හතළිස් නව වසරකට පෙර කිරිබත වෙනුවට මළබත කෑ සිංහල අවුරුද්ද

0
110

දැනට පෙනෙන හැටියට නම් මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයට නොව යාන්තමට කන්නටවත් තිබෙන ඉඩකඩ හොඳටම අඩුය. ඒ නැකත්වල හෝ වෙන ගැටලුවක් නිසා නොවේ. කොවිඩ් 19 වෛරසය නිසාය. උත්සව රැස්වීම් සංගීත සංදර්ශන, නාට්‍ය රඟ දැක්වීම, චිත්‍රපට ප්‍රදර්ශන මුළුමනින්ම ඇනහිට තිබේ. එසේ නතර කර ඇති උත්සව ගොඩට අප්‍රේල් මැද දී එකතු වනු ඇත්තේ අවුරුදු උත්සව, අවුරුදු කුමාරිය තේරීම, හිසතෙල් ගෑමේ උත්සව ආදියයි. අවුරුද්දට නෑගම් යන්නට ඉඩ නොලැබෙනු ඇත. ඒ කොරෝනා නිසා රට පුරා වරින් වර ඇඳිරි නීතිය පනවන නිසාය. කෙසේ නමුදු මින් පෙර ලංකාවේ සිංහල අලුත් අවුරුද්ද ජයට කන්නට බැරි වූ අවස්ථා දෙකක් ගැන ඉතිහාසයේ සඳහන්ය.

සියවස් ගණනාවක් පුරා පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සවය පළමුවරට පැවැත්වීමට නොහැකි වී ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදීය. ජපන්නු ලංකාවට බෝම්බ දැම්මේ අප්‍රේල් මාසයේදීය. 1942 අප්‍රේල් 5 දින ජපන්නු කොළඹට බෝම්බ දැමුවේ පාස්කු ඉරිදාවේය. ඉන් දින කිහිපයකට පසු ජපන්නු ත්‍රිකුණාමලයටද බෝම්බ දැම්මේය. මේ හේතුව නිසා රට්ටු සිංහල අවුරුද්දේ එළියට බැසීමට බිය වූවෝය. ගෙවල් ඇතුළේ සිට අවුරුදු චාරිත්‍ර පුළු පුළුවන් හැටියට ඉටු කළෝය. ඉන් අවුරුදු 29කට පසුව 1971දීත් සිංහලයාට සිංහල අවුරුද්ද සමරන්නට නොහැකි විය. ඒ 1971 අප්‍රේල් කැරැල්ල නිසාය. දැන් ඊට හරියටම අවුරුදු හතළිස් නවයකට පසු යළිත් වතාවක් සිංහල අවුරුද්ද ගෙදරට වද්දා නොගැනීමට ලංකාවාසීන්ට සිදුවී තිබේ.

71 අප්‍රේල් කැරැල්ලට පෙර සෑම අවුරුද්දකම අප්‍රේල් 10 වැනිදා ගාල්ලේ ගිංතොට මහගෙදරට ගොස් අවුරුදු කා අප්‍රේල් 15 වැනිදා කොළඹ ඒම මාගේ සිරිත විය. එම සිරිත ඇරඹුණේ 1965දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුවය. 65 සිට මා​ගේ නවාතැන වූයේ බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ කුලී නිවසය. එබැවින් අප්‍රේල් මාසයේදී ගමට යාම මා ඇතුළු එකල කොළඹ නවාතැන් ගෙන සිටි බෝඩිංකාරයන්ගේ සිරිත විය. 1970 සිංහල අලුත් අවුරුද්දේත් වෙනදා මෙන් ගිංතොට මහගෙදර ගොස් අවුරුදු කෑ මම 15 වැනිදා කොළඹ ආවෙමි. ඒ නිසාම 71 අප්‍රේල් මුලදිත් මා කල්පනා කළේ වෙනදා මෙන් ගමට ගොස් අවුරුදු කා අප්‍රේල් 15 වැනිදා කොළඹ එන්නටය. 1971 අප්‍රේල් කැරැල්ල වූ සමයේ මා ඇත්ත පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකි.

‘ඇත්ත’ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පතයි. එකල කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ ද එවකට පැවැති රජයේ නිවාස ඇමැති වූද පීටර් කෙනමන්ගේ බිරිඳ වූ මෝස් කෙනමන් අභාවප්‍රාප්ත වූයේ 1971 අප්‍රේල් 3දාය. ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් 5 දින බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

එම අවමඟුලට සහභාගි වීම සඳහාත් එය පුවත්පතකට වාර්තා කිරීම සඳහාත් ඡායාරූප ශිල්පී ඊ.ආර්. ගුණසේකර සමග මමද කනත්තට ගොස් සිටියෙමි.

විශාල පිරිසක් සහභාගි වූ එම අවමඟුල් උත්සවයට කැබිනට් ඇමැතිවරු ද උප ඇමැතිවරු හා මන්ත්‍රීවරුද දේශපාලන පාක්ෂිකයෝ රැසක්ද පැමිණ සිටියහ.

සභානායක මෛත්‍රිපාල සේනානායක, සංචාරක ඇමැති පී. බී. ජී. කළුගල්ලේ, තැපැල් ඇමැති වෙල්ලයියා කුමාරසූරියර් ඇතුළු කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් එහිදී කතාබහක යෙදී සිටිනු දුටු මාද ඒ අසලට ගියේ එදින කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති බැවින් ඔවුන් ඒ ගැන යම් කතාබහක් කරනු ඇතැයි සිතාගෙනය.

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් පිරිසක් ඊට පෙරදා (අප්‍රේල් 4) වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දී ඇති බවත් එදින (අප්‍රේල් 5) රාත්‍රියේදී දිවයිනේ සියලුම පොලිස් ස්ථාන හා රජයේ වැදගත් ස්ථානවලට පහර දීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට රජය තීරණය කළ බවත් එම කතාබහට සවන් දීමෙන් මට දැනගත හැකි විය.

මෝස් කෙනමන් මහත්මියගේ .අවමඟුල නිමවූ විගස මා කාර්යාලයට ගොස් මෙම කතාබහ පිළිබඳව ‘ඇත්ත’ පත්තරේ ප්‍රධාන කර්තෘ බී. ඒ. සිරිවර්ධන හා ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න දැනුවත් කළෙමි. එම තොරතුරුද ඇතුළත් කර ‘ඇත්ත’ පත්තරේ මුද්‍රණයට ලෑස්ති විය. අප මේ ගැන කතා කරමින් සිටියදීම සවස 6 ට ගුවන්විදුලි ප්‍රවෘත්තිවලින් ප්‍රකාශ වූයේ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති බවය. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පාඨකයන්ට පත්තරේ මිලදී ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත.

මේ නිසා පුවත්පත මුද්‍රණය කිරීම නතර කරන ලදී. දින දෙක, තුනකට පසු ඇඳිරි නීතිය පස්වරු 2 ට ආරම්භ කොට පසුදා අලුයම 6 දක්වා දිගටම පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබිණි.

එබැවින් අප පුවත්පත සකස් කොට මුද්‍රණය කිරීම රාත්‍රි කාලයේදී කළෙමු. ඒ සඳහා සහභාගි වූයේ බොරැල්ලට නුදුරු ප්‍රදේශවල පදිංචිව සිටි මා ඇතුළු සුළු පිරිසකි. පත්‍රය බෙදා හැරීම කොළඹ, ගාල්ල, ගම්පහ දිස්ත්‍රික්කවලට පමණක් සීමා විය.

මේ තත්ත්වය යටතේ අපට දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවූයේ ‘ඇත්ත’ කාර්යාලයේමය. ‘ඇත්ත’ කාර්යාලයට නුදුරින් පිහිටි චන්ද්‍රලේඛා මාවතේ කාමරයක නතර වී සිටි මා දිනපතා පස්වරු 2 ට පෙර කාර්යාලයට පැමිණ ආපසු පිටව ගියේ පසුදා උදේ 6 න් පසුවය.

මේ වනවිට රටපුරා කැරළිකාර තත්ත්වයක් පැවැති අතර පොලිස් ස්ථාන 12 කට පමණ කැරළිකරුවන් පහර දී තිබිණි. කැරළිකරුවන්ගේ බලය වර්ධනය වී තිබූ ප්‍රදේශවල පොලිස් ස්ථාන 48 ක් උපක්‍රමශීලී ලෙස අත්හැර දමා පසු බැසීමට පොලිසියට සිදුවී තිබිණි. මේ වනවිට දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 35 ක බලය කැරළිකරුවන් සතුවිය.

ජවිපෙ කැරළිකරුවන්ගේ මරණ තර්ජන නිසා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ක්‍රියාකාරීන් රැසක් රැකවරණ පතා බොරැල්ලේ කොටා පාරේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ එහි නතර වී සිටියහ. ‘ඇත්ත’ කාර්යාලය කොමියුනිස්ට් පක්ෂ මූලස්ථාන භූමියේම පිහිටා තිබිණි.

පිටතින් පැමිණ සිටි 100 කට අධික පිරිසට හා ‘ඇත්ත’ කාර්ය මණ්ඩලයටද මෙම කාලය තුළ ආහාරපාන කොමියුනිස්ට් පක්ෂය විසින් සපයන ලදී. එම කටයුතු භාරව සිටියේ ‘ඇත්ත’ පත්‍රයේ ප්‍රකාශකයා වූ ඇම්. ඇල්. ආර්​ෙනෝලිස් අප්පුහාමි සහෝදරයාය.

ඔහු විසින් සහල්, පොල්, එළවළු, තුනපහ, මාළු, කරවල ආදිය ගෙන එන ලද අතර පිටතින් පැමිණ සිටි පිරිස් කණ්ඩායම් වශයෙන් බෙදී ලිප් බැඳ විශාල භාජනවල ආහාර පිසූහ. මේ නිසා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල පිටුපස භූමිය විශාල කුස්සියක් බවට පත්වී තිබිණි.

මේ අතර අප්‍රේල් 13 හා 14 දිනවලට සිංහල අලුත් අවුරුද්ද යෙදී තිබූ නමුත් රටේ කිසිදු තැනක අවුරුදු සිරියක් දක්නට නොවීය. ගෙවල් ඇතුළේ පමණක් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කෙරුණි. කැරල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන්ගේ ගෙවල්වල අවුරුදු කිරිබත පිසුණේ නැත. ඒ එම තරුණ තරුණියන් සොයා ආරක්ෂක හමුදාවන් ගම් පීරමින් සිටින නිසාය. ආරක්ෂක අංශ අතින් ඝාතනය වූ තරුණ තරුණියන්ගේ මළසිරුරු ඇතැම් ගෙවල්වලට ගෙනාවේ සිංහල අලුත් අවුරුද්ද දවසේය.

කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් නිවෙස්වලින් පලාගොස් තිබීමත් තවත් පිරිස් පොලිසියට භාරවීමත් හේතුවෙන් බොහෝ දෙමව්පියන් පසුවූයේ හැඬූ කඳුළෙනි. කිරිබත කෙසේ වෙතත් එම ගෙවල්වල දින ගණනාවක් යනතුරා බතක් පිසුණේ නැත.

රටපුරා ගමනාගමනය අඩපණ වී තිබිණි. සෑම ප්‍රදේශයකම වාගේ යුද හමුදා සහ පොලිස් මුර පොළවල් හා මාර්ග බාධක පිහිටුවා තිබූ බැවින් වෙනදාක මෙන් ගිංතොට මහ ගෙදරට යාමට අවස්ථාවක් නොවීය.

​දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වලට වී ආහාර පිසීම, ආහාර අනුභව කිරීම ආදී චාරිත්‍ර ඉටුකළහ. ‘ඇත්ත’ කාර්යාලයේ කොටුවී සිටි අපට අවුරුදු දිනයේ අල්ලපු වැටේ පිහිටි නිවෙසේ පදිංචිව සිටි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු වූ රාජා ප්‍රනාන්දු විසින් කිරිබත් සංග්‍රහයක් පවත්වන ලදී. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ වසරේ අපට ලැබුණු එකම සංග්‍රහය එය විය.

එම දිනවල අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩ අලෙවිය සිදු කෙරුණේ සමුපකාර සමිති මගිනි. පෞද්ගලික වෙළෙඳසල් වසා තිබූ අතර විවෘතව පැවැති වෙළෙඳසල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ නොවීය. ඇඳිරි නීතිය ලිහිල්ව පැවැති පෙරවරු 6ත් පස්වරු 2ත් අතර කාලයේ මහජනයා සමුපකාර වෙ​ළෙඳසල් වෙත ගොස් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලයට ගත් නමුත් ඒවායින්ද එක් අයකුට නිකුත් කරනු ලැබුවේ සීමිත භාණ්ඩ ප්‍රමාණයකි.

එම නිසා බොහෝදෙනා අවුරුද්ද වෙනුවෙන් අසල්වැසි නිවාස වෙත කෑම පිඟන් යැවීමද 1971 අවුරුදු සමයේ සිදු නොවීය. ප්‍රවාහන සේවා අඩාළවීමත් දවසේ වැඩි කාලයක් ඇඳිරි නීතිය පැවතීමත් නිසා නෑහිතවතුන් බැලීමට යෑමෙන් වැළකී නිවෙස් තුළට වී සිටීමට බොහෝදෙනාට සිදුවී තිබිණි.

මෙම තත්ත්වය මැයි මාසය අවසන් වනතුරුද පැවැති බැවින් 1971 වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවට සිංහල අලුත් අවුරුද්ද පමණක් නොව වෙසක් උත්සවයද අහිමිවිය. මේ සිද්ධිය වී අදට (5 දා) අවුරුදු හතළිස් නවයකි. හැත්තෑ එකේ කැරැල්ලේදී විසිදහසක් පමණ තරුණ තරුණියන් පිරිසක් මියගිය බව සඳහන්ය.

රටේ කැරැල්ලක් නැති මුත් මේ අප්‍රේල් ද අප සිටින්නේ 71 අප්‍රේල් මාසයේ රටේ තිබුණ තත්ත්වයට සමාන පරිසරයකය. රට පුරා ඇඳිරි නීතියය. අවුරුද්දට ඇඳුමක් ගන්නටවත් මිනිස්සු එළියට බහින්නේ නැත. එදා රට්ටු තුවක්කුවට බිය වූවෝය. අද කොරෝනාවට බිය වීලාය. වෙනසකට ඇත්තේ එදා මෙන් විසිදහසක් මිය නොයෑම පමණි. එය එසේම වේවා! යැයි අලුත් අවුරුද්දේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම බවට සැකයක් නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here