කළු සුදු භේදය ගැන හඬක් නගන්නට දැන් කාලය හරි

0
48

වර්ණ වාදය : එකම ජාතියකට හෝ ජනවර්ගයකට අයත් මිනිස්සු අතර සිටින වඩා කලු පැහැති සමක් සහිත අයට  පැහැපත් සමක් ඇති අයට සාපේෂව කුඩම්මාගේ සැලකිලි දැක්වීම

නියෝජනය කිරීම: යමෙක් හෝ දෙයක් වෙනුවෙන් හඬක් නැගීම පෙනී සිටීම හෝ නැගී සිටීම

පහුගිය කාලයේ බොහෝ කතා බහට ලක් වුණු #Unfair&Lovely කැම්පේන් එක මතක ද? ටෙක්සාස් වල සිසුවෙකු වන පැක්ස් ජෝන්ස් කියන කෙනත් ලංකාවේ සහෝදරියන් දෙදෙනෙක් වන මිරුෂා සහ යනුෂා යෝගරාජා යන දෙදෙනාත් මෙම නමින් අන්තර්ජාලයේ කැම්පේන් එකක් ආරම්භ කළා. අරමුණ තමයි හම ලස්සන කිරීම ගැන මහා ලොකුවට කතා කරන  විශාල සමාගම් වලට එරෙහිව හඬක් නගන එක සහ සමේ වර්ණය වෙනස් මිනිසුන් අතර, එතකොට දකුණු ආසියාවේ මිනිස්සු අතර විශේෂයෙන්ම දකින්න පුළුවන් මේ සුදු අයටයි කළු අයටයි දෙවිදියකට සලකන ප්‍රශ්නය ගැන කතා කරන එක. මේකේ ප්‍රතිපලයක් විදියට වර්ණ වාදය කියන මාතෘකාවත් මේ ගැටලුවෙන් අද තරුණ කැලට මුහුණ පාන්නට වෙලා තිබෙන ගැටළු ගැනත් විශාල වශයෙන් පහුගිය දිනවල අන්තර්ජාතිකව කතාබහට ලක්වෙන්න ගත්තා.

මේ දැන්වීම් වලට එරෙහිව කොච්චර විවේචන එල්ල වුණත්, සමහර වෙලාවල් වලට වාරණයට පවා ලක් වුණත් තවමත් දකුණු ආසියානු සංස්කෘතියට තමන්ගේ මේ පණිවුඩය මොන යම් ක්‍රමයකින් හරි ගෙනියන්න එයාලාට හැකි වෙලා තිබෙනවා.  ඉතින් ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕනෑ කියන එක සහ සුදු අයට කළු අයට වඩා සමාජයේ වැඩි තැනක් පිළිගැනීමක් හිමි වෙනවා කියන සමාජයේ තිබෙන මේ මතවාදය නිසා මේ වෙළඳනාම මිලියන ගණන් උපයද්දී එයාලාටම විතරක් මේකේ වරද පටවන්න අපට බැහැ. අපේ හිත් වලත් පැලපදියම් වෙලා තිබෙන කාවදිලා තිබෙන මේ අන්ධ විශ්වාසයන් මේකට එක විදියට වග කියන්න ඕනෑ. මොකද ව්‍යාපාරිකයෝ දෙන්න උත්සාහ කරන්නේ මිනිස්සුන්ට ඕනෑ දෙයයි, මිනිස්සු ඉල්ලන දෙයයි.  මෙවන් ආලේපන වර්ග මුළුමනින්ම වර්ජනය කරන එක මේකට එක තාවකාලික විසඳුමක් විතරයි. දිගු කාලීන පිළිතුරක් ලැබෙන්න නම් ඉස්සර වෙලා අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි, අපි හමේ පාටෙන් මිනිස්සුන්ගේ ලස්සන කැත මනින්න තරම් පටු වුණේ මොකද කියන එක හඳුනාගෙන ඉන්න ඕනෑ.

 

මේ ගැන කිසිම අවධානයක් අපේ රටේදී යොමු නොවුණ නිසාම මේ ගැන එතැනින්ම අරඹන එක හොදයි. මෙයින් හොඳින්ම හැඟවෙන කරුණ තමයි මේක අද අපිට තිබෙන සමාජ ගැටළුවක් විදියට එළිපිට කතා කරන්න වැඩිය කට්ටිය අකමැති මාතෘකාවක් බව. කාව හරි විස්තර කරන්න නැත්නම් සමච්චල් කරන්න සුදු ළමයා කළු ළමයා විදියට සාමාන්‍ය වහරේ කතා කළාට මෙතැනින් එහාට මේ වර්ණ වාදය ගැන කතා කරන්න අපේ මිනිස්සු පොඩ්ඩක් අදිමදි කරනවා. ඒක නිසා ඔක්කොටම කලින් මේ සංකල්පයෙන් අපි මෑත් වෙන්න ඕනෑ. ඒ කොහොමද?

වැඩිය ඕනෑ නෑ, බලන්නකෝ අපේ ඉතිහාස පොත් දිහා. හොඳට පේනවා ඉස්සර ඉඳන්ම කාළ වර්ණය නරක නපුරු දුෂ්ට නැත්නම් දරුණු කට්ටියට සම්බන්ධ කරන්න භාවිතා කරලා තිබෙන බව. එළාර රජ්ජුරුවෝ, රාවණා වගේ අය හොඳ උදාහරණ. එතකොට මේ මෑත කාලීන ඉතිහාසය දිහා බැලුවාම, යටත්විජිත වාදයත් එක්ක සමේ වර්ණයේ වෙනස නිසා ඇතිවුණු අපේ ලේ මස් ඇටමිදුළු වලට කාවැදුණු අමුතුම හීනමානයක් තිබෙන බව පැහැදිලියි. මේක කොයිතරම් දරුණුවට පැතිරිලාද කිව්වොත් මේක අපේ එදිනෙදා ජිවිතයේ හැම පැතිකඩකටම, මේ සංකල්පයෙන් බැහැර වෙන්න බැරි තරමටම බද්ධ වෙලා තියෙන්නේ.

මෙහෙම ගිහින්, අද වෙද්දී වර්ණ වාදය කියන එක වැඩිය ප්‍රසිද්ධියේ කතා බහ නොකෙරෙන, හැබැයි ලාවට, චූටියට ලස්සනට දිස් වීමේ රහසක් විදියට, සමහර වෙලාවට වර්ගවාදී විදියටත් භාවිතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා. රුපහිනියෙන් ගුවන් විදුලියෙන් පොත් පත්තර සඟරා වලින් විතරක් නෙමෙයි අද සමාජහයේ බොහෝ දෙනෙක් කෙලින් කතා නොකර වටින් ගොඩින් මේකෙන් මිනිස්සු මනින්න හංවඩු ගහන්න පුරුදු වෙලා.

වර්ණ වාදය කියන්නේ ගෝලීය ගැටළුවක්. බටහිර ලෝකය කළු වෙන්න සම දුඹුරු කරගන්න දඟලනවා පෙරදිග ලෝකය සුදු වෙන්න දඟලනවා. මේකේ අවසානය මොකද්ද?

සියලුම වයස් නියෝජනය වෙන විදියට තමන්ගේ ජිවිත වලට මේ වර්ණ වාදය බලපාලා තිබෙන ආකාරය ගැන කතා කරලා බැලුවම මේක දැනටමත් ලොකු ප්‍රශ්නයක් කියල හොඳටම පෙනවා. සමහර තරුණ ගැහැණු ළමයි ජිවිතේට ක්‍රීඩාවක් කරලා නෑ, හේතුව තමයි පිට්ටනියට බැස්සම කළු වෙනවානේ. කළු වුණොත් තමන්ගේ ප්‍රේමවන්තයා අකමැති වෙන්න පුළුවන් නේ. එතකොට අවුරුදු 30ක් 40ක් ගත වුණු කාන්තාවන් වුණත් මුළු ජිවිත කාලෙම තමන් කළු නිසා තමන් කැතයි කියලා හීන මානයෙන් ඉන්නවා. අනිත් අතට රුපලාවන්යාගාර වල වුණත් කළු සමක් තිබෙන අය ෆවුන්ඩේෂන් උළලා උළලා මළ මිනියක් වගේ සුදු කරන්න උත්සාහ ගන්නවා මිසක ස්වාභාවික ලස්සන ඔප් නැංවෙන විදියේ වර්ණ වත් මේකප් වත් භාවිතා කරන්නේ හරි අඩුවෙන්. ඒ විතරක්ද අපේ රට පුරා සායන වලයි රෝහල් වලයි සම සුදු පැහැ ගැන්වීමේ නිෂ්පාදන කිය කියා විකුණන දිගු කාලීන රසායනික ප්‍රතිකාර පවා තිබෙනවා එන්නතක් විදියට සමට ගහන්න පුළුවන්කම තිබෙන.

මේ විදියට එන්නත් කරන එක රසායනික ද්‍රව්‍යක් තමයි ග්ලුටතියොන් කියන්නේ. මේක ඇත්තටම වියපත් වෙද්දී ඇතිවන රෝගාබාධත් මානසික ශාරීරික රෝගාබාධයත් අඩු කරවන්න සමත් ප්‍රතිඔක්සිකාරකයක්. පිළිකා වැලැක්වීම ප්‍රතිශක්තිය ඉහල නැංවීම වගේ ප්‍රයෝජන මෙහි අඩංගු වෙනවා තමයි. ඊට අමතරව විටමින් වර්ග රැසකුත් තිබෙනවා. මේ කොහොම වුණත් රුපාලවන්ය මධ්‍යස්තාන වල මේ බෙහෙත මාකට් කරන්නේ මේ ගුණාංග ගැන කතා නොකර නිකම්ම සම සුදු කිරීමේ ක්‍රමයක් විදියට. ඇත්තටම් කිව්වොත් මේකට සම සුදු වෙන්නේ අපේ ශරීරය ස්වාභාවිකව හිරු එළියෙන් ආරක්ෂා කරලා දෙන මෙලනින් වර්ණකය මේ ඖෂධයේ අතුරු ඵලයක් විදියට විනාශ කරලා දමන නිසා. ග්ලුටතියොන් වල තිබෙන අනිත් කිසිම ගුණාංගයක් ගැන කතා නොකර එයින් ගෙන එන අතුරුඵලයක් විතරක් ලොකුවට මාකට් කර කර එන්නත් සහ ලේසර් චිකිත්සා භාවිතා කරමින් සුදු වෙන්න කියලා සමේ ස්වාභාවික මෙලනින් නිෂ්පාදනය විනාශ කරලා දමන එකේ කිසිම අනිසි විපාකයක් නෑ කියලා සමාජය මුලාවේ දමන්න තරම් මේ අය පෙළඹිලා තිබෙන්නේ අපේම වරදින්. මේ වගේ සුදු වෙන්න කරන ‘ප්‍රතිකර්ම’ ගැන මාධ්‍ය වලින් කතා බහ කරද්දී කළු වීම සහ සුදු වීම පිළිබඳව එයාල ඉදිරිපත් කරන නානාප්‍රකාර අදහස් අහන තමන්ගේ සම කළු බව ගැන වද වෙන පුද්ගලයින්ව ලේසියෙන්ම මේකට නමමා ගන්න පුළුවන්

මේ දේවල් මෙහෙම වුණත් තමන්ගේ කළු හෝ තලෙළු පැහැති සම ගැන ආඩම්බර වන ඒ ගැන කරදර නොවන අයත් ඉන්නවා. එවන් කාන්තාවන් කිහිප දෙනෙක්ගේ අත්දැකීම් විමසලා බැලුවාම මෙම වර්ණ වාදයේ අතුරුඵල බොහොමයක් තිබෙන බව පැහැදිලි වුණා. උදාහරණයක් විදියට සිංහල මනුස්සයෙක් කළු හෝ තලෙළු නම් නහය විදලා කරාබුවක් පැළඳ ගත්තොත් එයා හරි ‘දෙමළ පාටයි’ කියල හරි කියන එක අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නහය විදින්නම ඕනෑත් නැහැ, කෙනෙක් කළු හරි තලෙළු හරි නම් දෙමළ පාට බවට හංවඩු ගැහෙන්න ලොකු ඉඩක් තියෙනවා. මේකේ තිබෙන බරපතල කම තමයි මේ වැඩෙන් වර්ණ වාදය පමණක් නෙමෙයි වර්ගවාදයත් උලුප්පා දැමෙන එක. ඉතින් මේ පිළිබඳ එළිපිට කතා නොකරන එකෙත් පුදුමයක් නැහැ.

වර්ණ වාදය කියන සංකල්පය ලංකාවට ඒ තරම් බලපාන ගැටළුවක් නෙමෙයි කියලා කියන කට්ටියට තවදුරටත් එය එසේ නොවන බව වැටහෙන්නට ඇති කියලා සිතෙනවා. ලංකාවේ නෙමෙයි ඕනෑම අපි වගේ සාම්ප්‍රදායික අදහස් තිබෙන සමාජයක කාන්තාවන්ට දිනපතා නිරන්තරයෙන් වෙන වෙනස් කම් කරදර හිරිහැර වලට අමතරව තමන්ගේ සමේ පාට නිසාත් හිංසා පිඩා වලට ලක් වෙන්න සිද්ධ වෙන එක මොන තරම් අවාසනාවන්තද?

වෙනසක් කිරීමට ඒ වෙනුවන් නැගී සිටීමයි වැදගත්

අද කාලයේ දි ලස්සන කියන්නේ සුදු බව පැහැපත් බව කියන එක මිනිස්සු අතරට ගිහින් තිබෙන්නේ ඒ වෙනුවෙන් දීලා තිබෙන අර්ථකතන නිසා, මේකට ප්‍රතිකර්මයත් සමාජයට ගෙන යන්න ඕනෑ ඒ ක්‍රමයෙන්ම තමයි. අපි වැඩි අවධානයක් යොමු නොකලත් වෙනසක් ඇති කරන්නට නියෝජනය හරි වැදගත් මෙවලමක්. ගොඩක් සමාජ ගැටළු වලට අද ලෝකයේ මේක භාවිතා වෙනවා සමාජයට හඬක් නගන්න. අපිත් ඒක ආදර්ශයට අරගෙන කළු, තලෙළු කියන්නේ අවලස්සන බවේ සංකේතයක් නොවේ කියන මේ පණිවුඩය සමාජයට ගෙනියන්න මේ උපක්‍රමය භාවිතා කරන්න උත්සාහ ගන්න ඕනෑ.

ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් සම පැහැපත් නැති අයගේ නියෝජනය සෑහෙන තරම් අඩුයි. ඕනෑම සඟරාවක වෙළඳ දැන්වීම් දෙස බැලුවම මේක හොඳට පේනවා. කළු කෙනෙක් නම් ෆොටෝෂොප් කරලා හරි සුදු පාට කරලා ‘ලස්සන කරලා’ ගන්න උත්සාහ කරන එක දැන් අවාසනාවකට වගේ විලාසිතාවක් වෙලා.

මේ ළඟදි කොළඹ පැවැත්වුණු ප්‍රධාන පෙළේ විලාසිතා දැක්ම මේකට හොද උදාහරණයක්. නරඹන්න ගියපු අය කිහිපදෙනෙක් ගෙන්ම ලැබුණු විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් තේරුණු විදියට ඒ විලාසිතා දැක්ම තනිකරම ‘සුදු ගෑණු ළමයි’ නියෝජනය කරපු එකක්. ඔවුන් තවදුරටත් ඉදිරිපත් කළ මතයක් තමයි මේ අංගයට ඉදිරිපත් වීමට සම පැහැපත් නොමැති නිරුපිකාවන් හට කිසිම උනන්දු කිරීමක් වෙන්නේ නැති කම.  අද සංස්කෘතියේ කළු හෝ තලෙළු සමක් තිබෙන තරුණ තරුණියන්ට තිබෙන තැන ඉස්සර සුද්දාගේ කාලේ ලංකාවේ මිනිස්සුන්ට තිබුණු තැනමයි කියලා ඒකෙන්ම ලස්සනට පැහැදිලි වෙනවා.

මේ විදියට මේ කර්මාන්තයෙන්, වෙළඳ දැන්වීම්කරණයෙදී හෝ වේවා මෝස්‌තර නිරුපණයේදි හෝ වේවා සම පැහැපත් අයට වැඩි තැනක් ලබා දීම ඇත්තටම විශාල ගැටළුවක්, මොකද මෙවැනි වැඩ නිසා වචන වලින් නොකිව්වත් ව්‍යංගයෙන් ලස්සන කියන්නේ මේකයි, මෙහෙම අය තමයි ලස්සන කියන එක සමාජයට යනවා.

වර්ණ වාදයේ ප්‍රතිපලයක් විදියට විලාසිතා කර්මාන්තයෙදී පැහැපත් නොවන අයට වැඩි තැනක් නොලැබෙන එක ගැන කතා කරන එක මෝඩයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අපි නොහිතන විදියට මේකෙන් සමාජයට පණිවුඩයක් ගෙනියන්න පුළුවන්. කොහේ කොතැනක වුවත් ඉන්න තරුණ ප්‍රජාවගේ ආත්ම විශ්වාසය ඉහල නංවන්නත් තමන්ගේ සමේ වර්ණය ගැන තිබෙන හීනමානයෙන් මිදිලා විශ්වාසයෙන් ලෝකය ඉදිරියට යන්න මේ වගේ පණිවුඩයකට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදිලා අවපැහැගත් සමකින් යුක්ත නිරුපක නිරූපිකාවන් තමන්ගේ නිෂ්පාදන නිරුපණය කරන්න භාවිතා කරන්න තරම් නිර්භීත වුණු විරල වර්ගයේ වෙළඳ නාමයක් වන Barefoot ගැනත් මෙතැනදී වචනයක් කියන්න අපි හිතුවා.

මේ වගේ ජන මාධ්‍ය වලින් සහ ජනප්‍රිය සංස්කෘතියේදී පැහැපත් බවින් අඩු සමක් සහිත පුද්ගලයන්ගේ නියෝජනය ඉහල නංවන්න ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා. මේ විදියට ඔවුන්ට නියෝජනයක් ලබා දෙන කොට අපේ සමාජයෙන් ලොකු පිරිසකට මේ පණිවුඩය ගමන් කරනවා. එතකොට මිනිස්සුන්ගේ හිතේ පැලපදියම් වෙලා තිබෙන සාම්ප්‍රදායික අදහස් ඉවත් වෙන්න ගන්නවා කාලයත් එක්ක. මේ විදියේ නියෝජනයක් ලබා දීලා තමයි යෝගරාජා දෙසොහොයුරියන් #Unfair&Lovely විදියට අපේ අවධානයට ගෙනාපු මේ අප්‍රසන්න වූ ප්‍රසිද්ධියේ එළිපිට කතා බහ නොකරන ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දෙන්න වෙන්නේ. අද සමාජයට ලස්සන කියන දෙය නියෝජනය කෙරෙන්නේ පැහැපත් බවින් නම්, මෙන්න මේ නියෝජනය කණපිට පෙරළා දමන්නට, ඒ කියන්නේ ලස්සන නියෝජනය කරන්න කාළ වර්ණ සමක් සහිත අය භාවිතා කරලා හඬක් නගන්නට දැන් කාලය එළඹිලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here