සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

0
55

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ තිරිඟු පිටි නිෂ්පාදකයන් ලෙස ප්‍රචලිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් “COVID-19 Safety Management Systems”  ප්‍රමිති තත්ත්ව සහතිකය ප්‍රදානය කරන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින් ඉහළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලියක් සහ ඉහළ සෞඛ්‍ය ප්‍රමිති තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා සිදුකළ කැපවීම වෙනුවෙන් මෙම ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීම සිදුවිය.

ස්වාධීනව පවත්වාගෙන යන සංවිධානයක් විසින් මෙවන් සහතිකයක් ලබාදීම තුළින් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය සිය සමාජ වගකීම් නිසි පරිදි පවත්වාගෙන යාම සහ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ නිවැරදි සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන් සහතික කරමින් සිය නිෂ්පාදන සේවා පවත්වාගෙන යාමට කළ කැපවීම මනාව පැහැදිළි වේ. මෙහිදී ආයතනය වෙත රැගෙන එන නිෂ්පාදන, පවත්වාගෙන යන සියලු සේවා, පිටස්තර පාර්ශවයන් සමඟ සිදුකරන සියලු ක්‍රියාකාරකම් සහ ආයතනයේ සේවය කරන සේවකයන්ගේ සිට ආයතනයට පැමිණෙන අමුත්තන් දක්වා ආයතනය තුළ සිදුකරන සෑම සියලු කටයුත්තකදීම අදාළ නිවැරදි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය කටයුතු කළේය. ස්ථාපිත කළ ප්‍රශස්ථ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය මඟින් ආයතනයේ සේවකයන්ගේ පවුලේ සාමාජිකයන්, සමීප සමාජයට සහ ඔවුන් හරහා රටටම කොවිඩ්-19 වසංගතය පැතිරයාමේ අවදානම අවම කරමින් සේවකයන්ගේ යහපත් මානසික තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ සේවක මණ්ඩලයේ අඩුවීමක් තුළින් සිදුවන මෙහෙයුම් අවදානම අවමකිරීමට ආයතනය අපේක්ෂා කළේය. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනයට මෙම කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය, සමස්ත කළමනාකරණ ආකෘතිය සහ පවතින කළමනාකරණ ක්‍රමවේදය සමඟ මනාව ඒකාබද්ධ කරමින් සමගාමීව පවත්වාගෙන යාමට හැකිවීම තවත් සුවිශේෂී කාරණාවක් වේ. මෙම සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීමත් සමඟ නිෂ්පාදන සහකරුවන්ගේ පවා විශ්වාසය වර්ධනයවීම නිසා ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලියේ ව්‍යාප්තියට ඒ හරහා මනා පිටුවහලක් ලැබිණි. ඉහළ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයක් පවත්වා ගන්නා ගමන්ම ආයතනය විසින් කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද කළමනාකරණ පද්ධතිය ක්‍රමාණුකූලව යාවත්කාලීන කිරීම ද සිදුකළ අතර අනාගතයේ ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි අවශ්‍ය ශක්තිමත් නව සංශෝධනයන් ද හඳුන්වාදෙනු ලැබීය.

මාර්තු මාසයේ සිට කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය නැතිකිරීම සඳහා අනුගමනය කළ දුරස්ථීකරණ ක්‍රමවේදයන් නිසා ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ දී සිය නිෂ්පාදන මෙහෙයුම්වලට සිදුවන සෘණාත්මක බලපෑම අවම කිරීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක තත්ත්වයන් සහතික කිරීමට ආයතනය කටයුතු කළේය. වසංගත තත්ත්වය ආරම්භයේ සිටම ආයතනයේ ඇඹරුම් යන්ත්‍ර පැය විසිහතර පුරා ක්‍රියාත්මකවීමට අවශ්‍ය සේවක ධාරිතාව පවත්වාගැනීම සඳහා දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරමින් සහ සමස්ත ආයතනයම කොවිඩ්-19 වෛරසය රහිත ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය පෙරමුණ ගනු ලැබීය. මේ හේතුවෙන් විශාල නිෂ්පාදන පරාසයක පැතිරුණු සිය 7 Star සන්නාමයේ නිෂ්පාදන නොකඩවා රටේ ජනතාවට ලබාදීමට සහ ලොක්ඩවුන් කාලවකවානුව තුළ ජනතාවගේ අනේකවිධ ආහාර අවශ්‍යතාවයන්ට වුවමනාකරන තිරුඟු පිටි වර්ග සපයමින් රටම පෝෂණයෙන් පුරවාලන්ට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනයට හැකියාව ලැබිණි.

පිරිනැමුණු තත්ත්ව සහතිකය පිළිබඳ සිය අදහස් දැක්වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනයේ තත්ත්ව ආරක්ෂණ ප්‍රධානී හේමානී ගුණතිලක,“ පසුගිය වසර 12 තුළ අපි අපේ නිෂ්පාදන මෙහෙයුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යනවා, මේ හැම වෙලාවකදීම අපි අපේ මූලික අවධානය යොමුකළේ පාරිභෝගිකයන්ගේ සහ සහකරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීමටයි. රටට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාදීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහගුණ පෝෂණය කිරීම අපේ මෙහෙවරයි, එමඟින් අපේ ආයතනික පොරොන්දුව වූ ‘දේශයේ පෝෂණය’ යන්න සැබෑවක් කරන්න අපි කටයුතු කළා. අපේ ආයතනයේ සේවය කරන සෑම සේවක කණ්ඩායමක්ම මේ සහතිකය ලබාගැනීම වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සිවී වැඩකළා. සති 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත දී අපිට ඒ අභියෝගය සාර්ථකව ජයග්‍රහණ කරමින් මේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිති තත්ත්ව සහතිකය ලබාගන්න පුලුවන් වුණා. පසුගිය කාලය පුරාම අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් එක්ක සමීපව වැඩකරමින් ඉන්නවා, ලංකාවේ මෙම සෞඛ්‍ය ප්‍රමිති සහතිකය ලබාගත් පළමු තිරිඟු පිටි නිෂ්පාදන ආයතනය සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය බව අපිට ආඩම්බරයෙන් කියන්න පුලුවන්.”

කොළඹ වරායේ පිහිටි අති නවීන යන්ත්‍ර සූත්‍රවලින් සැඳුම්ලත් යන්ත්‍රාගාරයක සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය, සමස්ත ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවී ඇති බේකරිවලට, කෑම සැල්වලට, හෝටල්වලට, නිවසේ අවශ්‍යතාවයන්ට සහ තිරිඟු පිටි යොදාගන්නා ආයතනවලට අවශ්‍ය විවිධ වර්ගයේ තිරිඟු පිටි නිපැයුම් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය, ලොවපුරා තිරිඟු නිපදවන රටවල්වලින් වඩාත් උසස් තත්ත්වයේ පවතින තිරිඟු පමණක් තම නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගනී. Buhler තිරිඟු පිටි නිෂ්පාදන තාක්ෂණය භාවිතා කරමින් ලොව විශිෂ්ට වෘත්තීය නිපුණතාවයක් ඇති සේවක මණ්ඩලයකගේ දායකත්වය ඇතිව රටට අවශ්‍ය විශාල පරාසයක පැතිරුණු සෑම තිරිඟු පිටි නිෂ්පාදනයක්ම වඩාත් නැවුම්ව, සහ පරිපූර්ණ පෝෂණ යහගුණයකින් යුතුව නිපදවීම සඳහා මෙම ආයතනය වෙහෙසී ක්‍රියාකරයි.

සීමාසහිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පෞද්ගලික සමාගම යනු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ඩුබායි දේශයේ අල් ගුරේර් සමාගම විසින් ආයෝජනය කරමින් ආරම්භ කළ ව්‍යාපෘතියකි. බේකරි, හෝටල්, කර්මාන්ත සහ නිවාස වලට අවශ්‍ය තත්ත්වයෙන් උසස්, පෝෂණීය සහ පුළුල් නිෂ්පාදන පරාසයක් සහිත තිරිඟු පිටි වර්ග සමස්ත ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ලබාදෙයි. කොළඹ වරායේ පිහිටි අති නවීන යන්ත්‍රෝපකරණ වලින් සමන්විත පිටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම උසස් තත්ත්වය සහ ආරක්ෂාව සහතික කරමින් ඉහළ ප්‍රමිතියේ තිරිඟු පිටි නිෂ්පාදන සිදුකරයි. සෙරන්ඩිබ් ආයතනය ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2005, FSSC 22000, BS OSHAS 18001:2007  තත්ත්ව සම්මාන ලබාඇත. සිය මෙහෙයුම් ක්‍රියාවලිය තුළදී ජලය සහ බලශක්ති සංරක්ෂණය තිරසර ලෙස භාවිතා කරමින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හරහා පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමට නිරන්තර කැපවීමක් සිදුකරයි.

 

ඡායාරූප විස්තරය: සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන් ඉහළ තත්ත්වයකින් සහ මනා ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කාර්යභාරයන් ඉටුකිරීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් “COVID-19 Safety Management Systems” තත්ත්ව සහතිකය ප්‍රදානය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here