ටයන් වන එච්.ආර් ජෝතිපාල මහතා හෝ ඩබ්.ඩී අමරදේව ශූරීන් ගැන ශ්‍රී ලාංකිකයෙකුගෙන් යමක් විමසුවහොත් වැඩිමනක් ඇසෙන පිළිතුර වන්නේ ‘එවැන්නන් නැවත බිහි නොවන’ බවයි. විශිෂ්ටයන් සැමරීම යහපත් ක්‍රියාවක් නමුත් වුවමනාවට වඩා එහි එල්බ සිටීමෙන් සිදුවන්නේ අනර්ථයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෑත අතීතය පිරික්සීමේදී කණ්ඩායමේ බල කණු ලෙස සිටි සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම් ඩිල්ශාන් වැන්නවුන් ක්‍රීඩා පිටියෙන් සමුගන්නාතුරු ගුණ වයමින් සිටියා මිසක නිසියාකාරව ඔවුන්ගෙන් පසු ඒ ස්ථාන වලට තරුණ ක්‍රීඩකයන් සූදානම් කළාද යන්න ගැටළුවක්. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨයාට සෑම විටම මුල් තැන දී කටයුතු කිරීම, ඔවුන් වයසට යන බව නොසිතීම, කණ්ඩායමෙ අත්හදා බලන තරුණ ක්‍රීඩකාගෙන් එක් වරම ජ්‍යෙෂ්ඨයින්ගේ වර්තමාන දක්ෂතා බලාපොරොත්තු වීම, ඕනෑවට වඩා අත්හදා බැලීම, වගකීම් ගැනීමට හුරු නොකිරීම, දක්ෂයන් වෙනුවට ප්‍රතිරූප සෙවීම වැනි ක්‍රීඩකයන් කළමණාකරණයේ ගැටළු නිසා නවක දක්ෂ ක්‍රීඩකයන් හරි හැටි දැඩි කිරීමක් වුණේ නැහැ. අදටත් 39 වි‍යැති රංගන හේරත් විවේක ගන්වා නවකයින්ට හැකි සෑම විට අවස්ථාව ලබා දිය යුතු යැයි කිවහොත් සමහර ශ්‍රී ලාංකිකයන්ගෙන් කුණුහරුප ගොන්නක් අසාගන්නට හැකියි.

වෙනත් රට වල තනි තනිව තරග දිනවිය හැකි ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ක්‍රීඩා කරන විට අපි හැම විටම සළකන්නේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් තරග දිනවීමට ක්‍රීඩා කරන විට අන් අය ඔහුට සහය විය යුතු බවයි. හදිසියේ ඔහුගේ දක්ෂතාව හෝ ශාරිරික යෝග්‍යතාවය බිඳ වැටුණොත් කිසිදු විකල්පයක් සූදානම් කරගෙන නැහැ. සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරග 3 කුත් බංග්ලාදේශය සමඟ තරග 2 කුත් ශ්‍රී ලංකාව විසින් පසුගිය මාස කිහිපය තුල ක්‍රීඩා කලත් ඒ කිසිම විටක රංගන හේරත් විවේක ගැන්වීමක් දක්නට ලැබුණේ නැහැ. ඉන්දියාව මේ ආකාරයෙන් ක්‍රියා කළානම් සචින් තෙන්ඩුල්කාර් සමුගැනීම ප්‍රකාශ කරන තුරු විරාත් කෝලිගේ නැඟ ඒමක් සිදුවන්නේ නැහැ.

ක්‍රීඩක ශරීර යෝග්‍යතාවය හා දුර්වල ක්‍රීඩක කළමනාකරණය

ශ්‍රී ලංකා කණ්ඩායම තුල වර්තමානය වන විට නිසියාකාරව ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යන බවක් පෙනෙන්නට නැහැ. සමහර විට පසුගිය දින වල සිදු වූ ආබාධ හුදෙක් අවාසනාව නිසාම සිදු වූවක් විය හැකියි. ඒ කෙසේ වෙතත්, විශේෂයෙන් වේග පන්දු යවන්නන් විෂයෙහි අන් රට වලට වඩා ආබාධ අපි බලාපොරොත්තු විය යුතුයි. අනෙක් රට වල ක්‍රීඩකයන් ගේ මෙන් නොව කුඩා කාලයේදි ප්‍රෝටීන, විටමින හා කැල්සියම් වැනි දේ නිසියාකාරව නොලැබීම නිසා අපේ ක්‍රීඩකයන්ගේ අස්ථි සාපේක්ෂව දුර්වලයි. මෙයට විසඳුම ලෙස වැඩිපුර ආදේශක ක්‍රීඩකයින් තනාගත යුතුයි. ඒ වාගේම වේග පන්දු යවන්නන් පරෙස්සම් කරමින් නිසියාකාරයෙන් යොදවාගත යුතුයි. පසුගිය දින වල දකුණු අප්‍රිකා කණ්ඩායම ක්‍රීඩා කළේ ඔවුන්ගේ හොඳම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ඩේල් ස්ටේන් හා මෝර්නේ මෝකල් නොමැතිවයි. එහෙත් ඔවුනට ආදේශක එමට තිබුණා.

අනෙක් අතට ශ්‍රීලංකා පිළට ගෙන එන නවක ක්‍රීඩකයන් ඉක්මණට හුවමාරු කර බලනවා. සමහර විටෙක සමාජ ජාල අඩවි නිසා ඇති වන ආතතිය මීට හේතු විය හැකියි. එයින් එම ක්‍රීඩකයාට ස්ථාවරත්වයක් ගොඩ නඟා ගත නොහැකි වෙනවා. මේ කාලයේ මාවන් අතපත්තු වැනි දක්ෂයෙක් කණ්ඩායමට ආවානම් තරග තුනක් ක්‍රීඩා කිරීමෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් හා පාලකයින්ගෙන් ලබන අත්දැකීම් අනුව (පළමු ඉනිම් 6 ටම 1 ලකුණයි ) යළි කිසි දිනෙක ක්‍රීඩා නොකරනු ඇති.

දියාරු පළමුපෙළ තරග රටාව

ශ්‍රී ලංකාවේ දුර්වල වර්තමාන තරග රටාවට වැඩියෙන්ම හේතු වන කාරණාව ලෙස මෙය ගණන් ගන්නට පිළිවන්. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් සමාන ජනගහනයක් සිටින, එහෙත් වඩා ක්‍රීඩාශීලී රටක පළමුපෙළ කණ්ඩායම් 6ක් පමණක් සිටින විට ශ්‍රී ලංකාවේ පළමුපෙළ කණ්ඩායම් 24ක් සිටීම කොයි තරම් හාස්‍යජනකද? ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රීකට් සභාපතීත්වයට අනුව එසේ කණ්ඩායම් රාශියක් තිබෙන්නේ ‘සැමට අවස්ථාව දීමට’ වුණේ වී නමුත් එයින් කණ්ඩායම් වල ප්‍රබලත්වය අහෝසි වන බව හා තරග රටා වල දියාරු බවක් ඇති වන බව කිසිවෙකුට පෙනෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිළ මඬුල්ල පත් කර ගැනීමට ක්‍රීඩා සමාජ වලින් වන බලපෑම මහත්. මේ නිසා ඔවුන් සංතෝෂ කිරීමට පත්වන්නන්ට වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රබල පළමුපෙළ කණ්ඩායමක් පසුගිය වසරක පළමු පෙළ ‘ඒ’ කොටසේ අවසන් ස්ථානයට පත් වීම නිසා  ‘බී’ කොටසට පසු බසින්නට සිදු වී තිබුණා. එය වළක්වා ගැනීමට ඊළඟ තරග සමයේ තරගාවලි සැකැස්ම වෙනස් කොට කණ්ඩායම් 24 කටම පළමුපෙළ තත්ත්වය දී තිබෙනවා. මෙවැනි දියාරු තරග රටවල ක්‍රීඩකයින් විසින් කෙතරම් කඩුළු ගත්තත්, ලකුණු ගත්තත් අන්තර්ජාතික මට්ටමට දැමූ විට දෙළොවක් අතර තනි වෙන්නේ ඒ තරම් තරගකාරීත්වය පිළිබඳ අත්දැකීමක් නැති නිසායි.

අද වනවිටත්  වේග තණතීරු වල ශ්‍රී ලංකා ටෙස්ට් තරග වාර්ථා ඉතා දුර්වල අඩියක පවතියි. පසුගිය එංගලන්ත සංචාරය 2-0 ලෙසද, නවසීලන්ත සංචාරය 2-0 ලෙසද දකුණු අප්‍රිකාණු සංචාරය 3-0 ලෙසද අපි පරාජයට පත් වුණා. මේ දුර්වලතාවය පවතින්නේ අද ඊයේක සිට නොවේ. එහෙත් කුමක් හෝ කියා පැලැස්තරයක් අලවාගන්නවා විනා තිරසාර විසඳුමක් ගෙන එන බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි දේශගුණික කළාප රැසක් ඇති රටක වේග තණතීරුවක් සාදාගත නොහැක්කේ ඇයිද යන්න ගැටළුවක්. නුවර එළිය ආසන්නව ඇති රදැල්ල වේග පන්දු යවන්නන්ට ඉතා හොඳ තණනිල්ලක් වුණත් අධික වර්ෂාව නිසා එය ඒ තරම් ප්‍රයෝජනවත් වී නැහැ. ශ්‍රී ලංකාවේ උඩරට වර්ෂාව අඩු බදුලු බණ්ඩාරවෙල වැනි පෙදෙසක ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කොට තණතීරුවේ මැටි ස්වහාවය වැඩි කොට, තණකොළ වවා 50% ක් තරම්වත් වේග තණතීරුවකට සමාන තත්ත්ව සාදාගෙන වඩා තරගකාරී පළාත් තරග සංවිධානය කළ නොහැක්කේ ඇයි යන්න විශාලම ගැටළුවක්. වැඩිමනක් තබා කෙතරම් පාරම් බෑවත් 2009-10 වසර වලින් පසු පත් වූ කිසිදු නිල මඬුල්ලකට අන්තර් පළාත් සිවුදින තරගාවලියක් තවමත් සංවිධානය කරගත නොහැකිව තිබෙනවා. වර්තමානයේ එවැන්නක් කතා වෙන අතර අපි දෑස් අයා එය සිදුවන්නේද යැයි බලා සිටිමු. අනෙක් අතට වයස අවුරුදු 23න් පහළ හෝ එවැනි තරගාවලියක් මෙවර සංවිධානය කරගැනීමට හැකි වීම සුබ පෙර නිමිත්තක් සේ පෙනෙනවා. පළාත් තරගාවලි වල තත්වය එසේ වුවත් අන්තර් සමාජ තරගාවලිනම් දිවි හිමියෙන් සංවිධානය කරන බව පෙනෙනවා. පසුගිය සීමිත ඕවර අන්තර් සමාජීය තරගාවලියකට වාරණ නියෝගයක් වැටුණු පසු ඒවා දිස්ත්‍රික්ක වලට අනුයුක්ත කළ හැටි අපට සිහි වෙනවා. දැන් කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වෙනුවට ඇත්තේ එන්.සී.සී , එස්.එස් සී කෝල්ට්ස් වැනි දිස්ත්‍රික්කයැයි කුඩා දරුවන් පවා සිනහවෙමින් කියනවා.

මුහුණු පොතේ ෆෑන්ස් හා හේටර්ස්

මුහුණු පොතත් වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට වලට බලපෑම් කරන සාධකයක් බවට පත්ව තිබෙනවා. සමහර විට ක්‍රිකට් පන්දුවක් අතින් වත් අල්ලා නැති දැළි රැවුළවත් නොවැඩුණු නව යොවුන් වියේ දරුවන් මෙහිදී ක්‍රීඩකයන්ට නිර්දය ලෙස බැණ වදිනු හා අනවශ්‍ය ලෙස උළුප්පනු දැක ගත හැකියි. විශේෂයෙන් මේ වන විට විවිධ ක්‍රීඩකයන් අරභයා ෆෑන්ස්ලා හා හේටර්ස් ලා බිහිවී තිබෙනවා. ඔවුනට අවශ්‍ය ශ්‍රී ලංකාව තරග දිනනවා දකිනවාටත් වඩා තමා කැමති ක්‍රීඩකයා ලකුණු අතරට පත් වෙනු හා අකමැති ක්‍රීඩකයා ඉක්මණින් දැවී යනු දැකීමටයි. මේවා වලට අනවශ්‍ය ලෙස ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඈඳා ගන්නා අතර සමහර විටෙක බොරු චෝදනා පවා එල්ල කරනවා. ක්‍රීඩකයන්ටද හිත් පිත් ඇති අතර ඔවුන් හා ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් මුහුණු පොතේ සරනවා. දෙමව්පියන්ට පවා බණිමින් ඇති සටහන් දකින ක්‍රීඩකයින් මානසිකව වැටීම පුදුමයක් නොවේ. මෙලෙස මඩ ගැසීම ආරම්භ කිරීමට ඉණිම් දෙක තුනක් අසාර්ථක වීම ප්‍රමාණවත්. හොඳම උදාහරණය ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ‘මානසික විඩාව’ නිසා ඉන්දීය සංචාරයේ වසන් භාගයේ විවේක ගැන්වීමට සිදු වීම ගත හැකියි. නමුත් අනෙක් අතට ක්‍රීඩකයිනුත් ඔවුනට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමත් තවත් කෙනෙක්ට යන්නට හැකි අවස්ථාව තමාට ලැබී තිබෙන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නිසා උපරිමයෙන් ඒ සඳහා කැපවීමත් කළ යුතුයි. එසේ නැතිනම් මුහුණු පොතේ හෝ ක්‍රීඩාංගණයට යන ප්‍රේක්ෂකයා ප්‍රකෝපකාරීව හැසිරෙන විට එය 100% වැරදි යැයි කීමට නොහැකියි.

ශ්‍රී ලංකාවේ අසාර්ථක ක්‍රිකට් දැක්ම පුපුරා ගිය අවස්ථාව ලෙස පසුගියදා නිම වුණු ඉන්දීය සංචාරය සම්පූර්ණයෙන් පරාජය වීම හා පල්ලෙකැලේ දී ප්‍රේක්ෂක බෝතල් ප්‍රහාරයක් එල්ල වීම ගත හැකියි. ප්‍රේක්ෂකයන් ඒ තත්වයට පත් වීමට එක් පසෙකින් මුහුණු පොතේ සිදුවන නිර්දය උසිගැන්වීම් හේතු කාරක වුණත්, ඒ සඳහා ප්‍රේක්ෂකයන්ටම ඇඟිල්ල දිගු කළ නොහැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැරදි පාරේ යනු වසර දෙක තුනක්ම තිස්සේ ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටි නිසායි. මේ සියල්ලෙන්ම ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සම්පූර්ණ ව්‍යුහයේ වෙනසකට කාලය පැමිණ ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here