පාතාලයේ ලොකුම අවි ගබඩාව සොයාගත් STF මෙහෙයුම

0
85

මෙරට පාතාල කල්ලියක් සතුව තිබීයදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය  සමත් වුණි.

මාතර රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරු වන දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන මෙම ගිනි අවි තොගය සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදිය.

මෙරට සිදුවූ ප්‍රධාන අපරාධ රැසකට භාවිත කළ නීතිවිරෝධි ගිනි අවි තොගයක් සඟවා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත අද තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා භට පිරිස් කණ්ඩායමක් අද පෙරවරුවේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුණි.

එහිදී පිටිපන ප්‍රදේශයේ පිහිටි මෙම තොග භාණ්ඩ අලෙවිසැලේ ඇති ගබඩා පරික්ෂාවට ලක්වූ අතර එහි පහත මාලයේ සඟවා තිබියදී ගිනි අවි 12ක් සොයා ගැනිමට හැකිව තිබේ.

ටී.56 ගිනි අවි 11ක් සහ ටී.81 වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්ය.

මෙය සැලකෙන්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබීයදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසටය.

දැනට සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම ගිනි අවි, 2018 ජුනි මස 22 වනදා සිදුවූ මාතර ස්වර්ණාභරණ අලෙවි සැලේ මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන, දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොස්ගොඩ තාරක නැමැත්තාගේ පාතාල කල්ලියට අයත් බව වාර්තා වේ.

එමෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ”ගගන” නැමැත්තාගේද මෙම ගිනි අවි සඳහා සම්බන්ධයක් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැකපල කරයි.

මෙම ගිනි අවි මීට මසකට පමණ පෙර වෙනත් ස්ථානයක සිට පිටිපන පිහිටි මෙම අලෙවිසැලට ගෙනැවිත් සඟවා ඇත්තේ කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන ”පොට්ට කපිල” නැමැත්තාය.

එම සැකකරු සහ මෙම ගොඩනැඟිල්ලේ හිමිකරුද මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

සොයාගත් ගිනි අවි නිරික්ෂණය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද පැමිණියේය.

මෙම ගිනි අවි භාවිත කරමින් මෙරට ප්‍රධාන පෙලේ මංකොල්ලකෑම්,මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කුලී මිනිස් ඝාතනද සිදුකර ඇතැයි සැකපල කරන පොලිස් විශේෂ කාර්ය බලකාය එම අපරාධ මොනවාද යන්න හදුනාගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here