නාගරික කොමසාරිස්වරු තිදෙනෙකු නිල නිවාස භාර නොදීමෙන් අර්බුදයක්

0
69


COLOMBO (News 1st) – හිටපු නාගරික කොමසාරිස්වරුන් තිදෙනෙකු මෙතෙක් නිල නිවාස භාර දී නැතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

ඉන් නාගරික කොමසාරිස්වරුන් දෙදෙනෙකු නිල නිවාස භාර නොදීමෙන් අය විය යුතු දඩ කුලිය රුපියල් ලක්ෂ 269 කි.

2015 වසරේදී නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ භද්‍රානී ජයවර්ධන මහත්මිය මේ දක්වා නිල නිවස භාර නොදීමෙන් රුපියල් ලක්ෂ 255 ක මුදලක් අය විය යුතුව ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

ඇය පදිංචිව සිටින්නේ , කොළඹ 7 ඇල්බට් චන්ද්‍රවංකයේ පර්චස් 80 ක ඉඩමක පිහිටි කාමර 16 කින් සමන්විත කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් පවතින නිල නිවසේ ය.

භද්‍රානී ජයවර්ධන මහත්මිය අභ්‍යන්තර වෙළෙඳ සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරිය ලෙස මේ වනවිට කටයුතු කරමින් සිටින්නීය.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නව නිල නිවාසයක් ලබාදී ඇතත් ඇය තවදුරටත් නාගරික කොමසාරිස්වරයාගේ නිල නිවසේ රැඳී සිටින බවයි.

හිටපු නාගරික කොමසාරිස් වී.කේ අනුර මහතා ද මෙතෙක් නිල නිවාස භාර දී නොමැත.

2019 වසරේ සිට මේ දක්වා නිල නිවසේ රැඳී සිටීමෙන් ඔහු නගර සභාවට ගෙවිය යුතු දඩ කුලිය රුපියල් ලක්ෂ 14 කි.

හිටපු නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ද මෙතෙක් නිල නිවාස භාර දී නොමැති බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.

පසුගිය ජනවාරි 14 වැනිදා සිට මාස 06කට අධික කාලයක් ඔහු එම නිල නිවසේ රැඳී සිටී.

මේ හේතුවෙන් වත්මන් නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මියට නගර සභාවෙන් ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 3 මාසික කුලී පදනම මත ලබාගත් නිවසකි.

එම නිවස ලබාගෙන ඇත්තේ මාස 6 ක කාලයක් සඳහා බව නගර සභාව සඳහන් කළේ ය.

ඒ අනුව ඇයට අදාළ කුලී නිවසේ රැඳී සිටීමට හැකි වන්නේ ලබන අගෝස්තු මාසය දක්වා පමණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා ද දැනුවත් කර ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.

මහ නගර සභාව අවධාරණය කළේ, නිල නිවාස භාර නොදුන් නාගරික කොමසාරිස්වරු තිදෙනාට නඩු පැවරීමට පියවර ගන්නා බවයි.



උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here