ජනතා විමුක්ති පෙරමුණේ රාමසාන් පණිවිඩය

0
59


රාමසාන් උත්සවය විසින් ප්‍රකට කරන්නාවූ ආදර්ශය, ආත්මාර්ථකාමීත්වයම ඉල්ලා සිටින සමාජයක් තුළ සියලු ජනතාවට වැදගත්ය!

ආත්මාර්ථකාමීත්වයම ඉල්ලා සිටින සමාජයක් තුළ රාමසාන් උත්සවය විසින් ප්‍රකට කරන්නාවූ ආදර්ශය සියලු ජනතාවට වැදගත් යැයි සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ රාමසාන් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම පණිවුඩය පහතින් පල වේ.

“අද (24) දිනයේ රාමසාන් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු.

මෙවර රාමසාන් උත්සව එළඹෙනුයේ මුළුමහත් ලෝකයම කෝවිඞ් 19 වසංගත තත්වයට මුහුණ දී සිටින හා ඒ හේතුවෙන් ලෝකවාසී ජනතාවගේ මෙන්ම ලාංකේය ජනජීවිතය මහත් ව්‍යාකූළභාවයකට ලක්ව තිබෙන මෙහොතකය. ඒ හේතුවෙන්ම පෙර තත්වයෙන් උත්සවශ්‍රීයකින් යුතුව රාමසාන් සැමරීමට නොහැකි වී ඇති අවස්ථාවකය.

රාමසාන් උපවාසයේ අරුත වනුයේ, ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරගනිමින් දුෂ්කර ජීවිත ගත කරන තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීමට එම කාලය තුළ ඉතිරි කර ගත් ධනය ප්‍රයෝජනයට ගැනීමය. රාමසාන් උත්සවය එම උපවාස සමයේ අවසානයයි. සහෝදර දිළිඳු පුද්ගලයින්ට, පවුල්වලට උදව් කිරීම සඳහා යොමු වන මෙම උපවාස කාලය විශේෂයෙන්ම අගය කිරීමට ලක් විය යුතු වන්නේ, මෙම ධනවාදී සමාජය තුළ මිනිසුන් තුළින් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා අල්පේච්ඡතාව, පරාර්ථකාමය ආදී ගුණාංගයන් රාමසාන් වත්පිළිවෙත් තුළ අඩංගු වීම හේතුවෙනි.

තම සම්පත් සහෝදරත්වයේ පදනම මත සෙසු අය අතරේ සමානව බෙදී යා යුතුය යන අදහස මුල් කර ගනිමින් ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන මෙම රාමසාන් උත්සවය විසින් ප්‍රකට කරන්නාවූ ආදර්ශය, ආත්මාර්ථකාමීත්වයම ඉල්ලා සිටින ධනවාදී සමාජයක් තුළ ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව සෙසු ජනතාවටද වැදගත් යැයි අපි විශ්වාස කරමු.

පටු දේශපාලන බල වුවමනාකම් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන්, ජන ප්‍රජාවන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප්‍රවණතා හිස එසවීමට වෙර දරන අවස්ථා අපි පසුගිය කාලයේ වුවමනාවටත් වඩා අත්විඳ ඇත්තෙමු. එහෙත් කෝවිඞ් 19 වැනි ගෝලීය ව්‍යසන විසින් අපට පෙන්වා දෙන්නේ මෙවැනි ආපදාකාරී තත්වයන්ට අපට මුහුණ දිය හැක්කේ බෙදී වෙන්වුණු හුදු තනි තනි පුද්ගලයින් හෝ ජන කොටස් ලෙස නොව මුළුමහත් සමාජයක් ලෙස බවය. එවැනි මොහොතක මනුෂ්‍යත්වයේ වටිනාකම අවධාරණය කෙරෙන රාමසාන් උත්සවයේ එළඹීම විශේෂ වැදගත්කමක් උසුලයි.

එසේම ජාතිවාදී ආගමික අන්තවාදී මඩ ගොහොරුවලට නොවැටීමටත් සහෝදරත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස අත්වැල් බැඳගැනීමටත් ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් දිනය ශක්තියක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අනුර දිසානායක

නායක

ජනතා විමුක්ති පෙරමුණ

2020.05.24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here