බුද්ධි නිලධාරීන්ට වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බාධාවක් නෑ – හිටපු STF ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි

0
96

මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරින් 90% ක් පමණ පොලිස් නිලධාරින් වන බැවින් ඔවුනට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පවතින බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් මහතා  ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කෙසේ වෙතත් මෙම කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බැවින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවය.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පොලිස් විශේෂ කාර්යය බලකාය භාර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද පෙරවරුවේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියේය.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ලතීෆ් මහතා සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට බැදි තමන් 2016 දි පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් වු බවය.

2017 දී  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලද තමා අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ක්‍රියාකිරීමෙන් පසු පසුගිය පෙබරවාරි මස වසර 41 ක පොලිස් සේවයට සමුදී විශ්‍රාම ගත් බව ලතීෆ් මහතා මෙහිදී පැවසීය.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ ඔබ විශ්‍රාම යන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සතුව කොපමණ පිරිස් බලයක් පැවතියේද යන්නය.

තමන් විශ්‍රාම යන විට 7200 ක පමණ පිරිස් බලයක් පොලිස් විශේෂ කාර්යය බලකාය සතුව පැවති අතර නිලධාරින් 2000 ක පමණ ඌනතාවයක් ද පැවති බව ලතීෆ් මහතා ප්‍රකාශ ක‍ළේය.

ඉතිහාසය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ පොලිස් විශේෂ කාර්යා බලකායේ හිටපු ප්‍රධානියා පැවසුවේ, ආරම්භයේදි ජාතික බුද්ධි කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර මනා සම්බන්ධතාවක් පැවති බවය.

එම කාලවකවානුව තුළ ජාතික බුද්ධි කාර්යාංශය (National Intelligence Bureau ) බුද්ධි තොරතුරු රැස්කිරීමේ කාර්යෙහි නිරත වී සිටි අතර එම තොරතුරු වලට අදාළ මෙහෙයුම් කාර්ය පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ බව ලතීෆ් මහතා පැහැදිලි කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ වර්තමානය වන විට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින්නේ ද යන්නය.

බුද්ධි නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක්වීම තුළම එම නිලධාරියාට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් පවතින බව ඊට පිළිතුරුදෙමින් ලතීෆ් මහතා පැවසීය.

ලොව බොහෝ රටවල වර්තමානය වන විට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පණතක්
ක්‍රියාත්මක වන පසුබිමක බුද්ධි නිලධාරින් මෙහෙයුම් රාජකාරි වල නිරත නොවන වටපිටාවක් නිර්මාණය වී තිබුණ ද, මෙරට රාජ්‍ය බුද්ධි සේවය තුළ 90% ක්ම පොලිස් නිලධාරින් සිටීම තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකි බව ලතීෆ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ මෑතකදි කොළඹ ජාතික රෝහලේ සිදු වු මුදල් මංකොල්ලකෑමේදි  අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුනේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් දෙදෙනෙකු බවය.

කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි ඕනෑම මෙහෙයුමක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරි කණ්ඩායම් යෙදවීමට තමන්ට හැකියාවක් තිබු බව ලතීෆ් මහතා අවධාරණය කළේය.

වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සෙවීමට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් යෙදවු බවට ජනාධිපති කොමිසමට පෙන්වා දුන් ලතීෆ් මහතා පෙන්වා දුන්නේ උසස් නිලධාරියෙකු තමන්ගෙන් වාචිකව හෝ ලිඛිතව ඉල්ලීමක් කළ අවස්ථාවක STF නිලධාරින් කණ්ඩායම් යෙදවීමට තමන් ක්‍රියා කළ බවය.

එසේම චක්‍ර ලේඛයක් මගින් තමන් රාජ්‍ය බුද්ධි සේවය සමග සෘජුව සම්බන්ධ නොවී පොලිස්පතිවරයා හරහා සම්බන්ධ වන ලෙස නෛතික රාමුවක් පැවති වටපිටාවක වුවද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගේ සෘජු ඉල්ලීම් වලට තම නිලධාරි කණ්ඩායම් මෙහෙයුම් සඳහා යොමු කර ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරියා පැහැදිලි කළේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් එල්ල විය හැකියැයි අප්‍රේල් 04 විදෙස් බුද්ධි සේවයකින් තොරතුරක් ලැබී තිබු වටපිටාවක, එහි ප්‍රහාරකයින් ලෙස සඳහන් කර තිබු නම් ඊට පෙර රාජ්‍ය බුද්ධි සේවය සතුව පැවති අවස්ථාවක එම විදෙස් බුද්ධි අංශයේ තොරතුර බුද්ධි තොරතුරක් ලෙස සැලකිය හැකි ද යන්නය.

ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා කියා සිටියේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර පැහැදිලිවම බුද්ධි තොරතුරක් බවය.

එසේම එහි මෙහෙයුමක් සිදුකිරීමට සහ ක්‍රියාත්මකවීමට හැකි පැහැදිලි තොරතුරු පැවති බව ද ලතීෆ් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසියම් තොරතුරක Top Secret යනුවෙන් සදහන් කර තිබීම තුළම එය බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කරගැනීමේ ක්‍රියාවලියකට භාජනය වුවක් බව හැගීයන බවය.

මේ අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද අද පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here