රුසියානු, චීන, ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිතයෝ එකම දිනයේ  ශ්‍රී ලංකාවේ

0
160


Image caption

එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ

රුසියාවේ සහ චීනයේ විදේශ අමාත්‍යවරුන් සහ ඇමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියක් නිල සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ. 

ඔවුන් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ එකිනෙකට කිසිදු සම්බන්ධතාවක් නොමැති නිල සංචාර සඳහාය. අඟහරුවාදා (ජනවාරි 14) අලුයම දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වෑන් යී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පවත්වා තිබිණි.

විශේෂයෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව ගැන ජනාධිපතිවරයා හා චීන විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් අද දින උදෑසන රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය. උදෑසන විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ රුසියානු විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය හමුවකට ද එක්විය. 

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා වැඩිකරගැනීමට 2017 වසරේ දෙරට අතර ඇතිවූ එකඟතාව ඉදිරියට ගෙන යාම කෙරෙහි එහිදී සාකච්ඡා වූ බව මාධ්‍යවේදීන් ඇමතු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය. 

Image copyright
Getty Images

Image caption

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 2018 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 388.98 ක වෙළෙඳාමක් සිදුව ඇති බව පැවසූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාව වැඩිම භාණ්ඩ අපනයනය කරන රටවල් අතරින් 15 වැනි ස්ථානය රුසියාව බව සඳහන් කළේය.

රුසියාවේ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම  2018 වසරේ 64,497ක සිට 2019 වසරේ 86,549 දක්වා වැඩිවී ඇති බව සඳහන් කළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ පිළිබඳව රුසියාවට සිය විශේෂ ස්තුතිය  පළ කිරීමට ද  කටයුතු කළේය.

  • “හම්බන්තොට වරාය බදු දීම ගැන නැවත සමාලෝචනයක් නෑ”
  • ජනපති ගෝඨාභය ඉන්දීය සංචාරය: “වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක්”

ත්‍රස්තවාදය, අන්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීම ගැන එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් 1972 වසරේ තානාපති නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබුණි. සිංහල භාෂාවද ඔහු හොඳින් ප්‍රගුණ කර ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ නමුත් රුසියානු විදේශ අමාත්‍යවරයා මාධ්‍ය ඇමතුවේ සිය මව් භාෂාවෙනි.  ශ්‍රී ලංකාව රුසියාවට විශේෂ සම්බන්ධතාවයක් ඇති රටක් ලෙස හැඳින් වූ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමග ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සහයෝගිතාවය තවදුරටත් ඉහළ දැමීම ගැන සාකච්ඡා වූ බව සඳහන් කළේය.

Image copyright
PMD

Image caption

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වෑන් යී

ශ්‍රී ලංකා හමුදාවට තම ආරක්ෂක යාන්ත්‍රණය දියුණු කරගැනීම සඳහා අවශ්‍ය අවි ආයුධ සහ යුද උපකරණ සැපයීම තවදුරටත් සිදුකර ගෙන යන බව රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියාව ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම ගැනද රුසියානු විදේශ අමාත්‍යවරයා සිය ස්තුතිය ශ්‍රී ලංකාවට පිරිනැමීය. මේ අතර එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතවරිය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී තිබුණි.

ඇය සිය සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ගේ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබේ.

කියවන්න:

  • “හම්බන්තොට වරාය බදු දීම ගැන නැවත සමාලෝචනයක් නෑ”
  • ජනපති ගෝඨාභය ඉන්දීය සංචාරය: “වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here