ගමේ කොල්ලෙක්ගේ එදා ජීවිතය

0
53

මීට දශක කීපයකට පෙර ග්‍රාමීය පාසැලක දරුවන් නිවෙසට ඇදෙන විට ඔවුන්ගේ විලාශය ඉහත කවියෙන් දැක්වේ. පාසැලේ සිට නිවස දක්වාම ගමන වූයේ පයිනි. ඒ අතරමග ඇති අඹ, නාරං,සියඹලා ගස් වලට පොලු ගසන කොල්ලෝ කුරුට්ටෝ ඒවා බුදිමින් පාසැල් ඇදුම් වල කහට උලා ගනිති. එනගමන හිතුනොත් උන් වැවේ ඇල දොලේ පැන නා ගනිති. වැඩිවෙලා වතුරේ ජබුං ගැසීම බඩගින්න වැඩිවීමට හේතුවේ, එබැවින් හනි හනික අම්මා ගේ බත් මුට්ටිය මතක් කරගනිමින් නොයෙක් පෙරලි කරගනිමින් නිවෙස් කරා ඇදෙති.

වර්ථමානයේ නම් ගමද නගරයට වඩා වෙනස් වන්නේ අල්ප වශයෙනි.ප්‍රධාන නගර වලින් ඈත් වූ හෙයින්ම පිටිසර වනවා මිසක මේ ගමක්ද? මේ ගමේ වැසියෝද? මොවුන්ගේ සිතුම් පැතුම් අල්පද?.ජීවිතය සරලයැයි කීමට හැකි ගම් ඇත්තේ ඉතාම ස්වල්පයකි. බොහෝ වර්ථමාන ගැමියෝද රූපවාහිනියෙන් දකින සුන්දර ලෝක‍ය දැකබලා එය එළවීමට පෙළඹෙති.

මීට දශක කීපයකට ප්‍රථම ගමේ කොල්ලෙකුට එදිනෙදා ජීවිතයෙන් අල්ප මාත්‍රයක් අපි මදක් සලකා බලමු.

ඔක්කොම එකම දරුවෝ

වැටවල් ගසා වෙන් කොට තිබූ වතු ගමේ තිබුනේ නම් ඒ අතේ ඇගිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. දරුවන් ලෙස ගත් කල බොහෝ ගැමියෝ සියලු දරුවන් සමාන කොට සැලකූහ. කුල මල ගැටළු වැනි ඇතැම් බාධා තිබුනත් එකල දරුවන්ට හැසිරීමට විශාල අවකාශයක් තිබුනි.

පාසැල් නිවාඩු කලෙක නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල යන දරුවෝ නෑදෑ සුනුහරේ සිටින සියලු රොත්ත බුරුත්ත හා අසල්වාසි දරුවන්ද එකතුව කෙලි සෙල්ලමේ යෙදෙති. වත්මන මෙන් සන්නිවේදනය දියුනු නොවූ එකල පොට්ටනි බැඳගෙන නෑයින් බැලීමට යෑමත්, පැමිණෙන නෑයින්ට සැලකීමත් එක්තරා චාරිත්‍රාංගයකි.

භූගෝලීයව වෙනස් පසුබිම් වල වෙසෙන නෑයෝ එකිනෙකා බලන්නට ගොසින් සිය පලාත්වල විස්තර ආදිය හුවමාරු කරගනිති. දරුවන්ට නම් ඔය මහප්‍රාණ කතා වැඩක් නැත. සියල්ලෝම විනාඩි කිහිපයකින්ම මිතුරු වී සෙල්ලම පටන් ගනිති. ඇතැම් විට නිවසේ සිටිනවාටත් වඩා හොඳට සනීපෙට ආදරය රැකවරණය නෑදෑ ගෙවල් වලදී එකල දරුවන්ට ලැබුනි.

හැමවෙලේම තියෙන බත

එදා ගම ගෙවල්වල දවල් දවස පුරාවටම බත් තියෙනවා ව්‍යාංජන එක්ක. එන ඕනි කෙනෙක්ට දවල් දවසේම කන්න බොන්න දෙන එක එකල සිරිතක්. දැන් වගේ පාන්, බනිස්, මාලුපාන්, චූන් පාන් ත්‍රීවිලර්  ඒ කාලේ නෑ.

අල්ලපු ගෙදරකට සෙල්ලම් කරන්න ගියත් ඒ ගෙදර බත්මුට්ටි, හොදි, මාලුපිනිවලටත් පැනල කාල තමයි ගෙදර එන්නේ. ‍ගමේ ගෙදරකට කිසියම්  කාර්යයකට පොඩි එකෙක් ගොඩවෙලා ඉක්මනින්ම යන්න හැදුවත් “කොහෙද බං කඩදහි ලිපේදාල වගේ ඉක්මන්ට දුවන්නෙ? ඔන්නොහෙ කුස්සියට ගිහින් බත් කාල පලයං”  කියලා වැඩිහිටියෝ කෑම පෙරැත්ත කරති.

මොන වෙලාවේ ගෙට ගොඩවුනත් ගෙදර තියෙන කැවිලි ජාතියක් තියෙනවානං එහෙමද, නැත්තං ඉතිං නිකම්ම තේ වතුර එකක් හරි බෙලිමල් එකක් වුනත් ගම ගෙවලින් වරදින්නේ නම් නැතිය.

ෆුඩ්සිට් වල නෙමේ ගස් උඩ ෆ්‍රෙෂ් ෆුඩ්ස්

නැවුම් පළතුරු කියන වචනේ ආවෙත් බොහොම පස්සෙ කාලෙක, ඉස්සර ගමේ පළතුරු තියෙන්නේ ගස් උඩ හරි යට හරි. කජු පුහුලම් කාලේට පුහුලම් පිටින්ම කඩාගෙන කනවා. ඒ කාලේට පාන්දරම ගිහින් අනික් කට්ටියට කලින් කජ්ජු ඇහිදින එක ගමේ කොල්ලන් අතර තිබුනේ තරගයක්.

දිවුල් බෙලි වගේ පලතුරු නම් කඩන්නේ නෑ..ඉදිලා වැටුනාම ගිහින් ගහයටට ගිහින් පොරකාල ඇහිඳ ගන්නවා. ඉස්සර ගම් වල දිවුල් එහෙම ගෙනියන වෙලෙන්දෝ විඩක් වෙලාවට ගෙවල් වලටම එනවා. ඇවිත් ඇහිදලා තියෙන ‍දිවුල් ටික ටොක්ක ටොක්ක ගහලා එකිනෙක සද්ද කරලා තත්වේ බලලා මල්ලක දාගෙන අරගෙන යන්නේ දිවුල් ඇහිදපු කොල්ලන්ට රුපියල් කීයක් හරි අතමිට මොලවලා.

සියඹලා, අඹ, ජම්බු වගේ පළතුරු නම් ගහේ නැගලාම තමයි කඩන්න තියෙන්නේ. පාර අයිනේ තියෙන ගස් වලට නම් කොල්ලෝ පොලු ගහනවා. වැටෙන් වටකරලා තිබුනත් අහසේ ඉ‍ගිල්ලෙන කුරුල්ලන්ට, වවුලන්ට නම් බිම් සීමා මායිම් අදාලම නෑ..කොල්ලනුත් ඉතින් අන්න ඒ වගේ, අනුන්ගෙ වත්තක රසම රස අඹ ගහක් තියෙනවාය, ඒකෙ රස අඹ තියෙනවාය කියල දැනගත්තා නම් ඒ ග‍හේ අඹ වල රහ ගමේ ඉන්න කොළු රෑනම දන්නවා.ඉලංගරත්නගේ අඹ යහලුවෝ පටන් ගන්නේ එසේ අඹ ගසකට පොලු ගැසීමේ කතාන්දරයකින්.

අත්තම් ක්‍රමයට වැඩ ෂෙයාරින්

ඒ කාලේ කුලීකාරයෝ හොයන්න අමාරුයි. අමාරුම වැඩකට කුලීකාරයෙක් ගත්තොත් මිසක කුලියට මලියට මිනිහෙක් හොයාගන්න අවශ්‍යතාවයක් ගම්මාන වල මිනිස්සුන්ට තිබුනේ නෑ. ‍පසුකාලීනව උලු හෙවිලි කරපු සුදු හුනු ගාපු නිවාස ගම් වල තැනින් තැන ඉදි වුනත් ඒ ගෙවල්වල පවා මඩුවක් කුස්සියක් කාරිය තිබුනනම් ඒව මැටි බිත්ති වලට පොල් අතු සෙවිලි කරලා තිබුනේ.

පොල් අතු හෙවිල්ල එහෙම කොල්ලොත් හරි හරියට මහන්සි වෙලා කරන වැඩක්. පොල් අතු හෙවිල්ලකදි මිනිස්සු තමුන්ගේ එදිනෙදා වැඩ ආදිය එහෙට මෙහෙට කරලා කොල්ලො කුරුට්ටෝ ඉන්නවා නම් උනුත් එක්කම අර ගෙදරට එක්කාසු වෙනවා, අතුබඳින්නට නගින්න කෙනෙක් ඉන්නවා නම් ඔහුට වහලයට නැග අතුබඳින්නටද, නගින්න කියන්න බැරි මහ බඩ තඩි බමුණො වගේ අය බිමට වෙලා උඩ බලාගෙන, උඩ ඉන්න ඈයින්ට ඕනිකරන අතු ගොක් කොල ආදිය දික් කරනවා.

ඒ වගේම කොරටු වැඩ, ගොයං වැඩ, කුඹුරු වැඩ වගේ වගා වැඩකටයුතු මගුල් තුලා උත්සව ආදී බොහෝ දේට ගැමියන් එකට එක්කාසු වෙනවා. ඒ තැන්වලදි පොඩි කොල්ලෝය, කෙලි නැට්ටියෝය කියලා වෙනසක් නැතිව හැමෝම ඒ වැඩවලට දායක වෙනවා.

නාන කල්චර් එක

කුඹුක් ගහයට ලිඳක් හැම ගමේම තිබුනේ නම් නෑ. ගම වටේම නටල නටල ගිහින් ලිඳ ගාව නාන්න ගිහිනුත් එතන කෝලම් කරන්න ගිහින් අම්මගෙන් ගුටිකනවා.”කෝ නටන්නෙ නැතුව ටිකක් මෙහාට වෙයං පිට අතුල්ලන්න, උඩදානව විතරයි නේ හරියට පිට අතපයවත් හරියකට අතුල්ල ගන්න එකක්යැ.” අම්මා කොල්ලන්ට බනිමින් වුවත් ඌ අතුල්ලා නහවා පිරිසිදු කරගන්නේ යටිසිතේ ඇති අප්‍රමාණ මාතෲ සෙනෙහසිනි.

කාන්ඩේ එකතුවෙලා සෙල්ලම ඇතිවුන වෙලාවට ඇලේ, වැවේ, දොලේ පැන නාගෙන එනවා සෙට් එක පිටින්ම. ඒත් ඇලේ දොලේ වැවේ නාද්දි තාත්තල මහප්පල වගේ නෑයෝ හිටියොත් නම් කොල්ලන්ට හිතේ හැටියට ජබුං ගහන්න පීනන්න ලැබෙන්නේ නැහැ.

වතුර නාන මුට්ටියක් අතින් ගෙන, සාලු කඩමාල්ලකුයි සරං කොටේකුයි කරේ දමාගෙන  සීයෙක් හිමීට නාන තොට ගාවට ගාටනවා. ඈතින්ම පේනවා කොල්ලන්ගේ දාංගලේ, එකෙක් වතුරට නැවුනු ගහක් දිගේ බඩගාගෙන ගිහින් ජබුං ගාල වතුරට පනිනවා. අනික් උනුත් දෙවනි නෑ වතුරෙම නැටිල්ල මහ සද්දෙත් එක්ක. “ඈ බොල කොල්ලනේ මක් කරනවද ඔය ? මේ තියෙන වතුර ඩිංගත් මඩ කරගෙන මඩ කරි ටික වගේ, වතුර කලම්බන්නෙ නැතුව ටිකක් නිවිල නාපල්ලකො බං”. සීයා කොල්ලන්ට තරවටු කරනවා, මුලින්ට වැඩිය ඩිංගක් දාංග‍ලේ අඩු වුනාට කොල්ලොන්ට හැකියැ ඉතිං ගෑනු වගේ වතුර  වක්කොරගෙන නාන්න.

ඒ කාලේ සෙල්ලම්

වැවේ උඩ හරියේ වතුර අඩුවෙනකොට පිට්ටනිය වගේ කෑල්ලක් එතන ඉබේම හැදෙනවා. එහෙම නැතිනම් ගොයං වැඩ එහෙම ඉවර වුනාම මුලු යායම කොහොමත් එකම පිට්ටනියක් වගේ. ගොයං වැඩ ඉවර කාලෙට කොල්ලන්ට උනත් අමතර වැඩ රාජකාරි අඩුයි. හැන්දෑවට හරක් ටික ගෙදරට ගෙනත් දාන්න වගේ වැඩක් ඇතැම් කොල්ලන්ට තිබුනත් ඒක ඉතිං හැන්දෑවටනෙ.

ඔය පිට්ටනි වල චක්ගුඩු ගහනවා, ‍එල්ලේ ගහනවා. දැන් තරම් ක්‍රිකට් උනක් නොතිබ්බ 50 දශකයේ වගේ ගම්වල ජනප්‍රියම ක්‍රීඩාව වොලිබෝල්. වොලිබෝල් ගහන්න වගේම ගහන අය දිරිමත් කරන්නත් පිරිස බොහෝම ඉන්නවා.

ගමේ ටීම් එක ටවුමේ තියෙන ලොකු ඉස්කෝලෙ වොලිබෝල් මැච් එකකට තේරුනා, මේ පැත්තට බෝලෙ ආව විතරයි ගමේ කොල්ලෝ ටික “ඇර මාටිය ඇර ඩෑස් එකක් එහා පැත්තට.” කියලා කෑ ගහන්න ගත්තා. ගමේ ඉස්කෝලේ ඉංග්‍රීසි සර් හෙමිහිට කොල්ලන්ට  කිට්ටු වෙලා “යකෝ තැනකට ආවම ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙයල්ල… ඇර ඇර මාටිය ගෑවම අපෙ කලිසමත් එක්ක ගලෝල යනවනෙ… ඉතින් කමෝන්! මාටින් කමෝන්! කමෝන් කියල කියපල්ල මින් පස්සෙවත් “ කියලා කොල්ලන්ට දැනමුතු කමක් දුන්නා.

පොදු දැන්වීම්

දැන් කාලේ නම් ගම්වල වැඩිමනක් යන වාහනේ ‍ත්‍රී විල් සහ බයික්. සමහර ත්‍රී විල් ඈතින් එද්දි ඒකෙ සද්දෙටත් කලියෙන් ඩිස්ටප් පප්පර ,ඩිස්ටප් පප්පර බීට් එකක් එනවා ඔය ඇවිල්ල ඒකෙ සෙටප් එකෙන්. ඉස්සර ගමේ තිබුනෙ පරණ මයිනර් කාර්, ටවුමට අලුතින් පිචෑර් එකක් ඇවිත්, අලුත් නාට්ටියක් කඩමන්ඩියේ පෙන්වනවා හෝ ලොකු පිංකමක් වගේ එකක් නම් මයිනර් කාර් එක උඩ ස්පීකරයක් බැඳගෙන ගම් වල ඇත්තන්ට ඒ ගැන දැනුවත් කරමින් යනවා.

“කවාලා විලඳ ජාතී… ඇති කරාත් රන් කූඩුවේ ගිරවා…”

ආදී පැරණි ගීත අතරමැද  ජස්ටින් ජස්ටින් පාං පාං කියමින් ප්‍රදේශවාසී අසන්නනි කියලා තමා දැන්වීම පටන් ගන්නේ. ඉඳහිට ගමේ කැලෑ පත්තර ආදියත් වදිනවා. ළිඳ ළඟ සංගමේදී ‍ගෑනු අය ගොසිප් හුමාරු කරගනිද්දි පිරිමි අය සතිපොලේදී, කඩමන්ඩියේදී විස්තර තොරතුරු එකිනෙකා බෙදා හදා ගත්තා. ඡන්ද කාලෙට නම් අද වාගේම එදත් රැස්වීම්, කාර්යාල ආදිය ඒ කාලේ හැටියට ගම් වල තිබුනා.

වැඩිහිටියන්ගේ සංවාද වලට හොට දැමීම එකල ළමුන් විසින් නොකල යුතු දෙයකැයි ගැමියන් සැලකුවා. කොල්ලන්ට ඉස්සර සිටි‍ යෝදයන් ගැන, ගම ගැන එහෙම වැඩිහිටියන් කියාදුන්නේ කතාන්දර කියන ආකාරයෙන්. ඉස්සර පොඩි කොල්ලො කෙල්ලො අන්දරේ ගේ කතා, මහදැනමුත්තාගේ කතා, ජාතක කතා, භූතයින්, යකුන්, පෙරේතයින් ගැන කතා, එතකොට දෙවියන් ගැන කතා ආදී කතා රැසක් දැන සිටියේ පොත් වල ඇති දේ කියවීමෙන් නෙමෙයි,වැඩිහිටියන් සහ හාමුදුරුවෝ කියන කතා වලට සවන් දීමෙන්.

වලි සහ වලි බැලීම

වර්ථමානයේ ඉතාලියේ සේවය කරන අපේ රටේ අයත් ඕනෑම එකතු වීමකදී වලියක් දාගන්න සමත්කම් පෙන්වනවාලු. ඒ නිසාම අපේ රටේ අයට එකතුවෙන්න ඉතාලියේ ඇතැම් නගරවල ශාලාවල් වෙන්කරගන්න පවා අපහසුයි කියලා පුවත් වල පසුගිය දිනවල දකින්නට තිබුනා.

එදා ගම් වලත් කෝන්තර, රන්ඩු දබර විටින් විට තිබුනා. ඇතැම් රන්ඩු තිබෙනවා පරම්පරා ගානක් දිගට එන. ඒ වගේම ඉනිවැටට සීමා ප්‍රශ්ණවලට ආදියට අසල්වැසියන් තරහ කරගැනීමත් ගම් වල තිබුන එක් රණ්ඩු දබර වර්ගයක්.

ඉතාම තදබල පරුෂ වදනින් එකිනෙකා අමතගන්නා ගැමියෝ ඒ කුමන දබරයක් තිබුනා වුවත් විපත්තිදායක විටෙක පිහිටට එන්න එකතුවන්නේ ඒ සියළු රණ්ඩු දබර අමතක කර ගනිමින්. සුනාමි ව්‍යසනයේ මුල් දිනවල දී අපේ රටේ අය සියලු වාද පැරණි තරහා  අමතක කර අසරණ ජනයාට පිහිටවන්නට පෙළ ගැසුනේ ලොවටම ආදර්ශයක් සපයමින්.

ගමේ අවුරුදු උත්සවයක්, පිංකමක්, ශාන්තිකර්මයක්, මගුල් තුලාවක් හෝ එවන් උත්සව අවස්ථාවන් වලදී බීගත් අය ඇතැම් විට රණ්ඩු දබර වලට යනවා. කාන්තා පාරශවයත් කෙහෙවලු පටලවාගෙන රණ්ඩු කරන අවස්ථා නැතුවාම නෙමෙයි. ගමේ කොල්ලන්ට ඉස්සර රෙස්ලින් හෝ ෆිල්ම් වල වලි බැලිලි තිබුනේ නැහැ. ඔවුන්ට මෙවන් රණ්ඩුවක් දුටුවොත් එය සති ගානක් මාස ගානක් තලුමරමින් නැවත ඒ ගැන කියමින් සතුටු වන්නට හැකි රසබර ත්‍රාසජනක අවස්ථාවක් වුනා.

තොවිල් සහ  පෙරහැර

ශාන්ති කර්ම සියල්ලම පාහේ දකුනේදි හැදින්වුයේ තොවිල් යන නමින්. රෝගාබාද වලට සහ ආශීර්වාද ලබාගන්නට එකල දෙවියන් ,යකුන් සහ ග්‍රහ බලයන් ලබාගැනීම අරභයා විවිධ ආකාරයේ ශාන්තිකර්ම පැවත්වුනා. රාත්‍රී කාලයේ බෙර වයමින් අඩි අනුව නටමින් පනිමින් පෙරළි කරමින් සිදුකරන තොවිල් වලදී ඇතැම් අවස්ථාවලදී රසවත් නාටකීය අවස්ථාවන්ද රඟ දැක්වුනා.

පහතරට බෙරය, සමුද්‍ර ඝෝෂක බෙරය කියා හදුන්වන යක්බෙරය ඈතට ඇදෙන ගිගුම් දෙන හඩක් නැංවීමට සමත් භීතිය දනවන නාද රටා ඇතිකරන මාහැගි උපාංගයක්.  දහ අට සන්නියේදී නම් සෑම සන්නියකදීම පාහේ පැමිණෙන යක්ෂයා බෙරකරු සමග කෙරෙන මනබඳින සංවාදයක්  ඇතුළත් වුනා.

දෙපිට ක‍ැපෙන වදන් ඇතුලත් මේ සංවාද ‍කුඩා කොල්ලන්ට නම් එතරම්ම තේරුම් යන්නේ නැතිවුවද තරුණ වයසට එළැඹෙමින් සිටින යෞවනයින්ට නම් අමුතු ආශ්වාදයක් ඇතිකරන්නට ඇති. එක ගමේ මසකට තොවිල් 7-8කටත් වඩා තිබුන අවස්ථාවන්ද තිබෙනවා. තොවිල් වලින් සැබැවින්ම රෝග ආදිය සුවපත් වූවාද නැද්ද යන්න කෙසේ වෙතත් එය එකල ගම හා බැඳුනු මහා සංස්කෘතික අංගයක් වුනා.

දැන් නම් බොහෝ දෙනාට තිබෙන්නේ පෙරහැරක් බැලීම කියන දේ පමණයි. ගම්මානේ, ගමේ පංසලේ හෝ දේවාලේ පෙරහැරට ඉස්සර වැඩිමනක් නැටුං කන්ඩායම් ආවේ ගම්මාන වලින්මයි. අපාය, මහඹබා, කාවඩි, ලී කෙලි, කුලු නැටුං, කලගෙඩි, යක්ෂ නැටුම්, ආදී විවිධ අංග ගමේ කොල්ලන් කෙල්ලන් විසින් පෙරහැර වෙත එකතු කරනවා. සරල වූ බෙරපද මත තැනුන ඒ සරල නැටුම් වලින් ගමේ පෙරහැර අලංකාර වූවා සේම අපාය මහබබා කාවඩි ආදියෙන් අමුතු සෙල්ලක්කාර විනෝදයක් කොල්ලන්ට ලැබුනා.

වොලන්ටියර් සර්විස්

“සීයෙ කතාන්දරයක් කියන්නකෝ නිකං ඉන්න එකේ”කොල්ලා සීයාගෙන් කතාවක් අහගන්නට හදයි.. “කතාවක් කියඤ්ඤං ඊට කලියෙන් අර හන්දියේ කඩේට දුවලා මට හුනු සත දෙක්ක අරං වරෙං, බුලත්විඩට කන්න හුනුඩිංගක් ගේන්න මතක් වෙන් නෑනෙ මුන්ට..”  ඉන් පසු කතාව අසාගැනීමට නම් කොල්ලා කඩේට ගොස් සීයාට හුනු සත දෙකක අරං ආ දිය යුතුය.

ආච්චිට ඉදිකටුව මලේ දා දීම, අම්මා උයන්නට හදන හාල් වල වී ඇට ඇහිඳීම, තාත්ත‍ාගේ බුලත් පාත්ති වලට වතුර දමන්නට සිදු වීම, අයියා හදන අලුත් කරත්තය හැදීමට උදව් කිරීම. අක්කා සමග තනි නොතනියට යෑම එකල ගමේ කොල්ලන්ට වෙන් වූ ස්වේච්චා රාජකාරි රැසකින් කිහිපයකි. ගෙදර වැඩවලට, ගමේ වැඩට, පංසලේ වැඩට ස්වේච්චාවෙන්ම උදව් වීමේ අවස්ථාවන් එකල ගමේ කොල්ලන්ට නිතැතින්ම උදාවුනි.

පොඩි උනත් ලොකු වැඩටමයි ට්‍රයිය

ඒ කාලේ ගම් ගෙවල ගෑනු ලමයි නම් අම්ම නැති වෙලාවට උයලා පිහලා ගෙදර ලස්සනට තියලා හරියට අම්මගේ ඇක්ටින් එක ඒ විදියටම කරන්න උත්සාහ කරනවා. පිරිමි ලමයි නම් තාත්තගේ වැඩ කොටස පොඩි උනත් හැකි ලෙස කරන්න උත්සාහ කරනවා. චරිත තුනක් නවකතාවේ ඉසා තනියම කඩාඩුව බඳින්නට යන්නේ තමාටත් පියාට සේම වැඩකරන්නට හැකියාව ඇති අයෙකු පරිද්දෙනි. නිතරම වැඩිහිටියන් අනුකරනය කරන ගමේ ‍කොල්ලන්ට වැඩිහිටියනුත් තමුනගේ ගොවිතැන් වැඩ ගෙදර වැඩ ආදියේදි යම් සුලු සුලු වැඩ ආදිය නියම කරමින් ඒවා දරුවන්ට ටිකෙන් ටික පුරුදු පුහුනු කරනවා.

ඇතැම් විට පාසැල් අධ්‍යාපනය ලැබීමට ගියත් ඔවුන් පාසැල් නොමැති දිනවල, නිවාඩු කාලයේ සහ පාසැල් වේලාවෙන් පසු පියාගේ ගොවිතැන් හරක බාන බැලීමේ කටයුතු මව සමග නිවසේ කටයුතු ආදියේ නිරතවන නිසා එකල දරුවන් කරදඩු උස්මහත් වන වයස වන විට තනිවම බොහෝ දේ කරගත හැකි මට්ටමේ පරිපූර්ණ වැඩිහිටියන්ම බවට ඉබේම පත් වෙනවා.

රීජනල් වෙනස් කම්

ගුණදාස අමරසේකරයන්ගේ චරිත තුනක් වැනි නවකතා වල එන චරිත නිර්මාණය වන්නේ ගොවිතැනින් ජීවත් වෙන, බුලත් වගාකරන එකල ගම්පහ ගැමි යෞවනයෙක් වටාය. ඔරුපදින දූපත් කරා යන නව ලෝකයට ඉක්මනින් යොමු වන මඩොල් දූවේ වැනි යොවුන් චරිත කොග්ගල විසූ වික්‍රමසිංහගේ නවකතාවල එනවා. පලාත් අනුව කාලය අනුව සාහිත්‍ය තුලද ගැමි කොල්ලන්ගේ චරිතයේ වෙනස් කම් දකින්නට හැකියාව තිබෙනවා.

ඈත ගමකට අපි අද ගියොත් අපිට නලයෙන් ජලය නොලැබෙන, ජාතික විදුලිය නොලැබෙන, ‍හරියට ෆෝන් සිග්නල් වත් නැති, පැරණි බස කතාකරන , ඉංග්‍රිසිය වැඩිමනක් නොදන්නා කුලෑටි මිනිසුන් සිටින නොදියුනු පලාතක් දකින්නට ලැබේවි. නමුත් ඒ නොදියුනු ලෝකය එකල‍ කොල්ලන්ගේ කෙල්ලන්ගේ මනසට සහනයක් ගෙනදුන් සරල ජීවන රටාවක් වුනා. අද අපවටා බොහෝ දේ ලේසියෙන්ම ගන්නට විඳගන්නට තිබුනත් එදා ගැමි කොල්ලෙකු වින්ද මනරම් සරල වූ ජීවිතය අද කොල්ලෙකුට නම් විදගන්නට ලැබෙන්නේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here