වැඩ්ඩෝ පිටරට සිටියදී පොඩ්ඩෝ T. T ගසති

0
129


සැප් 19, 2019 01:00
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් පිලට ක්‍රීඩා කරන ජාතික මට්ටමේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටින් බැහැරව සිටියදී ඔවුන්ගේ සහභාගීත්වයෙන් තොරව ජාතික මහා ක්‍රීඩා උළෙලේ ටේබල් ටෙනිස් තරග අද බණ්ඩාරවෙල සාන්ත තෝමස් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙයි. දැනට ඉන්දුනීසියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග දින දෙක තුනකින් කල් දමන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

වසරකට වරක් පැවැත්වෙන මෙරට ක්‍රීඩාවේ මහා මංගල්‍ය වූ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථා අහිමි වන්නේ නම් එය තම ක්‍රීඩා දිවියට විශාල පසුතැවීමක් බව මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස පෙන්වා දෙති. මේ 22 වැනිදා ටේබල් ටෙනිස් පිල ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් එතෙක් කලින් තීරණය කළ දින වෙනස්කර සහනයක් ලබාදෙන ලෙස ඔවුහූ ඉල්ලා සිටිති.

මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග කාල සටහන බොහෝ කලකට පෙර සකස් කොට ප්‍රසිද්ධ කළ එකක් බැවින් අවසන් මොහොතේ එය වෙනස් කිරීමට යෑමෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවන බවයි.

“මේ ගැන අප සාකච්ඡා කළා. පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේදී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා වඩාත් හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම ක්‍රිඩා ඇමැතිතුමාව දැනුම්වත් කළා. ආසියානු ටේබල් ටෙනිස් තරගාවලිය අපේ වාර්ෂික කැලැන්ඩරයේ වත් නෑ. ඒ නිසා ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග කාල සටහන සකසද්දී ඔය තරගාවලිය පිළිබඳ දැනන් සිටියේ නෑ. මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළේ වොලිබෝල් තරග පැවැත්වෙද්දී ජාතික වොලිබෝල් කණ්ඩායම විදෙස්ගතව හිටියේ. නමුත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලිය උසස් ලෙස පැවැත්වුණා. කොහොම වුනත් අප විශ්වාස කරනවා මෙවර ටේබල් ටෙනිස් තරගවලදී දෙවැනි පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථාවක් ලැබෙයි කියා“ විජේරත්න මහතා පැවැසීය.

පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙල කිහිපයකදීම දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන දිනාගත් රොහාන් සිරිසේන, ඉෂාරා මධුරංගි, චමීර ගිනිගේ, සුපුන් වරුෂවිතාන, සෙනුර සිල්වා, එරන්දි වරුෂවිතාන, ජිතාරා වර්ණකුලසූරිය හා බිමන්දී බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු ටේබල් ටෙනිස් ශූරතාව වෙනුවෙන් ඉන්දුනීසියාව බලා ගොස් සිටිති.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here