විල්පත්තු කල්ලාරු රක්‍ෂිතයේ නැවත පදිංචි කිරීම් කලේ බැසිල් රාජපක්‍ෂයි.. මා උදවු කලා පමණයි..- බදියුදීන් කොමිසමට කියයි..

0
18


විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (21) දෙවන දිනටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබාදුන්නේය.

එහිදී කොමිසම මන්ත්‍රිවරයාගෙන් විමසුවේ, ඔබ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම භාරව සිටි අමාත්‍යවරයාව සිටිය දී යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ පිරිසක් නැවත පදිංචි කර ඇත්ද යන්නය.

එයට පිළිතුරුදෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ, “උතුරු පළාතේ 2% යි සිංහල ජනතාව ඉන්නේ, 5%ක් මුස්ලිම් ජනතාව ඉන්නේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේ ලක්ෂයක් පමණ මුස්ලීම් ජනතාව තම ගම්බිම්වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේ දී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම් පටන් ගත්තේ. මම එවකට විෂයභාර අමාත්‍යවරයා නෙමේ. නමුත් මම එම වැඩපිළිවෙළට සහාය දුන්නා. මොනරාගල, හම්බන්තොට ආශ්‍රීතව ජිවත්වු සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝගස්වැව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. ඒ ප්‍රදේශවලත් අවුරුදු 100 කට වඩා පැරණි විශාල ගස් තිබුණා. නැවත පදිංචි කිරීම්වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවාට විරුද්ධ පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු – කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම එහි ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා,” යැයි මන්ත්‍රිවරයා කොමිසමට පැවසීය.

මන්ත්‍රිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයෙකු, කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයකි.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඊයේ (20) පළමුවරට පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී කොමිසම විමසුවේ සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ආමි මොහිදින්ව CID කණ්ඩායක් මුණගැසුනු බවත්, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔබ දැනසිටියා ද යන්නය.

එහිදී සාක්ෂිකරු පැවසුවේ, ” ඔය කියන නිලධාරින් පාසිකුඩා ප්‍රදේශයට යන්න අවසර ගත්තේ මගෙන්. ඒත් ආමි මොහිදින් වගේ අයෙකු හමුවූ බවක් මම දැනුවත් නැහැ,” යනුවෙනි.

එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ, “හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා පණිවුඩයක් දිලා තියෙනවා 21 පල්ලි යන්න එපා කියලා. දැනට ඇති තොරතුරු අනුව ආමි මොහිදින් සොයා පාසිකුඩා ගිය CID කණ්ඩායමේ සිටි පොලිස් සැරයන් නන්දලාල් ප්‍රහාරයට පෙර 20 වෙනිදා රාත්‍රී 8 ට පමණ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට කතා කරලා තියෙනවා. විය හැකි දේ වෙන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා යම් දෙයක් දැනගත්තේ පොලිස් සැරයන් නන්දලාල්ගෙන් විම. නමුත් පොලිස් සැරයන් නන්දලාල් 21 ප්‍රහාරයක් වන බව දැනගත්තේ කෙසේද?” යන්නය.

ඊට සාක්ෂිකරු පැවසුවේ “ස්වාමිනි, ඔහු දැනගත්තු විදිය මම දන්නේ නැහැ” ලෙසය.

සාක්ෂිකරු එහිදී තවත් පැහැදිලි කිරීමක් කළේය.

“සහරාන් 2017 – 2018 වෙද්දි තමයි ප්‍රහාරයක් සිදුකළ යුතුයි කියන තැනට යොමුවෙලා තියෙන්නේ. සහරාන් විවිධ දේවල්වලට උත්සාහ කර තිබුණත් ඒවා සාර්ථක වෙලා නෑ. එවිටයි සාදික්ට කියලා තියෙන්නේ බුදු පිළිමයකට හෝ ගලකින් ගහන්න කියලා. දේශනවලට සහභාගී වූ බොහෝ අය පළමුව ඉදලා තියෙන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් පවතින විදෙස් රටකට ගිහින් සටන්කාමියෙක් වෙන්න. ඒත් සහරාන්ගේ දේශන ඇහුවාම ඔවුන් මේ රටේම මරාගෙන මැරෙන්න කැමැත්ත පළකරලා තියෙනවා. 2019 මුල දී සහරාන් තව දරුවෙකු ලබාගැනීමට ඔහුගේ බිරිඳව නාරි වෛද්‍ය වරයෙකුට යොමු කරලත් තියෙනවා. අපි ඒ නාරි වෛද්‍යවරයා හරහාත් සහරාන් අත්අඩංගුවට ගන්න සැලසුම් කළා. මේ කරුණුත් එක්ක බලද්දි මේ පිරිස ප්‍රහාරයක් දියත් කරන්න පළමුව සැලසුම් කරලා තියෙන්නේ 2020 වෙද්දි. නමුත් අප්‍රේල් පළවෙනි සතියේ සහරාන් තනි මතයකට පැමිණ තිබුණා ඉක්මනින් ප්‍රහාරයක් සිදුකළ යුතුයි කියලා. ප්‍රහාරය අප්‍රේල් 21 සිදුකරනවා කියන තැනට ඇවිල්ලා තිබුණේ අප්‍රේල් 18 වගේ.”

නමුත් කොමිසම පැවසුවේ සහරාන්ගේ බිරිඳ මේ කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කළ පරිදි 2019 මුල දී එලෙස දරුවෙකු බලාපොරොත්තු වී නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here