හැරී පොටර් මැජික් තොප්පිය සැබෑවක් වෙයි

0
150


අන්තර්ජාතික සාමාජීය රොබටික් තරගාවලිය (International Conference On Social Robotics) මෙවර පවත්වන ලද්දේ 11 වැනි වරටය. වසරකට වරක් පවත්වන මෙම තරගය පිණිස ආසියාව, යුරෝපය, ඇමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල විසින් සිය නිර්මාණ ඉදිරිපත් කරන අතර මෙවර එම තරගය සංවිධානය කරනු ලබන්නේ ස්පාඤ්ඤය විසින්ය. ඉකුත් 26 දා සිට 29 දා තෙක් පැවති එම තරගය පිණිස රටවල් 50 ක් නියෝජනය වන පරිදි විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් නව නිර්මාණ 80 ට ආසන්න ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ අතර තාක්‍ෂණය අතින් ඉහළින්ම පසුවන ජපානය, ඇමෙරිකාව, ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයක් එම තරගයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීම පිණිස විශ්මිත නිමැවුම් රැසක් ඉදිරිපත් කර තිබීම එම තරගයේ දකින්නට ලැබී ඇති විශේෂත්වයක් ය.

එම ඉදිරි පෙළ තරගකරුවන් සමග කරට කර තරගයක් පිණිස මෙවර ශ‍්‍රී ලාංකික සිසුන් පිරිසක් ද වූහ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නියෝජනය කරමින් එහි පරිගණක අධ්‍යානාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් ඒ සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ නිර්මාණය බවට පත්වන්නේ ලෝක ප‍්‍රකට ‘හැරි පොටර්’ චිත‍්‍රපට කතා මාලාවේ එන මැජික් තොප්පිය (Sorting Hat) නිර්මාණය කිරීමය. සාමාජීය රොබෝ සංකල්පය යටතේ ඔවුන් විසින් සිදුකරනු ලබන ඉහත සඳහන් නිර්මාණය පිණිස මෙවර පවත්වන ලද අන්තර්ජාතික රොබටික් තරගාවලියේ ප‍්‍රථම ස්ථානය හිමිවන අතර එවැනි ජයග‍්‍රහණයක් මෙරට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් දිනාගනු ලබන්නේ ප‍්‍රථම වරටය.

තමන් සතු නිර්මාණශීලී මනසත් විෂයානුබද්ධ දැනුමත් එකට මුසු කරමින් මෙම සමත්කම දැක්වීමට සමත් වන්නේ අදීෂ ගම්මන්පිල, අසේල විජේසිංහ, ටෙහානි වන්නිආරච්චි, විරාජි අමාජීව සහ දොවිනි ජයසිංහ යන විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන්ය.

පරිගණක විෂය ක්‍ෂේත‍්‍රය යටතේ කලක සිට සිදුකරන ලද පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස මුළුමනින්ම පරිගණකය ඇසුරෙන් ක‍්‍රියාත්මක එම ‘මැජික් තොප්පිය’ ඉකුත් අපේ‍්‍රල් මස මුල්වරට මෙරට ප‍්‍රදර්ශනය කර තිබෙන අතර එය ජාත්‍යන්තර රොබටික් තරගාවලිය පිණිස ඉදිරිපත් කර ඇත්තේ මෙරටින් ඒ සඳහා ලැබුණ ප‍්‍රතිචාරවල ප‍්‍රතිඵලයක් ලෙසය.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගැනීම පිණිස ඉකුත් දිනක එම සිසුන් පිරිස හා කතාබහ කිරීමේ අවස්ථාවක් උදාවිය. එහිදී කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස සිදුකළ එම නිර්මාණය පිළිබඳව එහි එක් සාමාජිකයකු වන අදීෂ ගම්මන්පිල විසින් අදහස් දක්වන්නට විය.

”…මුලින්ම අපේ නිර්මාණය මොකක්ද එය ලෝකයට වැදගත් වෙන්නෙ මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව හැඳින්වීමක් කරන්න ඕන. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් ඊට අමතරව පෞද්ගලිකව ගත්තත් අලූත් අලූත් නිපැයුම් බිහිකිරීමේ සමත් විශාල පිරිසක් ඉන්නව. නමුත් ප‍්‍රශ්නයකට තියෙන්නෙ ඒ බොහොමයක් නිර්මාණ රටක් ලෙස අපට අලූත් දෙයක් වුණාට ලෝකයත් එක්ක සංසන්දනය කරද්දි ඒ දේවල්වලට ලොකු වටිනාකමක් හිමිවෙන්නෙ නෑ. ඒකට එක හේතුවක් තමයි මේ වෙද්දි තාක්‍ෂණය පැත්තෙන් මුළු ලෝකයම ඉහළ දියුණුවක් ලබාගෙන තිබීම.

එහෙම තත්ත්වයක් තුළ දියුණුම රටවල් පවා දැන් වැඩි අවධානයක් යොමු කරන්නෙ සංකල්පමය දැනුම උපයන්න. සංකල්පමය වශයෙන් අලූත් දෙයක් සොයාගන්න පුළුවන් නම් ඒ දෙය තාක්‍ෂණයත් එක්ක මුහුකරන එක ලොකු දෙයක් විදියට මේ වෙද්දි දකින්නෙ නෑ. අපි අපේ නිර්මාණය වන මැජික් තොප්පිය (Sorting Hat) හරහා ලෝකයට අලූත් සංකල්පයක් ප‍්‍රදානය කරන්න සමත් වෙනව. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි කණ්ඩායමක් ලෙස අපව ජාත්‍යන්තර සම්මානයට ලක්වෙන්නෙ…”

විද්‍යාත්මක සොයාගැනීම් කිහිපයක් සහිතව සිදුකොට ඇති මෙම නිර්මාණයේ වැදගත්ම අංගයක් බවට පත්වන්නේ ලොව පුරා පවතින රෝගී තත්ත්වයක් වන ‘ඔටිසම්’ (Autism) රෝගය වැළඳී ඇති දරුවන්ගේ පහසුව පිණිස මෙය ක‍්‍රියාත්මක වීමය. ඒ අනුව ඔටිසම් රෝගී තත්ත්වයක් වැලඳී ඇත්ද? නැද්ද? යනුවෙන් මේ හරහා පහසුවෙන් හඳුනාගත හැක. ඊට අමතරව එම රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිසගේ පහසුව පිණිස ද (Interactive Robot) මෙම මැජික් තොප්පිය භාවිත කළ හැකිය.

ඒ හැරුණු කොට මොළයේ ක‍්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීම සහ එම දත්තයන් ගබඩාකර ගැනීමේ හැකියාව ද මෙම මැජික් තොප්පිය සතු තවත් සුවිශේෂී හැකියාවක්ය. එම දත්ත උපයෝගී කරගනිමින් රෝග නිශ්චය කිරීමේ හැකියාව සහ රෝග නිධානය පිළිබඳවත් රෝගී තත්ත්වයන් හේතුවෙන් යම් පුද්ගලයකු තුළ ඇතිවන අනාගත අවදානම් ආදිය පිළිබඳවත් මේ හරහා පූර්ව නිගමනයන්ට යා හැකිය. ලෝක ප‍්‍රකට හැරි පොටර් මැජික් තොප්පිය ආකෘතිය කරගනිමින් මෙවැනි නිර්මාණයක් සිදුකිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් අදීෂ ගම්මන්පිල පවසා සිටියේ ඒ හරහා ඔවුන් සිදුකරන ලද්දේ ”සංකල්පමය වෙනසක්” බවත් එය මේ වනවිට ලෝක අවධානයට ලක් වී ඇති බවත්ය.

සාමාජීය රොබෝ සංකල්පය කියල දෙයක් ලෝකයේ තිබෙනව. නමුත් රටක් ලෙස අපි ඒ සම්බන්ධයෙන් ප‍්‍රවීණත්වයට ඇවිත් නැහැ. දැනට වසර 5 කට පමණ පෙර තමයි මේ සංකල්පය අපේ රටට එන්නෙ. මේ හරහා සිද්ධ වෙන්නෙ රොබෝවරු…එහෙමත් නැත්නම් රොබෝ තාක්‍ෂණය සාමාන්‍ය සමාජය සමග සම්බන්ධ කරන එක. උදාහරණයක් විදියට ගත්තොත් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ගෙ පහසුව පිණිස ලෝකයේ ඇතැම් රටවල් මේ තාක්‍ෂණය පාවිච්චි කරනව. ඔටිසම් දරුවන්ගේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක් තමයි ඔවුන් සාමාන්‍ය සමාජය හා මුහුවෙන්න පවතින අකමැත්ත. ඊට විසඳුමක් ලෙස රොබෝ තාක්‍ෂණය හඳුන්වා දුන්නත් ඒ නිර්මාණයේ පවතින රළු පරළු බව දරුවන්ගෙ සිත් ගත්තෙ නැහැ.

ඔටිසම් රෝගය වැලඳී ඇති දරුවන්ගේ පහසුව පිණිස තාක්‍ෂණය භාවිත කළ හැකි වුවත් එහි තිබුණ ආකෘතිමය ස්වරූපය ඊට යම් බලපෑමක් කළා. ඊට විසඳුමක් විදියට තමයි ඒ අවශ්‍යතාව හඳුනාගනිමින් ආකෘතිමය වශයෙන් වෙනස් ‘මැජික් තොප්පිය’ හරහා අපි ඔවුන්ට සමීප වෙන්න උත්සාහ දරන්නෙ. ඇත්තටම මේක ලෝකයම පිළිගත්ත සංකල්පමය වෙනසක්. එදා…පසුගිය 26 වැනිදා ස්පාඤ්ඤ අගනුවර මැඞ්රිඞ්වලදී ලෝකයේ රටවල් 50 ක් අතරින් අපි ප‍්‍රථම ස්ථානයට පවත්වන්නෙ ඒ නිසයි කියල මේ වෙලාවෙ මතක්කර සිටිනව…”

නව නිපැයුම් ලෝකයට හඳුන්වා දෙන්නේ නිර්මාණශීලී මිනිසුන් විසින්ය. ඒ සඳහා නිර්මාණශීලී මනසක් මෙන්ම විෂයානුබද්ධ දැනුමත් එකසේ ඉවහල් වන්නේය. එහි අවසන් ප‍්‍රතිඵලය බවට පත් වන්නේ සමාජ ප‍්‍රගමනය පිණිස ඉවහල්වන අලූත් අලූත් දේ ඔවුන් විසින් ලෝකයට හඳුන්වාදීමය. ඉකුත් දිනක ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිරිමත් දරුවන් පිරිසක් ශ‍්‍රී ලංකාවට ආඩම්බරයක් එක් කරමින් ලෝකයක් හමුවේ සම්භාවනාවට පත්වන්නේ මෙතෙක් ලොව කිසිවෙක් නොකළ සුවිශේෂී හඳුන්වාදීමක් සිදුකරමින්ය.

එහි පුරෝගාමී මෙහෙවරක් සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා විසින්ය. සමාජීය රොබෝ සංකල්පය ඉහළින්ම ක‍්‍රියාත්මක ජපානයේ වසර ගණනාවක අත්දැකීම් සහිත ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා තමන් සතු දැනුම මෙරට දුවා දරුවන්ට නිර්ලෝභීව ප‍්‍රදානය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසය.

අදින් මාස අටකට පමණ එපිට දිනක මෙම මැජික් තොප්පිය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට මුලපුරන මෙම සිසුන් පිරිස එය මෙවර පැවති රොබටික් ජාත්‍යන්තර තරගය පිණිස යොමුකරනු ලබන්නේ online අයැදුම්පතක් හරහාය. එහි සිද්ධාන්තය සහ සංකල්පමය වටිනාකම පිළිබඳ සෑහීමකට පත්වන තරග සංවිධායකයන් රටවල් 50 ක් විසින් ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතරින් මූලික නිර්මාණ 10 අතරට තෝරාගන්නා අතර එහි අවසන් මහා තරගය පවත්වන ලද්දේ ඉකුත් 26 වැනි දිනය.

සඳහා සහභාගිවීම පිණිස එහි නිර්මාතෘවරුන් පසුගිය 24 වැනිදා ස්පාඤ්ඤය බලා පිටත්ව යන අතර ඔවුන්ව මෙම සුවිශේෂී ඇගයීමට ලක් වන්නේ එහිදීය. එම අසිරිමත් මොහොත මෙනෙහි කරමින් ඔවුන් පවසා සිටින්නේ සිය ජයග‍්‍රහණයත් සමග ලෝකයේ බොහෝ රටවලින් පැමිණ සිටි තරගකරුවන් තරග සංවිධායකවරයන් සහ විශේෂ ආරාධිතයන් එම නිර්මාණය අගයමින් අදහස් දැක්වූ බවත්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදීෂ ගම්මන්පිල,

”මේ ජයග‍්‍රහණයේ මූලික ගෞරවය ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා මහතාට හිමිවෙන්න ඕන. එතුමා තමයි ආරම්භයේ පටන් අපට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම සිද්ධ කරන්නෙ. ඒ වගේම ව්‍යවහාරික විද්‍යා පීඨයේ අනිකුත් ආචාර්යතුමන්ලා, ඒ වගේම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහත්වරුන්, ඒ වගේම විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය මේ සියලූ දෙනාම අපේ ජයග‍්‍රහණය පිණිස ලොකු මැදිහත්වීමක් සිද්ධ කරනව. රටක් ලෙස ශ‍්‍රී ලංකාවෙ නම කියල අපිව ජයග‍්‍රාහකයන් ලෙස නම් කරද්දී එදා අපි ලොකු සතුටක් මෙන්ම අභිමානයට පත් වෙනව.

මේ නිර්මාණය නැරඹූ අය අතර තාක්‍ෂණය පිළිබඳව උපරිම දැනුමක් සහිත අය හිටිය. ඔවුන් අපි ළඟට ඇවිත් අපේ නිර්මාණය ගැන ඒ සංකල්පය ගැන අගය කරමින් කතා කළා. මේ තරගයට නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවන් අතර ආචාර්ය උපාධිය පිණිස කරන ලද නිර්මාණ ඉදිරිපත් කළ අය පවා හිටිය. අපි සාමාන්‍ය උපාධි අපේක්‍ෂකයන් ලෙස අපේ නිර්මාණයක් ඉදිරිපත් කරල ඒ වගේ ජයග‍්‍රහණයක් ලබාගැනීම ගැන ඔවුන් නිහතමානීව සතුටු වුණා. ඇත්තටම එතන හිටිය කවුරුවත් මුලින් හිතුවෙ නෑ අපි මේ වගේ සම්මානයට ඇගයීමට ලක්වේවි කියල. අවසාන වශයෙන් යමක් කියනව නම් මේ ජයග‍්‍රහණය අප විතරක් නොවෙයි රටක් ලෙස ශ‍්‍රී ලංකාව ලබාගත් ජයග‍්‍රහණයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි…”

රටක් ලෙස සතුටුවිය හැකි තැනක් දක්වා අපව රැගෙන යමින් ඉකුත් දිනක මෙම සිසුන් පිරිස නැවත මවුබිමට ළඟා වූ අතර ඔවුන්ගේ අපේක්‍ෂාව බවට පත්ව ඇත්තේ ඉදිරියේදී තව තවත් මෙවැනි නිර්මාණ සිදුකිරීම හරහා රටට කීර්තියත් ඒ හරහා සමාජ සුවසෙතත් උදාකර දීමය. කළ යුත්තේ විද්‍යාර්ථීන් ලෙස ඒ සඳහා පෙරමුණ ගෙන තිබෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් එම නිර්මාණශීලීන් තව තවත් දිරිමත් කිරීමය. අදාළ බලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමුවේ නම් නිසැකවම පැවසිය හැකි කරුණක් වන්නේ ඔවුන් නැවත නැවතත් ලෝකය ජයගන්නා බවය.

රුවන් ජයවර්ධන
Source – දිවයින



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here