සිම්බාබ්වේ සංචාරයේදී කුසල් ලකුණු අතරට

0
104


තේරීම් කමිටු ප්‍රධානි අසන්ත

පිතිකරුවකු ලෙස දැඩි පසුබෑමකට ලක්වී සිටින කුසල් මෙන්ඩිස් එළැඹෙන සිම්බාබ්බේ සංචාරයේදී යළි හිස ඔසවනු ඇතැයි තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් මහතා විශ්වාසය පළ කරයි.

ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා මේ මස 16 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ දිනමිණ කළ විමසුමකදී අසන්ත ද මෙල් මහතා මේ අදහස් පළ කළේය.

පසුගිය ඉන්දීය සංචාරයට කුසල් මෙන්ඩිස් රැගෙන ගියේ සිම්බාබ්වේ සංචාරයට සූදානම්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට බවත්, ඔහු එහිදී පිහිහරඹ පුහුණුකරු සමග විශ්වාසනීය අයුරින් පිතිහරඹයේ නිරතවනු දැකගත හැකිවූ බවත් අසන්ත ද මෙල් මහතා කීවේය.

‘මං හිතන හැටියට කුසල් මෙන්ඩිස් තමයි ඉදිරියේදී ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ අංශයෙන් වැඩි වගකීමක් දැරිය හැකි පිතිකරුවා වන්නේ. ඒ බව පුහුණුකරු මිකී ආතර් පවා විශ්වාස කරනවා. මගේ විශ්වාසය නම් සිම්බාබ්වේ සංචාරයේදී කුසල් නැවත ලකුණු අතරට ඒවි කියලයි.‘ ඔහු කියා සිටියේය.

කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් ක්‍රීඩාවේ මුහුණුවර තුනේදීම දක්ෂතා පෙන්නුම් කළ හැකි බව කියා සිටි අසන්ත ද මෙල් මහතා ඔහු අංක 4 ස්ථානයේ නිත්‍ය පිතිකරු ලෙස කටයුතු කිරීමට සුදුසු බව කීවේය.

විස්සයි20 තරග බිමේ දී ශ්‍රී ලංකා පිලේ වැඩිම අර්ධ ශතකලාභි පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුව කුසල් මෙන්ඩිස් විස්සයි20 අර්ධ ශතක 5ක් වාර්තා කර ඇති බව බොහෝ දෙනකුට අමතක බවත් තේරීම් කමිටු ප්‍රධානියා සඳහන් කළේය.

‘කුසල් විස්සයි20 ඉනිම් 24කදී අර්ධ ශතක 5ක් රැස් කර තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස් ඉනිම් 58කදි අර්ධ ශතක 5ක් රැස් කර තිබෙනවා. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම විස්සයි20 අර්ධ ශතක රැස් කළ කුසල් ජනිත් අර්ධ ශතක 11ක් රැස් කළේ ඉනිම් 44කදියි. කුසල් මෙන්ඩිස්ගේ පන්දුවට පහරදීමේ සාමාන්‍යයත් (striking rate) ඉහළ තලයකයි තිබෙන්නේ. එය 133ක් පමණ වෙනවා. ඉතින් එවැනි පිතිකරුවකු අපි පරිස්සමින් රැකබලා ගත යුතුයි.‘ ඔහු කියා සිටියේය.

කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹයේ සුළු දුර්වලතා කිහිපයක් ඇති බවත්, මේ වනවිට පිතිහරඹ පුහුණුකරු සමග එක්ව ඔහු එය නිවැරැදි කරමින් සිටින බවත් කී අසන්ත ද මෙල් මහතා කුසල් මෙන්ඩිස්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ දැමිය යුතු බවත් කීවේය.

ශ්‍රී ලංකා පිලේ පුහුණුවීම් අද ඇරැඹෙන අතර එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී වේගපන්දු යවන සුරංග ලක්මාල් යළි කණ්ඩායමට එක්වී සිටින බව තේරීම් කමිටු ප්‍රධානියා කීවේය.

‘අපි මේ සංචාරයේදී වෙනසක් කරන්න හිතුවේ නෑ. පාකිස්තාන ටෙස්ට් සංචාරයට ගිය කණ්ඩායම තමයි යන්නේ. අනික මේ තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වෙන්නෙත් නෑ‘ අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.

සිම්බාබ්වේ සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති අතර එය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සිම්බාබ්වේ සංචාරයට ඇතුළත් ටෙස්ට් තරග 2ම හරාරේ නුවරදී පැවැත්වෙන අතර පළමු ටෙස්ට් තරගය මේ මස 19වැනිදා සහ දෙවැනි ටෙස්ට් තරගය මේ මස 27 වැනිදා ආරම්භ කෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here