කොරෝනා වෛරසය සහ සහනාධාරය: “සමෟද්ධියත් නෑ, අන්තිමට කොරෝනා පන් දාහත් නෑ”

0
115


Image caption

“මට සමෟද්ධියත් නැහැ. අන්තිමට කොරෝනා පන් දාහත් නැහැ”

“සමෟද්ධිය නැහැ කියල රුපියල් 5000 මට මුලින් දුන්නේ නැහැ. නමුත් පස්සේ ලැබුණා. මට දරුවෝ පහක් ඉන්නවා. මමයි නෝනයි කරන්නේ කුලී වැඩ. දැන් මාස එකහමාරක ඉඳලා එක කුලියක් ලැබුනේ නැහැ,” මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි සරත් නිශාන්ත පවසන්නේ දුක් මුසු ස්වරයෙනි.

“අපි වගේ අයට තමයි මේ මුදල දෙන්න තිබුනේ. යන්තම් දවස් දහයක් විතර අපි හත් දෙනා ඒ රුපියල් 5000 න් ජීවත් වුනා. මම හිතන්නේ අපි වගේ අය තෝරලා තවත් වටයක් මේ මුදල දෙන්න ඕනෑ කියලයි. නැත්නම් අපිට වෙන්නේ බඩගින්නේ මැරෙන්න තමයි.”

හිසට සෙවනක් නොමැතිව වසර ගණනාවක් මහ මාවතේ දිවි ගෙවූ සරත් ඇතුළු පවුලේ හත්දෙනා මේ වන විට වාසය කරන්නේ ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබා දුන් කුඩා නිවසකය. එහෙත් ස්ථිර බිම් අඟලකට අයිතිය කිව නොහැකි බැවින් ඔවුන්ට සමෟද්ධියත් අහිමිය.

වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලැබූ සරත් බලධාරීන් වෙත මෙවැනි අදහසක් යොමු කළේය.

“රජයට, රජයේ නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනෑ ඇත්තටම ජීවත් වෙන්න බැරි මිනිස්සු හඳුනා ගන්න. එහෙම බැරි නම් කොහොමද රටක් කරන්නේ.”

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ආදායම අහිමි වූ දිළිඳු පවුල්වලට මසකට රුපියල් 5000 ක සහනාධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මාසයේ තීරණය කළේය.

ග්‍රාම නිලධාරීන් කමිටුවෙන් ඉවතට

සරත් වැනි, ස්ථිර නිවහනක් පවා නොමැතිව ඉතා අසරණව දිවි ගෙවන බොහෝ දෙනෙකුට එම රුපියල් පන් දහස නොලැබී ගිය අවස්ථා රැසක් වාර්තා විය. හලාවත සවරාන ග්‍රාමයේ අනුන්ගේ ඉඩමක පිහිටි පැලක ජීවත් වන ආර් ඩී විමලාවතී මාතාවට එම දීමනාව අහිමිව ඇත්තේ ජන්ද හිමි නාම ලේඛනයේ නම නොමැති වීම නිසාවෙනි.

ඇය සවරාන ප්‍රදේශයේ උපත ලබා ඇතත් වසර ගණනාවක් විදේශගත වී සිට පසුව වසර කීපයක් ස්වාමියාගේ නිවසේ වාසය කොට තිබේ. නැවත තමන් උපන් ගමට පැමිණ වසර පහකට ආසන්න වුවත් ඇයගේ නම තවමත් ජන්ද හිමි නාම ලේබනයට ඇතුළත් කර නොමැත.

Image caption

ඇඳිරි නීතිය ඉවත්කළ විගස ගාල්ලේ කඩවීදියක රැස් වූ ජනතාව

“මම කීප සැරයක් ග්‍රාම සේවක මහත්තයට කිව්වා මගේ නම ඇතුළත් කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම් තුමාටත් ගිහින් කිව්වා. නමුත් ඒක වුනේ නැහැ. මට සමෟද්ධියත් නැහැ. අන්තිමට කොරෝනා පන් දාහත් නැහැ.”

දිළිඳු පවුල්වලට එම ආධාරය බෙදා දීම සඳහා ග්‍රාම නිලධාරී, සමෟද්ධි නිලධාරී, ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා සංවර්ධන නිලධාරී යන නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටු පිහිටුවන බව ද ආණ්ඩුව නිවේදනය කළේය.

ආණ්ඩුව නිල වශයෙන් එසේ නිවේදනය කළ දඇතැම් පළාත්වල ග්‍රාම නිලධාරීන් සම්පූර්ණයෙන්ම එම කමිටුවලින් ඉවත්කර තිබිණ.

“අපට ඔය වැඩේ පවරලා නෑ. සේරම කෙරෙන්නේ සමෘද්ධි අධිකාරියෙන්. එතනින් අහන්න,” යන්න බීබීසී සිංහල සේවය කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි ගෙන් කළ විමසීමකදී ඇය දැක්වූ ප්‍රතිචාරය විය.

Image caption

“අපට ඔය වැඩේ පවරලා නෑ. සේරම කෙරෙන්නේ සමෘද්ධි අධිකාරියෙන්. එතනින් අහන්න,” කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි

ඒ අනුව කන්තලේ මූලස්ථාන සමෘද්ධි කළමණාකාරීණී එච් ඒ එස් එස් ප්‍රේමලතාගෙන් කළ විමසුමේදී ඇය කියා සිටියේ, කන්තලේ ප්‍රදේශයේ දහසය දහසක් (16,000) වන මුළු පවුල් සංඛ්‍යාවෙන් පවුල් දොළොස් දහස් හත්සිය හතලිස් හතරකට (12,744) රුපියල් පන්දහසේ ‍කොරෝනා සහනාධාරය ලබා දී අවසන් බවය.

“සමෘද්ධි පවුල් අටදහසකට සහ වෙනත් පවුල් හාරදහස් හත්සිය හතලිස් හතරකට මේ මුදල ලබා දුන්නා. මුදල නොලැබුණ සමහරු ඉදිරිපත් කර ඇති භියාචනා ගැන සළකා බලාගෙන යනවා,” මූලස්ථාන සමෘද්ධී කළමණාකාරිණි එච් ඒ එස් එස් ප්‍රේමලතා විස්තර කළාය.

“වෙනම ගෘහ මූලිකයෙක් නම් තනි පුද්ගලයෙක් වුනත් පවුලක් හැටියට සැළකෙනවා. එතන පොඩි ගැටලුවක් නම් තියෙනවා තමයි. මොකද පස් දෙනෙක් ඉන්න පවුලකටක් පන්දාහක් විතරයිනේ ලැබෙන්නේ. කොහොමටත් ඉහළින් එන නිර්ණායකයන් තමයි අපට ක්‍රියාත්මක කරන්න සිදුවෙන්නේ.”

‘ලක්ෂ 150 ක කාර් එකකින් ඇවිත් සහනාධාර ඉල්ලුවා’

මේ අතර ගමේ දුප්පතා සහ පොහොසතා හඳුනා ගැනීමට මේ කමිටුවට හැකියාවක් නොතිබුණු අවස්ථා රැසක් පසුගිය සති තුනක කාලය ඇතුළත වාර්තා විණි. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දෙමටපිටිය ග්‍රාම සේවා වසමෙන් රුපියල් පන්දහස ඉල්ලීම සඳහා රුපියල් ලක්ෂ එකසිය පනහක් වටිනා මෝටර් රථයකින් කණ්ඩායමක් පැමිණි බව එම වසමේ සමෟද්ධි නිලධාරී එම් පංචවර්ණ පසුගියදා මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

Image caption

“මේ සල්ලි ඉල්ලන්න මේ කීප දෙනා දෙවෙනි පාර ආවේ රුපියල් ලක්ෂ 150 ක කාර් එකකින්” -සමෟද්ධි නිලධාරී එම් පංචවර්ණ

“ඇත්තටම නැති බැරි අය ඇවිල්ලා රුපියල් පන් දාහ ඉල්ලුවා නම් දුකක් නැහැ. මේ මම කියන කාන්තාවගේ සැමියා අවුරුදු ගානක් ඉතාලියේ ඉන්නේ. ඒ වගේම මේ සල්ලි ඉල්ලන්න මේ කිහිපදෙනා දෙවෙනි පාර ආවේ රුපියල් ලක්ෂ 150 ක කාර් එකකින්. අපි කිව්වම ඉතාලියේ සේවය කරන පුද්ගලයන්ට දෙන්න කියන්න කියලා තාම නැහැ කියලා මේ අය අපිට ගහලා ගියේ.”

රුපියල් 5000 ඉල්ලා නොදුන් තැන පහර දීම හා බැන තර්ජනය කිරීම් රැසක් වාර්තා වූ අතර ග්‍රාම නිලධාරීහු හා සමෟද්ධි නිලධාරීහු අවස්ථා කිහිපයකදී මේ සහනාධාරය බෙදීමෙන් ඉවත් වූහ. එම ආධාරය ඉල්ලමින් පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් විල්පොත ග්‍රාම නිලධාරිනියට තර්ජනය කර තිබුණේ ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකි. ග්‍රාම නිලධාරිනිය දුරකතනයෙන් කළ පැමිණිල්ල අනුව පල්ලම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ.

‘බඩු මිල දරාගන්න බෑ’

“විවාහ වෙලා කන්තලේට ආවේ අවුරුදු විස්සකට කළින්. එදා ඉඳලම ඉන්නේ කුලී ගෙවල්වල. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා,” සමෘද්ධි ලාභිණියක වන පණස් හැවිරිදි රේණුකා මල්කාන්ති පවසයි.

Image caption

ගාල්ලේ කඩවීදියක ජනතාව

“මගේ මහත්තය කඩේක දවස් පඩියට වැඩ කරනවා. දැන් මාස එකහමාරක් විතර ඒකත් නෑ. කොහොමටත් රුපියල් පන්දාහක් හරි ආණ්ඩුවෙන් ලැබුන එක ලොකු දෙයක්. ඉස්කෝල වහලා නිසා ඒ පැත්තේ වියදමක් නම් නෑ. නමුත් බඩුවල මිළ නම් දවසින් දවස ඉහළ යන එක දරාගන්න බෑ.

තමන්ට ලැබුණු රුපියල් පන්දහසෙන් රුපියල් තුන් දහසක් මාසික ගෙවල් කුලිය සඳහාම වියදම් වූ බවත් රේණුකා මල්කාන්ති සඳහන් කළාය.

“දැන් මුළු ලෝකෙම ඉන්ධන මිල අඩුවෙලා නිසා භූමි තෙල් සහ ගෑස්වල මිළ ගණන්වත් අඩුකරනවා නම් අප වගේ අයට ලොකු සහනයක්.”

එක්දරු පියෙකුවන සම්පත් නන්දතිලක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, සිය පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහය වෙමින් ඔහුගෙන් ලැබෙන සහයෝගයකින් ජීවත්වෙන තම පවුලට පන්දාහේ දීමනාව නොලැබුණ බවය.

“මම වැඩ කරන්නේ තාත්තගේ වෙළෙඳසලේ. එයා මට මාසෙකට වැටුපක් ගෙවනවා.බිරිඳයි මමයි දරුවයි ජීවත් වෙන්නේ ඒ දෙන මුදලින්. සමෘද්ධි කළමණාකාරිණිය කියන්නේ තාත්තා ව්‍යපාරිකයෙක් නිසා මට පන්දාහ දෙන්න බෑ කියලා. අභියාචනයක් ඉදිරිපත් කළා. ඒක භාරගන්නත් බෑ කිව්වා. හැබැයි ව්‍යාරිකයන්ගේ දරුවන්ට විතරක් නොවෙයි ව්‍යාපාරික තාත්තලාටත් ඔය පන්දාහ දීලා තියෙනවා.”

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ 29,1246 ක පිරිසකට රුපියල් මිලියන 1500 කට ආසන්න සහනාධාර මේ වන විට ලබා දී තිබෙන බවය.

දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි මෙම සහන ක්‍රියාන්විතය ජනතාව අතට පත් කළ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

‘පෝලිමේ මීටරේ සීමාව තියා සෙන්ටිමීටරයක්වත් නෑ’

එහෙත් ඒ සහන බෙදාහැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාල්ලේ වාසය කරන කාන්තාවක් පැවසුවේ එම සහනාධාරය ලබාගැනීම පිණිස සිය සෞඛ්‍යාරක්ෂාවද අනතුරේ හෙලමින් පෝලිම්වල රස්තියාදු වීමට සිදු වූ බවය.

“ඒ 5000 ගන්න කොයිතරම් රස්තියාදු වුනාද ටීවී වල කිව්වා ග්‍රාම සේවක මාර්ගයෙන් ගෙදරටම ගෙනල්ලා දෙනවා කියලා ඒත් එහෙම වුනේ නැහැ. පෝලිමේ ගිහිල්ලා තමයි 5000 ගන්න ගියේ. ඒ පොලිමේ මීටරයේ සීමාව තියා සෙන්ටිමීටරයක්වත් නැහැ අමාරුවෙන් ගිහින් ඒක ගත්තා වේලාවේ හැටියට ඒක ලොකු දෙයක්.”

ගාල්ල ප්‍රදේශයේ කුලී වැඩ කරමින් දිවි රැක ගන්නා ශ්‍රමිකයෙක් අදහස් දක්වමින්: “ගමේ ග්‍රාම සේවක මහත්තයා පළවෙනි පාර දීමනාව දීමේදී අපේ නම කපලා තිබ්බා. වටේපිටේ ගෙවල්වලට 5000 හම්බවෙනකොට අපිට නැහැ,” යනුවෙන් පැවසීය.

“පස්සෙ ග්‍රාම නිලධාරීට ගිහින් කිව්වාම එයා කිව්වා අභියාචනාවක් ලියලා දාන්න කියලා මම මගේ දුවට කියලා එහෙම අභියාචනාවක් ලියලා දැම්මා ඊයේ ආපු ලැයිස්තුවේ මගේ නම තියනවලු. එත් තාම 5000 හම්බවුනේ නැහැ.”

ඇඟලුම් සේවක සේවිකාවෝ

මේ අතර නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට පසුගිය මාසය දක්වා වේතනය ලැබෙන බැවින් ඔවුන්ට මේ සහනාධාරය අහිමිය. එහෙත් රුපියල් 15,000 ක සිය මාසික වේතනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඇඟලුම් සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු පවසා තිබිණි.

ඔවුන්ට ද මේ සහනාධාරය ලබා දෙන මෙන් ඉල්ලීම් මතුවෙමින් පවතී.

Image copyright
facebook

නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරන ඇතැම් සේවකයින්ට දැනටමත් සිය මාසික ආදායම අහිමි වී තිබේ.

“මම වැඩ කරන්නේ නිදහස් වෙළෙඳ කලාපයක දැන් දවස් ගානක ඉඳලා අපිට වැඩ නැහැ. 5000 ගන්න දවස් ගානක් රස්තියාදු වුනා. දැන් නම් බයක් දැනනවා අපේ ක්ෂේත්‍රයේ කඩාවැටීමක් වෙලා අපිට රැකියා අහිමි වෙයි කියලා. අපි සුනාමියෙනුත් බැට කෑවා දැන් කොරෝනා වලිනුත් බැට කනවා,” යැයි ගාල්ලේ වාසය කරන පුද්ගලයෙකු පැවසීය.

ඇඟලුම් සේවක සේවිකාවන් මතුකරන ගැටලු ගැන ප්‍රතිචාරය දක්වමින් අත්‍යවශ්‍ය සේවා සඳහා වූ කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රකාශක මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩු ආදායම් ලබන ඕනෑම අයෙකුට සිය ආදායම අහිමි වී ඇත්නම් ඒ සියලු දෙනාට අදාළ සහනාධාරය හිමිවන බවය.

එහෙත් මේ වනවිට සිය ආයතනයෙන් වැටුප් ලබන කිසිවෙකුට අදාළ සහනාධාරය ලබාදීමේ හැකියාවක් නොමැති බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ආදායම අහිමි මාධ්‍යවේදියෝ

මේ අතර කෝවිඩ් 19 වසංගතයත් සමඟ ඇඳිරි නීතිය පැනවීම සහ ගමන් බිමන් සීමා කිරීම හේතුවෙන් බොහෝ මාධ්‍ය ආයතන ද සිය මෙහෙයුම් සීමා කොට තිබේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල ද ලොක්ඩවුන් සමයේ ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා යොදාගනු ලබන්නේ අත්‍යවශ්‍යම සේවක, සේවිකාවන් පමණි. විශේෂයෙන්ම වාර්තාකරණය සිදුවන්නේ සමාජ මාධ්‍ය ජාල බහුලව යොදාගනිමිනි.

මේ තත්ත්වය යටතේ තමන්ට සිය ආදායම අහිමි වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගණනාවක් බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ. ඔවුන්ට ද රුපියල් 5000 සහනාධාරය ලබාදෙන බව ආණ්ඩුව නිවේදනය කර තිබුණත්, ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනු ලබන හැඳුනුම්පතක් තිබිය යුතුය.

ගැටලුව වන්නේ, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෑම දෙනෙකුටම එවැනි හැඳුනුම්පතක් නොතිබීමය.

කෙසේ වුවත් මහාචාර්ය චරිත හේරත් පවසන්නේ, කිසියම් පුද්ගලයෙක් මාධ්‍යවේදියෙකු ලෙසින් හඳුනාගැනීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ පිළිගත් ක්‍රියාදාමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මන්තුව නිකුත්කරන හැඳුනුම්පත බවය.

‘පන්දාහකින් ජීවත්වෙන්න බෑ’

වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ එම් සේපාලිකා වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, රුපියල් 5000 කින් මාසයක් ගත කිරීම ඉතා අසීරු කරුණක් බවය.

“රජය රුපියල් පන්දහසක් දුන්න එක ගොඩාක් හොඳයි. ඒත් ඒ මුදල කඩවලට ණය වෙලා බඩු ගන්න අපිට මාසෙට ගත්ත බඩුවල ණය ගෙවන්නවත් මදි. ඒ මුදල තව ටිකක්වත් වැඩි කරන්න පුළුවන්නම් බොහොම හොඳයි,” ඇය පැවසීය.

Image caption

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පාලුවට ගිය නගර

සේපාලිකා වික්‍රමසිංහ ගේ සැමියා යුද ගැටුම් සමයේ බෝම්බ ප්‍රහාරයකට හසු වී මිය ගොසිනි.

“මහත්තයා නැති වුණාට පස්සේ මම කුලී වැඩ කරලා, ගෙවතු වගාවක් කරලා තමයි ජිවත්වුණේ. අපිට ස්ථිර රැකියාවන් නෑ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් මේ කොරෝනා වංසගතය ඇවිල්ලා මට කුලී වැඩක්වත් කර ගන්න ලැබුණේ නෑ. අපි මේ වසංගතය ආවට පස්සේ බොහොම අමාරුවෙන් තමයි ජිවත්වෙන්නේ. රුපියල් පන්දහසක මුදල දැන් තිබෙන බඩු මිලත් එක්ක මාසයක් ජිවත්වෙන්න ප්‍රමාණවත් නෑ.”

වවුනියාව, කනගරායන්කුලම පදිංචි නාගමුත්තු ලක්ෂ්මි තමන්ට ද ඒ සහනාධාරය ලැබුණු තවත් කාන්තාවකි.

“රජයෙන් අපිට අප්‍රේල් මාසයේ රුපියල් පන්දහසක දීමනාවක් දුන්නා. ඒකෙන් තමයි අපි යම් තරමකට රැකුණේ. ඒත් අපිට වෙනත් කිසිම ආදායමක් නෑ. ඒ හින්දා රුපියල් පන්දහසක මුදලින් මාසයක් ජිවත්වෙන්න අමාරුයි. අපි ඉල්ලන්නේ මේ කරදරයෙන් මිදෙන කාලයක් වෙනකම් අපිට හැම මාසයකම යම් දීමනාවක් දෙන්න කියලා,” ඇය ඉල්ලීමක් කළාය.

ජනතා විමුක්ති පෙරමුණ

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසික වියදම රුපියක් 42,000ක් බව රජයේ වාර්තාවල දැක්වෙන බැවින් දිළිඳු පවුල්වලට ආණ්ඩුව ලබාදුන් රු. 5000 සහනාධාරය ඉතා සුළු මුදලක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දී තිබුණි.

“නමුත් ඒ 5000 ලබාගැනීමට ගම්මාන ඇතුළේ තිබෙන පෝලිම්, තිබෙන ආරවුල් ගැන සලකා බලන්න. ජනතාව දැඩි පීඩනයකට පත්වෙලා. මේ වෙලාවේ සල්ලි දෙන්නේ නැත්නම්, ජනතාවගේ ජීවත් වීමේ වගකීම බාර ගන්නේ නැත්නම් එවැනි ආණ්ඩු තීරණ ගන්නේ කුමන අවස්ථාවේද කියලා අපි අහනවා,” ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රශ්නකොට තිබිණි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

ජනතා විමුක්ති පෙරමුණ මතුකරන චෝදනා සහ ජනතාව නගන ගැටලු පිළිබඳ විමසීම පිණිස අත්‍යවශ්‍ය සේවා සඳහා වූ කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපති කාර්ය සාධක බලකායේ හිටපු ප්‍රකාශක මහාචාර්ය චරිත හේරත් කියා සිටියේ, අප්‍රේල් මාසය සඳහා සහනාධාරය බෙදාදීම මේ වනවිට අවසන් වී තිබෙන බවය.

මහාචාර්යවරයා සිය ෆේස්බුක් පිටුවේ ද විවේචනවලට පිළිතුරු දී තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ මතුකරන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ මහාචාර්ය චරිත හේරත් කියා සිටියේ, පවුලකට මාසයක් සඳහා රුපියල් 42,000 නොව ඊට වැඩි මුදලක් පවා වැයවන බව සැබෑ වුවත් එවැනි මුදලක් ලබාදීමට ආණ්ඩුවට මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවය.

අදාළ සහනාධාරය, වසංගතය හේතුවෙන් ආදායම අහිමි වූ දිළිඳු පවුල්වලට දිවි ගෙවීම සඳහා කරන උපකාරයක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

“රජයට එහෙම මුදලක් දෙන්න පුළුවන් කමක් නෑ. කිසිම හවුහරණක්, ජීවත්වෙන්න ක්‍රමයක් නැති ජනතාවට මේ සහනාධාරය දුන්නේ රජයට කරන්න පුළුවන් ප්‍රමාණයට.”

යළිත් වරක් මැයි මාසය සඳහා සහනාධාරය ලබාදීමේ කටයුතු ඉක්මණින්ම ඇරඹෙනු ඇති බව ද මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here