පිතිකරුවන් සලිත කළ හැඩ්ලි භීතිකාව

0
160


නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම යළි යළිත් අලුත් වන සිදුවීම් දෙකක් ඉතිහාසයේ තිබේ. ඉන් පළමුවැන්න 1984 වසරේ මුල් භාගයේදී ජෙෆ් හොවාර්ත්ගේ නායකත්වයෙන් නවසීලන්ත පිල පළමුවරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවය. දෙවැන්න 1987 වසරේ මුල් භාගයේදී ජෙෆ් ක්‍රෝගේ නායකත්වයෙන් පැමිණි අවස්ථාවය. මේ අවස්ථා ද්විත්වයේදීම අඩුවැඩි නොමැතිව විවිධ සිදුවීම්වලින් සහ වාර්තාවලින් පිරුණු එම මතකය කේන් විලියම්සන්ගෙන් නායකත්වයෙන් ලෝක කුසලාන අනුශුරයන් ලෙස නවසීලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මේ මොහොතේ ඉස්මතු වෙයි. නවසීලන්ත පිලේ පළමු සංචාරයේ අමිහිරි මතකය මෙසේ පෙළ ගස්වමු.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව පළමුවරට නවසීලන්ත පිල ටෙස්ට් තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ 1984 මාර්තු මාසයේදීය. තරග 3කින් සමන්විත වූ එම ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීමට නවසීලන්තය සමත්වූ අතර එහි පළමු තරගය පැවැත්වූයේ මහනුවර අස්ගිරිය ක්‍රීඩාපිටියේදීය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දුලිප් මෙන්ඩිස්, සිදත් වෙත්තමුණි, සුසිල් ප්‍රනාන්දු, සනත් කළුපෙරුම, රවී රත්නායක, රන්ජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, ඩී.එස්.ද සිල්වා, ගයි ද අල්විස්, විනෝදන් ජෝන් සහ ජයන්ත අමරසිංහ තරගයට එක්වූහ. නායක ජෙෆ් හොවාර්ත් සමග ජෝන් රයිට්, ජෝන් රීඩ්, මාටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ, ජෙරමි කෝනි, රිචඩ් හැඩ්ලි, ඉයන් ස්මිත්, ලාන්ස් කෙයාන්ස්, ජෝන් බ්‍රෙස්වේල් සහ ස්ටීවන් බොක් නවසීලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළහ.

1984 මාර්තු මස 9 වැනිදා සිට 14 දක්වා මහනුවර පැවැති දෙපිල අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියළු දෙනා දැවී ලකුණු 276ක් රැස් කළ අතර දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියළුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215කි.

නවසීලන්ත පිලේ ඉනිම ආරම්භ කළ නායක හොවාර්ත් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙස ලකුණු 62ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී විනෝදන් ජෝන් ආරම්භක වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 86කට කඩුලු 5ක් දවාලීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරු ජයන්ත අමරසිංහ ලකුණු 34ක් රැස් කරමින් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීම කැපී පෙනුණි. එහිදී අංක 6 ස්ථානයෙන් ක්‍රීඩා කළ රන්ජන් මඩුගල්ල ලකුණු 33ක් රැස් කළේය. පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා පිල අසරණ කළ වේගපන්දු යවන රිචඩ් හැඩ්ලි (ශ්‍රීමත් ) ලකුණු 35කට කඩුලු 4ක් දවාලීය.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිල කඩුලු 8කට ලකුණු 201ක් රැස් කරමින් ඉනිම අත්හිටුවූයේ ලකුණු 263ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තබමිනි. නවසීලන්ත දෙවැනි ඉනිමේදීත් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ නායක හොවාර්ත් ලකුණු 60ක් රැස් කළ අතර විනෝදන් ජෝන් සහ ඩී.එස්.ද සිල්වා කඩුලු 3 බැගින් දවාලූහ. ජයග්‍රාහී ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 6ම ලකුණු 18ක් ඇතුළත බිඳ වැටුණු අතර ඉන් කඩුලු 4ක්ම දවාලනු ලැබුවේ හැඩ්ලි විසිනි. 7වැනි කඩුල්ල ලකුණු 55දී බිඳ වැටුණු අතර හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුන රණතුංග ලකුණු 51ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිල ලකුණු 97කට දැවී ගියේ නවසීලන්තයට ලකුණු 165ක ජයක් අත්කර දෙමිනි. හැඩ්ලිට කඩුලු 4ක් හිමිවෙද්දී ස්ටීවන් බොක් කඩුලු 5ක් දවාලීය.

ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එක පිට දැවී යද්දී අස්ගිරිය ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීහු දැඩි ලෙස කෝපයට පත්ව කළහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. එය ශ්‍රී ලංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව ද විය.

එස්.එස්.සී.පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර සී.සී.සී.පිටියේ පැවැති තුන්වැනි තරගය ඉනිමකින් සහ ලකුණු 61කින් ජයගත් නවසීලන්ත ටෙස්ට් තරගමාලාව ජයගත්තේය.

තරගමාලාව පුරා ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසරණ කළ රිචඩ් හැඩ්ලි දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගත් අතර තුන්වැනි ටෙස්ට් තරගයේ ඉනිම් 2දීම කඩුලු 5 බැගින් බිඳ දමා තරගාවලියේ විරයා සම්මානය දිනා ගත්තේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here