හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වන කිර්ති ගජනායක පාස්කු කොමිසම හමුවේ කළ අනාවරණය

0
96

පාස්කු ප්‍රහාර පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන පුර්ව දැනුවත් කිරීමේ ලිපිය කෙරෙහි එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතා වැඩි අවධානයක් යොමු කර නොමැති බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයෙකු වන කිර්ති ගජනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ  අනාවරණය කළේය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ හිටපු පොලිස්පතිවරයා විසින් අදාළ ලේඛනයට යොදා ඇති  ”For Necessary Action ” යන්න කිසිසේත්ම ඊට නොයෙදිය යුතු සටහනක් බවය.

2003 සිට 2011 වසර දක්වා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කිර්ති ගජනායක මහතා සාක්ෂි විමසීම සඳහා කොමිසම හමුවට අද කැඳවා තිබුණි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු සතු කාර්යභාරය කොමිසම හමුවේ පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලද විශේෂ තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා  දැනුවත් කිරීම සිය මුලික කාර්යභාරය බවය.

ඊට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ යන තනතුරට ජනාධිපතිවරයා සමග සෘජුව සම්බන්ධ වීමට දුරකථන පහසුකම් සපයා ඇති බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය .

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හුවමාරු වු පුර්ව දැනුවත් කිරීමේ ලේඛන සාක්ෂිකරුගේ අවධානයට යොමුකළේය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ එවකට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් එවකටට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත එවන ලද ලිපියේ අන්තර්ගත වු Eyes Only යන වදනින් කුමක් අදහස් වන්නේද යන්නය.

අතිශයින් රහසිගත තොරතුරක් කිසියම් එක් පුද්ගලයෙකුගේ දැනගැනීම සදහා පමණක් යොමු කිරීමේදී එවැනි සටහනක් යොදන බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි ලිපියක් ලද තැනැත්තා එහි අන්තර්ගතය අවබෝධ කරගත් පසු එය තවත් කෙනෙකුගේ  අවධානයට යොමු නොවන පිරිදි විනාශ කිරීම අනිවාර්ය බවය.

එසේම තම සේවාකාලය තුළ Eyes Only යනුවෙන් සදහන් කරමින් ලිපි යොමුකළේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාට පමණක් බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අදාළ ලිපියට එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා යොදා ඇති For Necessary Action යන සටහන කෙරෙහි සාක්ෂිකරුගේ අවධානය යොමු කළේය.

එහිදි සාක්ෂිකරු කියා සිටියේ තම මතයට අනුව මෙවැනි වටිනා බුද්ධි තොරතුරක් ඇතුළත් ලිපියකට For Necessary Action යන වදන කිසිසේත්ම නොයෙදිය යුත්තක් බවය.

For Necessary Action යනු පොලිසිය තුළ භාවිත වන ඉතාම සරල වචනයක් බව සදහන් කළ සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ ඒ තුළින් මෙම බුද්ධි තොරතුර අවතක්සේරු කිරීමකට ලක්ව ඇති බවය.

මෙවැනි ක්‍රියාවක් පහළ නිලධාරියෙකු සිදුකළා නම් ඇදහිය හැකි වුවද පොලිස්පතිවරයා වැනි ඉහළ තනතුරකින් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ලේඛනයේ ඇතුළත් ඉහත සඳහන් තොරතුර පිළිබඳව රහසිගතව පරීක්ෂණ සිදුකරමින් පවති යන වාක්‍ය තුළ මුල් බුද්ධි තොරතුර අවතක්සේරුවීමකට ලක්ව ඇත්ද යන්නය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ මෙම ලිපිය යොමු කරන අවස්ථාව වන විටත් මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම්වලට සහරාන් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබි ඇති බවය.

කෙසේ වෙතත් ප්‍රහාරයක් පිළිබඳව විදේශ බුද්ධි සේවයකින් කළ පු‍ර්ව දැනුවත් කිරීමෙහිද අදාළ නම් ඇතුළත්ව තිබියදි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන් සතුව පැවති තොරතුරු සහ විදේශ බුද්ධි සේවයෙන් ලද තොරතුරු තර්කානුකූලව ගළපා ඉදිරිපත් කර නොමැති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

එවැනි තර්කානුකූල ගැළපීමක් රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් තම ලිපියේ සිදුකර තිබුණේ නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැලැක්වීමට පැහැදිලි ඉඩකඩක් පැවති බව සාක්ෂිකරු පැහැදිලි කර සිටියේය.

මේ අතර ලෝහ වාත්තු කර්මාන්තකරුවන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඒ සිදුවන විමර්ශනයකට අදාළව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තකරුවන්ට තඹ සහ පිත්තල ලබාදීමේ ක්‍රියාදාමය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here