ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීම වෘත්තීය ජනමාධ්‍යවේදීහු හෙළා දකිති

0
136


ජාතික රූපවාහිනිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් දැඩි සේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම තත්ත්වය ජනමාධ්‍ය නිදහසට කෙරෙන අනතුරු ඇඟවීමක් යැයි ද එමගින් ජනාධිපතිවරයා සපයා ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් යැයි ද එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් ෆ්‍රෑක්න් ද සොයිසා මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

ජනමාධ්‍ය හා ආරක්ෂාව යනු එකිනෙකට නොපෑහෙන විෂය දෙකක් බැවින් ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමෙන් එහි සේවය කරන ජනමාධ්‍යවේදීන්ට සිය සේවය ස්වාධීනව කරගෙන යා නොහැකි ලෙස බලපෑමක් එල්ලවන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මෙමගින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට බලපෑමක් එල්ල වන අතර එය ඔවුන් බියවැද්දීම සඳහා ගනු ලබන ආරම්භක පියවරක් හැටියට සැළකිය හැකි යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ රැසක් ඉදිරියේ තිබියදී ගත් මෙම තීන්දුව සැකයට භාජනය වන්නේ යැයි ද එය වහා නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

එය නිවැරදි කිරීම සඳහා ජනමාධ්‍ය විෂයට අදාළ කැබිනට් ඇමැතිවරයකු පත්කළ යුතු යැයි යෝජනා කරන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර තිබෙන ගැටුම හරහා ජනමාධ්‍යට තර්ජනයක් එල්ල වන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නොපසුබට වන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here